නාලක සිල්වා සහ ඉන්දීය ජාතිකයා පෙබරවාරි 13 දක්වා යළි රිමාන්ඩ් | දිනමිණ

නාලක සිල්වා සහ ඉන්දීය ජාතිකයා පෙබරවාරි 13 දක්වා යළි රිමාන්ඩ්

සුභාෂීණී සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තා ලබන පෙබරවාරි මස 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර නාමල් කුමාර යන අය සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අය සිදු කළ බව කියන ප්‍රතිඋත්පාදනය කළ ජංගම දුරකතනයේ තිබූ සංවාද ඇතුළත් පිටු 14න් යුතු වාර්තාවක් රහස් පොලිසිය ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය

තවත් ප්‍රතිඋත්පාදනය කරන ලද හඬ පට ඇතුළත් වාර්තා සකස් කරමින් පවතින බවද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිගමනය කිරීමට අදාළව සාධාරණ සාක්ෂි ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නාමල් කුමාර යන අය වරින් වර කාර්යාලයෙන් පිටතදී ගාලු මුවදොර පිටියේ දී මෙන්ම වෙනත් ස්ථානවලදී හමුවී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දූතයන් හරහා ඔහුට විටින් විට යවන ලද පණිවිඩ සම්බන්ධයෙන් සටහන් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

එමෙන්ම සිද්ධියට අදාළව නැ‍ඟෙනහිර පළාතේ දී ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ස මහතා ඝාතන කුමන්ත්‍රණයට අදාළව සැකය තහවුරු වන සාක්ෂි 120ක් පමණ ඇති බවත් පැය 48ක පමණ ප්‍රමාණයකින් ලබා ගන්නා ලද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්ෂි මගින් ද එම කරුණු තහවුරු වන බව ද අධිකරණයට කී රහස් පොලිසිය පැමිණි‍ල්ලේ ප්‍රකාශ බැහැර කළ නොහැකි බව ද කියා සිටියේය.

තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කළ නීතිඥ අජිත් පතිරණ මහතා දුරකථන සංවාද වාර්තාවේ ත්‍රස්ත පනතට අදාළ කිසිවක් නැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් රහස් පොලිසිය සාක්ෂි සොයන බවත් අධිකරණයට කියා සිටි රහස් පොලිසිය මේ සිද්ධියට අනුව මේ රටේ ජීවත් වන සෑම පුරවැසියකුගේම ජීවිත අවධානමක් ඇති බවත් කියා සිටියේය.

පැමිණිලිකරු පොලිස්පතිවරයාගේ පුද්ගලික ඔත්තුකරුවකු වන බවත් ඔහුට පොලිසිය දෙවරක් රුපියල් ලක්ෂ පහ බැගින් ලබා දී ඇති බවත් අධිකරණයට කී රහස් පොලිසිය පුද්ගලික ඔත්තුකරුවන් සමඟ සම්බන්ධතාවන් ගැන රහස් පොලිසිය හොඳින් දන්නා බවත් කී අතර, එම මුදල් ඔහුට ලබා දී ඇත්තේ දිගන සහ ගල්කිස්ස සිදු වූ සිද්ධීන්වලට අදාළව බව රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න