තුවක්කුවට වඩා පෑන ප්‍රභලයි | දිනමිණ

තුවක්කුවට වඩා පෑන ප්‍රභලයි

තිලක් සේනානායක

ශ්‍රී ලංකාවේ යුදබිම් සාහිත්‍ය පෝෂණය කිරීමට කැප වූ ලේඛකයන් අතරින්, මාධ්‍යවේදී තිලක් සේනානායකට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. “වඩමාරච්චි විමුක්ති මෙහෙයුම සහ උතුරේ සටන්” කෘතියත්, “රණවිරු - පූස් පැටියෝ” කතාවත්, ඔහුගේ එබඳු නිර්මාණ අතර වේ.

ඔබේ අලුත්ම නිර්මාණය වන “ආදරණීය කැප්ටන් තිවංක” නිර්මාණය වූයේ කොහොමද?

වන්නි පළාතේ (වවුනියාවේ)දරුණුම ලෙස යුද්ධය පැවැතුණු වකවානුවේදි අත්විඳි අත්දැකීම් කිහිපයක් ඇසුරින්, මේ නවකතාව නිර්මාණය කළා.

මේ පොතේ කැප්ටන් තිවංක කවුද?

යුද්ධයේ පූර්ණ කැපවීම කරන්නේ අපේ සෙබළු, නවක ලුතිනන්වරු, ලුතිනන්වරු, කපිතන්වරු, මේජර්වරු. සමස්ත කපිතන්වරු සියලු ම දෙනා සංකේතවත් කරමින් තමයි මම “කපිතන් තිවංක” චරිතය ගොඩනැඟුවේ.

මේ ඔබ නෙමෙයිද?

මගේ සමහර අත්දැකීම්, කපිතන් තිවංකගේ චරිතයට, නිර්මාණකරුවකු ලෙස මා එන්නත් කර තිබෙනවා.

මේ කෘතිය කියවීමේදී, යුද්ධයේදී කපිතන්වරයකු සතු වගකීම හා කැපකිරීම පිළිබඳ අවබෝධ කර ගන්න පුළුවන්.මේ ගැන යමක් සඳහන් කළොත්?

කපිතන්වරයකු ඉතා බුද්ධිමත්ව, එඩිතරව, උපායශීලිව සහ ඉවසිලිවන්තවයි කටයුතු කරන්නේ. යුද්ධය පැවැති වකවානුවේ, යුද බිම්වල “කාඩ්බෝඩ් වීරයෝ” හිටියේ නැහැ.

“කපිතන් තිවංක” චරිතය මඟින් මා උත්සහ ගත්තේ, සැබෑ කපිතන්වරයකුට ජනතා උපහාරය පුදකර දෙන්නටයි.

ඔබට කොටි සංවිධානය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව,මේ කෘතියෙන් පෙනී යනවා?

මට පත්තරකාරයකු ලෙසත්, යුද හමුදාවේ සටන් නිලධාරියකු වශයෙනුත්, පෑනෙන් වගේම, තුවක්කුවෙනුත් කොටි සමඟ සටන් කරන්න සිදු වුණා. යුද හමුදාවේ “‍මනෝවිඥානාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ” මාණ්ඩලික නිලධාරියකු ලෙසත් කලක් කටයුතු කිරීමෙන් මට කොටි ගැන හොඳ අවබෝධයක් ලැබුණා. අනෙක් පැත්තෙන්, කොටි සමඟ කෙරුණු යුද මෙහෙයුම්වල නිරතවීමෙනුත්, කොටි සංවිධානය ගැන අවබෝධයක් ඉඳුරාම ලැබුණු බව කිවයුතුයි.

ඔබ වැඩිය ආදරය තුවක්කුවට ද? පෑනට ද?

මම වැඩිය ආදරය පෑනට. පෑන තුවක්කුවට වඩා ප්‍රබලයි. තාවකාලිකව පෑන බිම තියලා, තුවක්කුව අතට ගත්තු කාලවල, තුවක්කුවේ යුතුකමත් මම හරියටම ඉටු කළා.

ඔබට දෙමළ තරුණියන් ගැන, ඔවුන්ගේ ගති සිරිත් පිළිබඳ, ආදරය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව, මේ කෘතියෙන් අවබෝධ කර ගන්න පුළුවන්.

අපි යුද්ධය මෙහෙය වූයේ ඉතා මානුෂිකවයි. අපි සටන් කළේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, ත්‍රස්තවාදින්ට එරෙහිවයි අපි යුද්ධ කළේ. ඉතා මානුෂිකව භට පිරිස් මෙහෙයවමින්, අපි නිතරම ඉලක්ක කරගත්තේ ත්‍රස්තවාදියා පමණයි. මේ නිසා මට, දෙමළ තරුණ තරුණියන්ගේ සිතුවිලි සහ හදවත් තේරුම් ගැනීමට පුළුවන් වුණා. පත්තරකාරයෙක් හැටියට මම දෙමළ තරුණ පරපුර සමඟ ඉතා සමීපව කාලයක් සිටියා.

මේ පොතේ විග්‍රහ වන ගයත්‍රී, සාවිත්‍රී, සරස්වතීලා ඔබට නිතර හමුවෙලා ඇති නේද?

හමුදාවට සැබැවින්ම ආදරය කළ තරුණ තරුණියන් බොහෝ පිරිසක්, සටන් පැවැති ප්‍රදේශවලදී මට හමුවෙලා තියෙනවා.

ඔබේ ඊළඟ නිර්මාණය මොකද්ද?

“මේක සොඳුරු ලෝකයක්” නමැති මගේ නවකතාව ළඟදීම පිටවෙනවා.

 “මේක සොඳුරු ලෝකයක්” නිර්මාණය වෙලා තිබෙන්නේ, යුද්ධය පසුබිම් කරගෙන ද?

යුද හමුදා කපිතාන්වරියකට ආදරය කරන මාධ්‍යවේදියෙක්, ජීවිතේ විජයග්‍රහණය, ආදරය , සටන්බිමේදී ලබන ආකාරය මේ නවකතාවෙන් කියැවෙනවා.

මේ දිනවල නිර්මාණ කාර්යයක නිරත වෙලාද ඉන්නේ?

මගේ යුදබිමේ ජීවිතය පසුබිම් කරගෙන, “තිස්වසක් යුදබිමේ” කෘතිය මේ දිනවල ලියාගෙන යනවා.

හමුදා සේවයේ යෙදී සිටි පුද්ගලයකු සහ ලේඛකයකු ලෙස පාඨකයන්ට කියන්න යමක් තියෙනවද?

යුද හමුදා සාමාජිකයන්ට ඔබේ අනුකම්පාව එපා. අපට ඕනැ ඔබේ ආදරයයි.

චන්ද්‍රසේන වැලිගමගේ


නව අදහස දක්වන්න