තේ කර්මාන්තයට අලුත් හුස්මක් | දිනමිණ

තේ කර්මාන්තයට අලුත් හුස්මක්

කෘෂිකාර්මික ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව මෙහෙයවීමේ කටයුතු දැන් ඇරැඹී තිබේ. මෙහිදී අපනයන විවිධාංගකරණයට ප්‍රමුඛත්වය හිමිවන නමුත් සම්ප්‍රදායානුකූල අපනයන භාණ්ඩ නිෂ්පාදනය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පියවරද හඳුන්වා දෙනු ලබයි. ‍‍

ශ්‍රී ලංකාවේ පැරැණිතම අපනයන භාණ්ඩයක් ලෙස තේ නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳ පොළේ හිමි ස්ථානය මෙතෙක් වෙනස් ව නැත. එහෙත් ලෝක වෙළෙඳ පො‍ළට නව තරගකරුවන් රැසක් විවිධ මුහුණුවරින් තරග කරන බව නම් පෙනෙන්නට තිබේ. මෙයින් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවෙන් තේ මිලට ගන්නා රටවල්ය. ‍

වර්ල්ඩ් ඇට්ලස් ඉකොනොමික් සඟරාව පවසන අන්දමට අද වනවිට ඉරානය හෙක්ටයාර් 32,000 තේ වගාකර වාර්ෂිකව මෙ.ටොන් 83,990 ක අස්වැන්නක් ලබාගනියි.

ආර්ජන්ටිනාව වාර්ෂිකව මෙ.ටොන් 69924 ක තේ නිෂ්පාදනයක් සහිත රටකි. එසේම නව වර්ගද අත්හදා බැලීමට පර්යේෂණායතන සූදානමින් සිටී.

ජපානය ශ්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවෙකි. ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයන්හි රසායනික ප්‍රතිශතයේ අගය ඉහළ යෑම නිසා ශ්‍රී ලංකා තේ සඳහා තහංචි දැමීමේ තරවටුවක්ද පසුගියදා අසන්නට ලැබුණේ ජපාන වාණිජ මණ්ඩල වෙතිනි. වාර්ෂිකව ජපානය මෙ.ටොන් 85900 ක නිෂ්පාදනයට හිමිකම් කියයි. ‍

වියට්නාමය ද තේ නිෂ්පාදනය සඳහා පෙරට එන රටකි. එරට THAI NGUYEN කඳුකර ආශ්‍රිත ප්‍රදේශය දැන් තේ වගාව සඳහාම වෙන්ව තිබේ. 2013 දී වියට්නාමය තේ මෙ.ටොන් 216900 නිෂ්පාදනය කළ අතර දැන් එය සිය නිෂ්පාදනය ද අපනයනය ද ඉහළ නංවාගෙන සිටී.‍

තේ තරගය

ඉන්දුනීසියාව දීර්ඝ කාලයක සිට තේ වවන රටකි. දැන් එහි නිෂ්පාදනය මෙ.ටොන් 157388 ක වාර්ෂික ධාරිතාවකින් යුතුය. තුර්කිය දැනට කොළඹ තේ වෙන්දේසියෙන් තේ මිලදී ගන්නා රටකි. තුර්කිය වාර්ෂිකව තේ.මෙ.ටොන් 174932 ක් නිපදවයි.‍‍

දැනට ශ්‍රී ලංකාව සමග ලෝක වෙළෙඳ පො‍ළේ තරග වදින්නේ ඉන්දියාව, කෙන්යාව සහ චීනයයි. ප්‍රධාන තේ වෙන්දේසි ලෙස තරගවැදී සිටින්නේ කොළඹ සහ මොම්බාසා තේ වෙන්දේසි දෙකයි. ඉන්දියා වෙළෙඳපොළ වෙනම ආකෘතියකි. ‍

ශ්‍රී ලංකාව වසර හතරක නිෂ්පාදන පසුබෑමකින් පසු 2017 කිලෝ ග්‍රෑම් දසලක්ෂ 307.7 ක නිෂ්පාදනයක් වාර්තා කළේ ය. 2017 වෙන්දේසියේදි තේ කිලෝවකට සාමාන්‍ය මිල රු.620.44 බැගින් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

අපනයන තේ කිලෝවකට රුපියල් 10.00 ක සෙස් බද්දක් පැනවීමට පසුගිය සතියේ ආණ්ඩුව තීරණය කළේය. එමගින් තේ වගාවේ දියුණුව සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රශ්නය විසැ‍ඳේ. තේ කළමනාකාරින් හමුවී පැවැති සාකච්ඡාවකදී වැවිලි කර්මාන්ත ඇමැතිවරයා අවධාරණය කෙළේ කලාපීය තේ වතු සමාගම් පාලනය කිරීමේදී ස්වාධීනව කටයුතු කිරීමට කළමනාකාරිත්වයට ඉඩ සලසා ඇති බවයි. කලාපීය වතු වැවිලි සමාගම් 22ක් පිහිටුවීමට රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව ගත් තීරණය බුද්ධිමත් තීරණයක් බව මේ වනවිට පැහැදිලිව තිබේ යැයි කී ඇමැතිවරයා වතු බොහොමයක් ලාභ ලබන තත්ත්වයේ පවත්වාගෙන යන්නේ යැයි ද කීය. ‍

තේ වෙළෙඳ පොළ අහිමිවී යෑමේ බියක් පිළිබඳව ඇතැම්විට වාර්තා පළවේ. හැටන් වැවිලි සමාගමයේ කොටස්කරුවන් අමතමින් එහි සභාපතිවරයා තේ කර්මාන්තයේ අනාගතය යහපත් බව පැවැසීය. ‍‍

එසේම හැටන් වැවිලි සමාගමයේ කළමනාකාර අධ්‍යක්ෂ වී, ගෝපාලස්වාමි මහතා තුර්කිය, අයර්ලන්තය, රුසියාව , එක්සත් රාජධානිය, සහ මොරොක්කෝව යන රටවල තේ බීමේ පුරුද්ද නොකඩවා ඉදිරියටත් වර්ධනය වන්නේ යැයි කීය. එසේම ඊජිප්තුව, ජපානය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද තේ බීමේ පුරුද්දට ක්‍රමයෙන් පුරුදුවෙමින් සිටින්නේ යැයිද මේ නිසා තේ වෙළෙඳ පොළ සුරක්ෂිත බවද ඔහු කීවේ ය.

අනාගත ලොවට සරිලන නිෂ්පාදන අතින්ද ඒ හා සමග එකට බැඳුණු යාන්ත්‍රික උපකරණ අතින්ද වත්මන් තේ කර්මාන්තය යාවත්කාලිනව ඇති නිසා තේ කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත යැයි ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

පාරිසරික ගැටලු, කාලගුණික විපර්යාස, ස්වභාවික ආපදා ගැනුම්කාර රටවල් ආශ්‍රිත දේශපාලන ගැටුම් ආදි ප්‍රශ්න රටක ආර්ථිකයට හරස්වන බාධක යැයි එම රැස්වීමේදී අවධාරණය විය. තේ සඳහා ද මේ ගැටලු පවතී. ‍‍

රටේ ජාතික තේ නිෂ්පාදනයට කුඩා තේ වතු හිමියනගෙන් ලැබෙන දායකත්වය සියයට 74.5 කි. කුඩා තේ වතු අංශයට මෑතක දී සිදු වූ ලොකුම හානිය වාර්තා වූයේ 2017 මැයි මාසයේ ගංවතුර හා නායයෑමේ ස්වාභාවික විපත්තියෙනි. ‍

දිස්ත්‍රික්ක 7ක කුඩා තේ ඉඩම් හිමියෝ 4053 කට අයත් තේ ඉඩම් හෙක්ටයාර 615 කට අලාභහානි සිදුවිය. අර්ධ වගා හානි සිදු වූ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1823 කි. එමගින් සිදු වූ හානිය රුපියල් දසලක්ෂ 324 කි. සම්පූර්ණ හානි ඉඩම් නැවත යථා තත්ත්වයට පත්කිරීමේ වියදම රුපියල් දසලක්ෂ 3290 කි. අර්ධහානි පුනරුත්ථාපන වියදම රුපියල් දසලක්ෂ 324කි.

අලුත් වගාබිම්

මේ ඉඩම් පුනරුත්ථාපන කටයුතු දැන් ඇරැඹී ඇති අතර වාර්ෂිකව තේ වගාවට අලුතින් වගාබිම් රාශියක් ද එක්වේ. 2015 හෙක්ටයාර් 1226ක් නැවත තේ වගා කළ අතර අලුතින් වගාකළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 495 කි. මේ තේ වගාවනට දැන් වයස අවුරුදු තුන සම්පූර්ණව ක්‍රමයෙන් පරිණතව ජාතික නිෂ්පාදනයට එක්වීමට සූදානම්ව සිටී. 2016 හා 2017 ද නැවත වගා හා අලුතින් වගාවන් ඇරැඹිණි. මෙසේ තේ වගා ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. තේ නෙළීමේ හා ප්‍රවාහනයේ ද නව ක්‍රම භාවිතාව සිදුවේ. නව තේ ප්‍රභේද ද නවතම පර්යේෂණ ද නොකඩවා ඉදිරියට එමින් තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් පසුගිය සතියේ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා හමුවී මෙරට තේ කර්මාන්තය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය වාර්ෂික තේ කිලෝ 400 – 450 අතර ඉලක්කයක් කරා ළඟාවීමේ වැදගත්කම එහිදී පෙන්වා දුන් ඇමැතිවරයා පැරැණි තේ පඳුරු වෙනුවට අලුත් තේ වගා කිරීම සඳහා අවශ්‍ය මූලධනය සපයාගැනීම පිළිබඳව අදහස් පළ කෙළේය. ‍‍

තේ කම්කරු ශ්‍රම හිඟය, දලු නෙළිමේ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම, කර්මාන්ත ශාලා නවීකරණය ආදි අංශ දියුණු කර ගැනීමෙන් ලෝක තේ ඉල්ලුමට සරිලන පරිදි දේශීය තේ කර්මාන්තය දියුණු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේ යැයිද ඇමැතිවරයා පැහැදිලි කර තිබේ. ‍

ආසියා සංවර්ධන බැංකු නි‍යෝජිතයන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දී කරන ලද සමීක්ෂණ කටයුතු අනුව තේ කර්මාන්තයේ දියුණු කළ යුතු අංශ පිළිබඳව තමන් දැනුවත්ව සිටින බවයි.

කලාපීය වැවිලි සමාගම් ඉඩම් ප්‍රමාණයෙන් සියයට 2 බැගින් වාර්ෂිකව නැවත තේ වගාකිරීමට සහාය දීමට බැංකුව කැමැත්ත පළකර තිබේ. සේවක හිඟයට පිළියමක් ලෙස දලු නෙළීමේ යාන්ත්‍රික ක්‍රමය වැඩිදියුණු කර එයට ජනතාව නැඹුරු කිරීමට ආසියා සංවර්ධන බැංකුවේ සහාය හිමිවේ. ආසියා සංවර්ධන බැංකු වැඩසටහන් 2019 සිට ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තේ වෙළෙඳාම තුළ දැවැන්ත නිෂ්පාදකයන් අතරට වැදුණු තරගකරුවකුව සිටී. එක් තරගකරුවෙක් චීනයයි. චීනයේ නිෂ්පාදනය අධික වශයෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙන් වේ. චීනය 2016 තේ මෙ.ටොන් දස ලක්ෂ 2.4ක් නිෂ්පාදනය කර ඇත. තේ සඳහා වන භූමි ප්‍රමාණය වසරින් වසර වැඩිවන අතර දේශීය පාරිභෝජනය 2000 – 2015 කාලය තුළ සියයට 26 කින් වැඩිව තිබේ.

ඉන්දියාව කිලෝ දසලක්ෂ 1200ක් නිපදවන අතර සියයට 70ක් දේශීය පාරිභෝජනය සඳහා වෙන්වන බව ඇසැම් ටී වෙබ් අඩවිය කියයි. මේ දැවැන්ත‍යන් දෙදෙනා මැද කෙන්යාව සහ ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොළ තුළ බල අරගලයක යෙදී සිටී.

ශ්‍රී ලංකාවේ මෙන්ම කෙන්යාවේද වැඩි නිෂ්පාදන ප්‍රතිශතයක් හිමිව ඇත්තේ කුඩා ඉඩම් හිමියනටය. කෙන්යාවේ වාර්ෂික නිෂ්පාදනය කිලෝ දසලක්ෂ 432 කි. කුඩා තේ වතු හිමියනගේ සංඛ්‍යාව 565,000 කි. ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියනගේ සංඛ්‍යාව 2016 දී 393420 කි. උගන්ඩාව බංගලාදේශය, මලාවි, බුරුන්ඩි සහ තායිලන්තය යන රටවල් ද තේ නිෂ්පාදනයේ යෙදෙති. ලෝක වෙළෙඳ පොළ ආක්‍රමණයට වියට්නාමය සහ බංගලාදේශය සූදානම් වෙමින් සිටිති. වර්ග කිලෝමීටර් 570ක භූමිභාගයක එරට තේ වැවීම් සිදු ‍කැරෙන අතර දැනට තේ අපනයන කටයුතු අරඹා තිබේ. වියට්නාමය දැන් ලෝටස්, ජැස්මින් නම් තේ ප්‍රභේද අපනයනයට සූදානම් කෙරේ.

වටවල වැවිලි සමාගමය සිය නවතම වාර්ෂික වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි 65 වන පිටුවේ වතු සමාගම්වලට මුහුණදීමට සිදුව ඇති සේවක ප්‍රශ්නය ඉදිරිපත් කරයි. එසේම ශ්‍රමයේ පලදායකත්වය පහත බැස ඇති අන්දම ද, නිෂ්පාදක වියදම ඉහළ ගොස් ඇති අන්දමද එම වාර්තාවේ පෙන්වා දී ඇත. එසේ වුවත් 2017 වසරේ කලාපීය වැවිලි සමාගම් රාශියක් මේ වනවිට සිය කොටස් හිමියනට කලකට පසු ලාභාංශ ගෙවීමෙන් වතු වැවිලි අංශයේ සතුටුදායක තත්ත්වය පැහැදිලි ය.

බෝග විවිධාංගකරණය, කිරිගව පාලනය වනවගා ක්ෂුද්‍ර විදුලි උත්පාදන බලාගාර යනාදි අතුරු ආදායම් මාර්ග මගින් ද දැන් ඔවුහු විකල්ප ආදායම් උපදවාගෙන වැවිලි අංශයේ පාඩු මගහරවාගැනීමට සමත්ව සිටිති.

කුඩා ඉඩම් හිමියනගේ ඉතා කුඩා ඉඩම් නැවත නව වගා බවට පත්කිරීමෙන් පසු ආදායම් ලැබීමට වසර 5 ක්ි පමණ කාලයක් ගතවේ. කුඩා ඉඩම් නැවත වගා කිරීම නිසා ආදායම් අහිමිවන ඔවුනට වසර පහකට විකල්ප ආදායම් සපයා දිය යුතු වේ. මේ ගැන ආසියා සංවර්ධන බැංකුව වගකිවයුතු අංශවල අවධානය යොමු කර තිබේ.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න