ඉතිහාසය නැත්නම් හෙටක් නෑ | දිනමිණ

ඉතිහාසය නැත්නම් හෙටක් නෑ

අනුසාර මාහිංගොඩ
ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ

ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහගේ "මහා සිංහලේ මහා විජයබා" කෘතිය මේ මස 31 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ලිවීම කියන කාරණයේදී ඔබ පොලඹවන්නේ?

අපි ජීවිතයේ හුඟාක් අනුභූතීන් ලබනවා. ඒවා ලබනකොට සමහර අත්දැකීම්, අනුභූති, අපේ ජීවිත වෙනස් කරන්න සමත් ‍ඒවා. අපේ නැදිමයිලන් වගේ අපිත් එක්ක සදාකල් ඉන්නවා. මම හිතන්නේ පොතකට එකතු වෙන්නේ අපේ අත්දැකීම්. තමන් ලබාගත් අත්දැකීම් අනෙකා හා බෙදා හදාගන්න හැම තිස්සේම සූදානම්.

මේ බෙදා හදාගැනී‍ෙම් එක් මාධ්‍යයක් තමයි, ලේඛන කලාව. පොතක් රචනා කිරීමක් කියන්නේ පාඨකයාගේ ජීවන පරිඥානය, අත්දැකීම්, වින්දනය තව තවත් පුළුල් කිරීමකටයි. හැබැයි, එහි කාලීන වැදගත්කමක් තියෙන්න ඕන. මා ලියපු "මහා සිංහලේ මහා විජයබා" කෘතිය සර්වකාලීනයි. අත්දැකීම් පිරුණහම ඒක මෝචනය කිරීමේ මාධ්‍ය පොත් ලිවීම. ඒක වගකීමකින් ඉෂ්ට කරන්න ඕනැ. ආවාට ගියාට පොත් ලියන්න බෑ. අපට ලියන්න පොලඹවන්නේ මේ අත්දැකීම් තමයි.

බොහෝවිට ඔබ අතින් රචනා වෙන්නේ පර්යේෂණ, සංචාරක සටහන් වැනි කෘති. මෙයට හේතු වෙන්නේ?

මෙවැනි කෘතිවලට අද සමාජයේ තියෙන ඉල්ලුම ඉතා ම වැඩියි. හරවත් නොවන දේ අපට දෙන්න බෑ. පර්යේෂණ ග්‍රන්ථ, සංචාරක සටහන් වගේම, වෙනත් ක්ෂේත්‍රවලත් වැඩ කරලා තියෙනවා. මා ලියූ හැම දෙයක්ම පාඨකයා දැනගත යුතු දේ. අද සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අලි - මිනිස් ගැටුම. මම හද්දා පිටිසර ගැමියන් අට්ටාලවලදී හමුවෙලා, ඒ මිනිස්සුත් එක්ක කතා කරලා තියෙනවා. සමාජ මානව විද්‍යාවේ එන සහභාගීත්ව නිරීක්ෂණය පාවිච්චි කරලා තමයි "අලි ඇත්තු ද මනුසත්තු ද" කෘතිය රචනා කරන්නේ. මහවැලි වතුර ගලන්නේ කොයි තැනකද? ඒ හැම තැනකම අලි - මිනිස් ගැටුම තියනවා කියලා මම 2007 වර්ෂයේදී මේ පොතෙන් පෙන්වලා ‍දුන්නා.

සිංහල රාජාවලියේ එන මහා විජයබා රජ ගැන කෘතියක් කිරීමට යම් විශේෂිත කාරණාවක් තිබෙනවද?

එතුමා සිංහල රාජාවලියේ සිටි විශිෂ්ටතමයා. ඔහු සිංහල රාජාවලියේ තරල මිණ. ඒ කියන්නේ මුදුන් මැණික ලෙසයි හඳුන්වන්නේ. මේ රට කවරදාකවත් නැතිව චෝලයන්ට වසර හැත්තෑ හතක් යටත් වෙලා තිබුණා. ඒ වෙලාවේ ඉන්දියාවේ රාජ රාජ කියන චෝල රජු සුමාත්‍රා, ජාවා, ඉන්දුනීසියා වගේම ලංකාවත් යටත් කර ගත්තා. සිංහල කිරීටයට උරුමකම් කිව්ව කුමාරවරු ඔක්කොම මැරුවා. ඒ පාලනය අහෝසි කරලා රට බේරා ගත්තේ මහා විජයබා රජ්ජුරුවෝ. එතුමා හරි ම කෘතවේදීයි. මේ රට කෑලි කෑලිවලට කඩන්න කිසිසේත්ම ඉඩ දුන්නේ නෑ. එතුමා ළඟ හිටිය චල හා රජදේව කියන ඇමැතිවරු ඔහු පාවලා දීලා සොලීන් ළඟට ගියා. විජයබා රජතුමාට අන්තඃපුරයක්වත් තිබුණෙ නෑ. හැමදාම සටන් කළේ රට බේරා ගන්න. මෙතුමා කුඩා කල හැඳින්වූයේ කීර්ති නමින්. රට පුරා කුමාරවරු මරණයට පත් කරන වෙලාවේ, බුද්ධරාජ කියන සෙනෙවියා තමයි මොරවක් කැලේදී මෙතුමාට සටන් පුහුණු කරන්නේ. ඒ කාලසීමාවේදී මේ කුමාරයා කෑවේ ගස්වල ගෙඩි, අල, කොළ, පොතු වගේ දේ. විජයබා රජවුණු වහාම, මුලින්ම කළේ බුද්ධරාජ සෙනෙවියා වෙනුවෙන් වරදාන ප්‍රදාන කිරීම. පනාකඩුව තඹ සන්නස, අඹගමු සෙල්ලිපිය මේවා පිහිටුවලා, බුද්ධරාජ පරම්පරාවෙන් එන කිසිවෙකුටවත් රාජද්‍රෝහී ක්‍රියාවක් කළත්, හිස ගසා දමන්න බෑ කියලා රජ්ජුරුවෝ සඳහන් කළා.

ඔවුන් රටින් පිටුවහල් කරන්න පුළුවන්, තුන්වරක් සමාව දීමෙන් පසුවයි. ඒ වගේම, ඒ පරම්පරාවෙන් අමුණ, කුඹුරු ආදියෙන් බදු අය කිරීමත් කරන්න බෑ. අඩු ම තරමින් ඔවුන් දෙස රවා බැලීමකින්වත් හිරිහැරයක් කිරීම තහනම් කියලා, රාජ ආඥාවක් තිබුණා. මෙරට රජවරු අතර මේ තරම් කළගුණදත් රජ කෙනෙක් හිටියේ නෑ. අද එවැන්නෝ නෑ. මේ නිසා, විජයබාහු කතාව අදට හොඳින් ගැළපෙනවා. අනිත් අතින් එතුමා සටන්වලදී භාවිත කළ සංග්‍රාම ක්‍රමෝපා ඉතාමත්ම විශිෂ්ටයි. මේ ක්‍රමෝපාය පසුගිය කාලයේ යුද්ධය පැවැති සමයේ ආරක්ෂක අංශ විසින් හොඳින් අධ්‍යයනය කළා.

දුටු ගැමුණු රජතුමා තමයි මෙරට ජනතාව වඩාත්ම ශ්‍රේෂ්ඨයා විදිහට පිළිගන්නේ. එහෙත් ඔබ, වඩා ශ්‍රේෂ්ඨයා බවට පත් කරන්නේ මහා විජයබා රජතුමායි?

දුටු ගැමුණු රජතුමාගේ සේවය අපි කිසිසේත්ම ලඝු කරන්නේ නෑ. එතුමා ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි මම 2009 වර්ෂයේ යුද්ධය පැවැති කාලයේ දුටුගැමුණු රජතුමා ගිය මග ඔස්සේ යමින්, කණ්ඩායමක් සමඟ ගිහින් පර්යේෂණයක් කරලා කෘතියක් රචනා කළේ. ඒ "මහරජ ගැමුණු ජය මඟ ඔස්සේ" කෘතිය. ඒත් ඇත්ත මේකයි, විජයබා මහරජ ඊට වඩා විශිෂ්ටයි. හේතුව මහානාම හාමුදුරුවෝ, උන්වහන්සේගේ බෑනා වන ධාතුසේන, දුටුගැමුණු මහරජු වගේ විශිෂ්ටයකු කරන අදහසින් මහාවංශය ලිවීම එක් කාරණාවක්. දුටුගැමුණු රජුගේ විස්තර සහිත පරිච්ඡේද ගණනාවක් ඒ සඳහා වෙන් කළා. දුටුගැමුණු රජතුමා ශාසනික සේවයක් කළ, රුවන්වැලි සෑය, ලෝවාමහාපාය වගේ විශිෂ්ට පූජා කටයුතු කළ නිසා, ඒ සේවය බැබලුනා. එහෙත්, විජයබා රජුට නිරන්තරවම රට ඇතුළෙත්, පිටතත් විශාල සටන් තිබුණා. එතුමාට තිබුණේ කැඩුණු බිඳුණු නගර නිර්මාණය කිරීම විතරයි. ඒත් ඒ අතර සිරිපාදයට ගිලීමලේ ගම පූජා කළා. බො‍හෝ ශාසනික කටයුතුත් කළ බව පැරැණි පොත පතේ සඳහන් වෙනවා.

දුටුගැමුණු මහරජතුමාට සටන් කරන්න තිබුණේ රට ඇතුළේ වසර හතළිස් හතරක් හිටපු ආක්‍රමණිකයා වන එළාර රජතුමා සමඟ විතරයි. ඒ සඳහා එතුමාගේ පියා වන කාවන්තිස්ස රජතුමා, කලින් සේනා සංවිධානය කර තිබුණා. අවිහල්, ගබඩාහල් නිර්මාණය කළා. දසමහා යෝධයෝ සොයා දුන්නා. දිගාමඬුල්ලේ ගොවිබිම් දියුණු කළා. යුද්ධයේදී ඇතිවන පීඩනය අඩු කර ගන්න වගා කටයුතු කළා. මේවා සියල්ල සංවිධානය කළේ එතුමාගේ පියරජතුමා. දුටුගැමුණු රජතුමා කළේ, ඒ සටන හරිහැටි ක්‍රියාත්මක කිරීම සහ ශාසනික සේවය කිරීම. ඒත්, කීර්ති කුමාරයාගේ මවට හා පියාට රාජ්‍ය උරුමයක් තිබුණත්, ඔවුන් ජීවත් වුණේ කැලෑවේ. කුමාරයාට සොලීන්ගෙන් බේරිලා කැලයේ අල, මුල්, ගෙඩි, පොතු කකා ජීවත් වෙන්න සිදු වුණා. එතුමා රාජ සභාවක් දැකලා තිබුණේවත් නෑ. මහා විජයබා කියන්නේ, එහෙම තැනක ඉඳන් රට ඇතුළත අර්බුදත් විසඳාගෙන, එළියේදී ‍චෝල අධිරාජ්‍යයත් එක්ක හැප්පුණු රණශූරයෙක් . ඒ නිසා, දෙදෙනාම ශ්‍රේෂ්ඨයි. වඩා ශ්‍රේෂ්ඨයා තමයි මහා විජයබා.

මෙරට රජවරු බොහෝවිට කර තිබෙන්නේ, ආක්‍රමණිකයන්ට එරෙහි සටන්. එහෙත්, ඒ සටන් ගැන මෙරට ජනතාව ඉන්නේ නිවැරැදි කියවීමක නෙමෙයි?

ජනතාව සැබෑ ඇත්ත දන්නේ නෑ. දැනගන්න අවශ්‍යතාවකුත් නෑ. දුටුගැමුණු මහ රජුගේ සේනාවේ දෙමළ ජාතිකයන් සිටියා. එසේ ම, එළාර රජතුමාගේ සේනාවේ සිංහල ජාතිකයන් හිටියා. මෙය ප්‍රාචීණ සාහිත්‍යයේ සඳහන්. මහාවංශයේ, ථූපවංශයේ, සිහල වත්ථූප්‍රකරණයේ, සහස්ස වත්ථූප්‍රකරණයේ, රාජාවලියේ, පූජාවලියේ මේවා සඳහන් වෙන කරුණු.

විජයබා රජතුමාගෙන් අභය ඉල්ලා පැමිණි බොහෝ සොලී ජනතාවට, එතුමා අභය දුන්නා. සිංහල හමුදාව විසින් සටනින් පැරැදී යන දරු පවුල්වල ස්ත්‍රීන්, ළමා ළපටියන්, මහල්ලන්, රෝගීන් සමූල ඝාතනය කරන්න සූදානම් වුණු අවස්ථාවලදී, විජයබා රජතුමා එයට විරුද්ධ වුණා. ඔවුන්ට අභය දුන්නා. එහෙමනම්, මේ රජවරු ජාතිවාදීන් වෙන්නේ කොහොමද? ඔවුන් කළේ ආක්‍රමණිකයන්ට එරෙහි සටනක්. ඒක කිසි ම ජාතියකට එරෙහි සටනක් නෙමෙයි.

"මහා සිංහලේ මහා විජයබා" කෘතියට ඉලක්ක කරන්නේ, කුමන විදිහේ පාඨකයාද?

මේ පොත, අපේ අනාගත දරු පරම්පරාවට. මේ පිරිස ඉතිහාසය ගැන දන්නේ නෑ. "වලගම්බා රජතුමා කියන්නේ කවුද?"කියලා එක්තරා විභාගයකදී ප්‍රශ්නයක් අහලා තිබුණා . ඒ සඳහා එක් සිසුවකුගේ උත්තරය වුණේ "ඇටගෙම්බා" කියලයි. මෙයයි අද පරම්පරාවේ දේශමාමකත්වය වෙලා තියෙන්නේ.

අද අපේ දරුවන්ගේ වීරයන් වෙලා තියෙන්නේ, බටහිරින් එන මනඃකල්පිත වීරයන්. මේ පොත ලිවීමේ එක් පරමාර්ථයක් වුණේ, අපේ රටේ සිටි වීරයන් කෙරෙහි අද දරුවන් ආකර්ෂණය කර ගැනීමටයි. මේ පොත තරුණ පරම්පරාවට ග්‍රහණය කර ගැනීම සඳහා සරල, සුගම බස් වහරකින් වගේම, කියවන්න පහසු නවකතා ආඛ්‍යානයකින් රචනා කළා. ඒ වගේම, විජයබා රජුට ඉතිහාසයේදී නොලැබී ගිය වටිනාකම මේ කෘතියෙන් එළිදක්වන්න මා උත්සාහ කළා.

විදේශීය රටවල ඉතිහාසයට වටිනාකම් දෙන ගමන්, මෙරට 2500 වසරක ඉතිහාසය ඇතැම් පිරිස් අතින් හෑල්ලුවට ලක් වෙමින් යනවා නේද?

අද ඉතිහාසයට තැනක් නෑ. එහි වගකීම පාලකයන් භාරගත යුතුයි. ඉතිහාසය කියවපුවහම, දැනගත්තහම, දේශයට ආදරය කරන ජනතාවක් ඇති වෙනවා. එතකොට පාලකයන්ට දුර්දාන්ත විදිහට පාලනය කරගෙන යන්න බෑ. ක්‍රි. පූ. 3 වැනි සියවසේදී ලෝක ලිඛිත ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය සිද්ධවුණේ ලංකාවේදී. ඒ මිහින්තලා පව්ව මුදුනතදී. අපේ රටේ ජනතාව හැතැප්මකට අඟලක් ක්‍රමයට දිය බසින ක්‍රමයට වැව් බැන්දා. ඒ වෙනකොට අමෙරිකානුවන්ගේ ආදිතමයා වන රතු ඉන්දියානුවෝ ගස් නඟිමින් හිටියේ. මෙරටට ආ විජය ඇතුළු පිරිසට කුවේණිය විසින් බත් පිස දුන්නා. ඒ කියන්නේ අපට කෘෂි ජීවන රටාවක් තිබුණා. විජය එන විට කුවේණිය කපු කටිමින් හිටියා. අපට පේෂකර්මාන්ත හැකියාවක් හා පේෂකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර තිබුණා.

ක්‍රි. පූ. 5 වැනි සියවසේදී අපි සීගිරි ගලේ චිත්‍ර ඇන්ඳා. ඒ චිත්‍ර ඇඳීම සඳහා භාවිත කළේ ගස්වල පත්‍ර, පොතු, යුෂ ආදිය. විල්බට් රයිට්ලා ගුවන් යානය නිපදවන්න පෙර, රාවණා රජ්ජුරුවෝ පුෂ්පක යානයෙන් අහසින් ගමන් කළා. බුද්ධදාස රජතුමා නාගයෙක්ගේ උර‍ගෙඩියක් පලා සුවපත් කළා. ඒ කියන්නේ අපේ රටේ වෛද්‍ය ශල්‍යකර්ම කිරීමේ හැකියාවක් තිබුණා. යකඩ තාක්ෂණයෙන් අපි ඉහළම තැනක හිටියේ.

මේ වගේ තව බොහෝ දේ කිව හැකියි. අපේ අතීත සිංහලයා බොහෝ සුරුවිරුකම් තිබුණු අය. ඇයි අපිට ඒ 2500 වසරක ඉතිහාසය නැවත අපේ දරුවන්ට කියාදෙන්න බැරි. ඒක වුවමනාවෙන් ම යටපත් කළ දෙයක්. එහෙත්, සුළු ප්‍රමාණයක් හෝ තවමත් අපේ දේශය අගය කරමින් ඉන්නවා. ඒක සතුටට කාරණාවක්. අපි පොත් ලියන්නේ, ඒ අධ්‍යාශය, අපේකම නඟාසිටුවන්නයි. "මහා සිංහලේ මහා විජයබා" ඒ කාර්යය හොඳ හැටි ඉටු කරයි කියලා මා හිතනවා.

ඔබ ඉතිහාසයට මේ තරම් ලොල් බවක් දක්වන්නේ?

ඉතිහාසයට ආදරය නොකරන පුද්ගලයන්ට හොඳ වර්තමානයක් නෑ. අනාගතයක් නෑ. අප වෙනස් විය යුත්තේ, දියුණු විය යුත්තේ, අපේ අක්මුල්, සාරධර්ම රැකගෙන මිසක්, ඒවා බිඳගෙන නෙමෙයි. එහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔහු පුස්සෙක් බව නිසැකවම කිව හැකියි.

ඡායාරූපය-ශාන් රඹුක්වැල්ල


නව අදහස දක්වන්න