බලාපොරොත්තු තැබිය හැකි අපූර්ව කෘතියක් | දිනමිණ

බලාපොරොත්තු තැබිය හැකි අපූර්ව කෘතියක්

අහම්බකාරක, සහෘද සාක්ෂිය, කුරුලු හදවත, අළු පැහැති ආරංචි වැනි නවකතා, කෙටිකතා රචනා කරමින් සම්මානයට පාත්‍ර වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මෑතකදී කියවූ වඩාත් සිත් ගත් කෘතිය පිළිබඳ අදහස් දකවන්නේ මෙසේයි.

ඔබ මෑතකදී කියවූ වඩාත් සිත්ගත් කෘතිය?

තරංගනී රෙසිකා ප්‍රනාන්දු ලේඛිකාවගේ 'දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය' කෘතිය. මෙය ඇගේ පළමු නවකතාව. ඒක අවධානයට යොමුවිය යුතු, බලාපොරොත්තු තැබිය හැකි කෘතියක්.

කෘතියෙහි ඔබ දකින විශේෂත්වය?

මෑත කාලයේ නවකතා අතර, විෂය පැත්තෙන් ගත්තත්, නිර්මාණ පැත්තෙන් ගත්තත් මේ පොත බෙහෙවින් වෙනස්. මෙහි තිබෙන්නේ, රැඩිකල්, විප්ලවවාදී තරුණයකුට ආදරය කරන කන්‍යා සොහොයුරියක් ගැනයි. නැතිනම්, සාම්ප්‍රදායික නොවන කන්‍යා සොහොයුරියකට ආදරය කරන, දේශපාලනිකව රැඩිකල් තරුණයෙක් ගැන කියැවෙනවා කියලා, අපට ඒක අනෙක් පැත්තට කියන්න පුළුවන්.

පසුගිය දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සාමාන්‍යයෙන් ලේඛක ලේඛිකාවන් නොලියන ආකාරයේ දේ, මේ කෘතිය හරහා මතු කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කතෝලික හෝ ක්‍රිස්තියානි හෝ ශ්‍රී ලංකාවේ මෑත කාලීනව තිබූ දේශපාලනික අරගලය, ව්‍යසනය, සමාජය වෙනස් කිරීමේ අරගලයට මැදිහත්වුණු ආකාරය, ඒවායෙන් පීඩාවට පත්වුණු ආකාරය, ඒ කාලයේ කතෝලික, ක්‍රිස්තියානි පූජකවරු මරා දමා තිබූ අයුරු, ජීවිත පූජා කළ අයුරු ආදී සමාජ පරිවර්තන රාශියක් වෙලා තිබෙනවා. එවැනි ආගමික කාරණා සඳහා වගේ ම, සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා, ජීවිත පරිත්‍යාග කරපු අවස්ථා පිළිබඳ මේ කෘතියේ අඩංගු වෙනවා. එවැනි හේතු මත මේ කෘතිය විශේෂයි.

ඔබ මේ කෘතියට කැමැති ඇයි?

මේ කෘතිය මං ඉතාමත් කැමැත්තෙන් කියවපු පොතක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නවකතාවල, බහුතරයක් සිංහල, බෞද්ධ පරිසරය ගැනනෙ ලියැවිලා තියෙන්නෙ. ඒ වගේම, මෑතකාලීනව පැමිනුණු නවකතාවල බෙහෙවින් තිබුණේ කන්ද උඩරට ගැන. ඒත්, තරංගනීගේ මේ නවකතාවේ, සාමාන්‍යයෙන් නවකතාකරුවකුට හසු නොවන විෂය පථයක් තියෙනවා. එපමණක් නෙමෙයි, ඇය ඉතාමත් අලංකාරව කතාව ලියලා තිබෙනවා. මේ කෘතිය, ලේඛිකාවගේ පළමු නවකතාව වශයෙන් අපට බලාපොරොත්තු තැබිය හැකි පොතක්.

කෘතියෙහි ඔබ වඩාත් සිත්ගත් අවස්ථාව?

මෙහි එක් අවස්ථාවකට මං වඩාත් කැමැතියි කියලා කියන්න අමාරුයි. ඒත්, මෙහි එන කන්‍යා සොහොයුරිය සහ තරුණයා අතර තිබෙන ආදර ආකර්ෂණය හරි ම අපූරුයි. කන්‍යා සොහොයුරිය මෙය ආදරයක් බවට පත් කරන්න බියක් දක්වනවා. ඒත් මේ තරුණයා, කිසිඳු බියක් නැතිව, 'මං ඔයාට ආදරෙයි' කියලා කෙළින් ම කියනවා. කන්‍යා සොහොයුරිය තමන්ගේ හිත ඇතුළේ ආදරය සඟවාගෙන සිටිනවා. මේ දෙදෙනා අතර ආදරය සම්බන්ධයෙන් තියෙන මේ ආතතිය, නවකතාව පුරා ම තිබෙනවා. ඒ නිසා, මොවුන්ගේ මේ ආදර කතන්දරය, නැතිනම් මේ දෙදෙනා එකට මුණගැසෙන සෑම අවස්ථාවක් ම හරි ම ආකර්ෂණීය යි.

මේ කෘතිය, සාහිත්‍යමය වශයෙන් වැදගත්කම කෙබඳුද?

මෙහි සාහිත්‍යමය වශයෙන් වැදගත්කම තියෙන්නෙ නවකතා කලාවෙ. ඒක ඉතාමත් සුඛනම්‍ය කලාවක් වීම, නවකතා කලාවේ තියෙන වැදගත්කමක්. ඒකෙන් නවකතා ලියන්න පුළුවන් අනන්ත ආකාරවලට. ආඛ්‍යාන ශිල්ප ක්‍රම පැත්තෙන්, නවකතාව කියන්නේ මෙහෙම දෙයක් කියලා කියන්න හරි ම අමාරුයි. මේ කෘතිය ගත්තොත්, කතුවරිය කාව්‍යාත්මක ආඛ්‍යානයක් ගොඩනඟන්න උත්සාහ කරන ආකාරය දෘශ්‍යමාන වෙනවා.

ඒ වගේම, බයිබලයේ තිබෙන සමහර තුලනාත්මක අවස්ථා, නවකතාවත් සමඟ ලේඛිකාව තර්ක කරනවා. බයිබලයේ තිබෙන ගීතිකා, විශේෂයෙන් ප්‍රේමය සම්බන්ධයෙන් තිබෙන ගීතිකා, මේ ආඛ්‍යානයට උචිත පරිදි, ඉතාමත් ම අලංකාරව තර්ක කරනවා. ඒ, ආඛ්‍යානයට ආගන්තුක ආකාරයට නෙමෙයි. ආඛ්‍යානයත් සමඟමයි. මෙය ආඛ්‍යානය පැත්තෙන් ගත්තොත්, ඉතා ම වැදගත් කරුණක්.

කාලීන වශයෙන් කෘතියෙන් තිබෙන වැදගත්කම?

අපි උදාහරණයකට ගත්තොත්, ශ්‍රී ලංකවේ මෑතකාලීනව, 88/89 සිට යුද්ධය අවසානය දක්වා අපට උරුම වෙලා තිබුණු අභාග්‍යසම්පන්න දේශපාලන කාලය ගත්තහම, බොහෝ වෙලාවට දැක්කේ, ඒ ගැටලුව දෙමළ, හින්දු අයට, සිංහල බෞද්ධ අයට තිබුණු පීඩන විදිහටයි. ශ්‍රී ලංකාව ඉතා ම සංස්කෘතිකමය වශයෙන් මිශ්‍ර වුණු එකක් බව මේ නවකතාවෙ තියෙනවා. සාමාන්‍යයෙන් ඉතා ම සුළුතර කණ්ඩායමක් වූ ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ලෝකය, දරුණු ආකාරයට ව්‍යසනයට ලක් වුණා ද? විනාශයට පත්වුණාද? යන්න මෙහි ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා, ඒ ගැන අපි තව දුරටත් හිතන එක හොඳයි.

ඒ වගේම, කිතුනු ගහණයේ තිබෙන සමාජ විමුක්තිය යන කාරණය, ඒ කියන්නේ සමාජයෙන් පැනලා යනවා කියන එක නෙමෙයි. සමාජ පරිවර්තනීය විමුක්තිකාමී, නැතිනම් වඩා සාධාරණීය සමාජයක් බවට පෙරළීම නමැති නිදහස්කාමී හා විමුක්තිකාමී අදහසකුත් මේ කෘතියේ දකින්න පුළුවන්.

පාඨකයන්ට මේ කෘතිය වැදගත්වන ආකාරය?

මේ පොත සිංහලෙන් ලියලා තියෙන නිසා, කියවන බහුතරයක් දෙනා බෞද්ධ වෙන්න පුළුවන්. එතකොට අපේ රටේ කිතුනු සංස්කෘතියේ අභ්‍යන්තරය දකින්න ලැබෙන එක පාඨකයන්ට ලැබෙන වැදගත් අවස්ථාවක්. මේ කෘතිය හරහා , නවකතාවේ කතා රසයට, සාහිත්‍ය රසයට අමතරව, විශේෂයෙන්ම අපේ රටේ සංස්කෘතික විවිධත්වය, සංස්කෘතික බහුත්වය පිළිබඳ යම් ආඛ්‍යානමය අත්දැකීමක් ලැබීම, පාඨකයන්ට ලැබෙන ඉතා වැදගත් දෙයක්.

යශෝදා ඉන්දීවරී

අදහස් 1ක් ඇත

කෘතිය පිළිබඳ විග්‍රහය අගයමි. මීට සමාන දර්ශනයක් සහිත නවකතාවක් - ටෙලිනාට්‍යයක් මීට පෙරත් පළ වුණා.ත ජවිපේ ලයනල් බෝපගේට සම්බන්ධ සිද්ධියක් ද පවතියි.

නව අදහස දක්වන්න