සේනා දළඹුවා ගේ දේශපාලනය | දිනමිණ

සේනා දළඹුවා ගේ දේශපාලනය

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

මානවයා දේශපාලන ජීවියෙක් යැයි ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් (කි‍්‍ර. පූ. 384 - 322) ප්‍රකාශ කළේය. මානවයාගේ උපතේ සිට මරණය දක්වා පැවැත්ම දේශපාලන අණ පනත්වලට යටත් ප්‍රාණඇපකරුවකු වන හෙයින් කිසිවිටක මානවයා නිදහස් ජීවියකු නො වෙයි. සේනා දළඹුවා දේශපාලන ජීවියකු නො වෙයි. එහෙත් පළිබෝධකයා සහ මානවයා අතර පවතින විරසකය දේශපාලන සංකල්පයකි. පළිබෝධකයා යනු මානවයාගේ සතුරෙකැ’යි දේශපාලනය අර්ථගන්වයි. එම දේශපාලන සංකල්පයට අනුව කෘෂි වගාවන්ට හානි කරන සේනා දළඹුවා දැන් දිස්ත්‍රික්ක 25 පුරා වසංගතයක් මෙන් පැතිර අවසන් යැයි බලධාරීහු පවසති. ගොවීහු වගා පාළුව ගැන මැසිවිළි නගති. වගා ණය ගොවාගත නො හැකි ව සියදිවි නසා ගනිති. නිලදරුවෝ පිළිසරණක් නොමැති ව කාෂි රසායන සොයමින් සමාගම් පිළිසරණ පතති. මාධ්‍යකරුවෝ තම තම නැණ පමණින් අයාලේ යමින් සුපුරුදු සංදර්ශන මවා පාති. බලය ලුහුබඳින දේශපාලකයෝ දළඹුවා ගැන නො දැන වාද කරති. එකිනෙකාට අභියෝග කරති. සාමාන්‍ය ජනයා සුපුරුදු ලෙස සිදුවන දෑ ගැන අවිශ්වාසයෙන් බලා සිටිති.

අතීතයේ ද මෙවැනි පළිබෝධකයන් සහ වසංගත අංගමාර රෝග වැනි දෑ ලංකාවේ සහ ලෝකයේ පැතිර ගියේය. පළිබෝධකයා වාණිජ ඒක බෝග වගා වෙත බලපෑම් ඇතිකිරීම අහඹුවක් නොවේ. එය අවිධිමත් මානව කේන්ද්‍රීය සංවර්ධන ක්‍රියාදාමයේ ආරාධිත ව්‍යසනයකි.

සේනා දළඹුවා පැතිර ගිය ප්‍රදේශ වල ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීම සහ දළඹුවකු අල්ලා ඉදිරිපත් කරන ගොවියාට සත පනහක මුදලක් ගෙවීම වැනි දේශපාලන වදන් අසමත්භාවයේ හරසුන් ප්‍රකාශනයන් ය. එය ගැටලුව මඟහැරයාමේ ක්‍රමවේදයන් ය. වාණිජ පරමාර්ථ මත ඒක බෝග වගාවට පෙළඹවූ මානවයා ඉතිහාසය පුරා මෙවන් අත්දකීම් ලැබූ වග සියලු ශිෂ්ටාචාර අර්බුදයට ගොදුරුවීමෙන් උගත හැකි පාඩමකි. මහා පරිමාණයෙන් එක ම බෝගයක් වගා කිරීම සොබාදහමේ නියාමයන් ඉක්මවා මානව කෑදරත්වය ඉස්මතුවීමකි. බඩඉරිඟු - තිරිඟු - සොයාබෝංචි - උක් සහ සහල් එක ම ස්ථානයක එක ම ක්‍රමවේදයකට කන්නයෙන් කන්නය වාණිජ පරමාර්ථය මත වගාකිරීමෙන් පසේ ඇති ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ අහිමිවෙයි. එහෙයින් සින්තටික් රසායන පොහොර නිරතුරු ව යෙදීමට අතවශ්‍ය වෙයි. ඒක බෝග වගාව තමන්ට අනවශ්‍ය බොහෝ පළෑටි සහ සත්ත්ව විශේෂ පළිබෝධකයන් යැයි සැක කොට විස රසයාන මඟින් වනසා දමයි. එමඟින් ජෛව විවිධත්වය අතුරුදහන් වෙයි. ශාක පළිබෝධකයන් ලෙස සැලකීමෙන් අන් සියලු ශාක වේදනාවට පත්වෙයි. 1980 වසරේ කැලිෆෝර්නියාවේ වයින් වගාව අක්කර මිලියන දෙකක් නැවත වගා කිරීමට සිදුවූයේ නවපන්නයේ පළිබෝධකයකු මූල පද්ධති හානි කළ බැවිනි. වාණිජ පරමාර්ථයෙන් අධික ලාභය සඳහා හඳුනාගත් බෝග දෙමුහුන් කර කෘත්‍රීම පොහොර සහ විස රසායන මඟින් ඒක බෝගවගාව නඩත්තු කරන විට පෘථිවියේ ස්වභාවික ජෛවවිවිධත්වය අහෝසි ව නැවත මානවයා වෙත විරෝධාත්මක ව ප්‍රතිචාර දක්වයි. මෙම තත්ත්වය මත එක්සත් ජනපදයේ ගව විශේෂ 200 ක් පමණ නව දෙමුහුන් වර්ග නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි ආහාර දෙපාර්තමේන්තු පවසයි.

ඒක බෝගවගාවේ අතීත අත්දැකීම්

ලංකාවේ කෝපි වගාවට 19 වන සියවසේ දී වලැඳුණු කොළ කොඩවන පුස් Hemilaea vastatrix රෝගය කෝපි වගාව සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීය. එහෙයින් එංගලන්ත වැසියා කෝපි පානයෙන් ඉවත් ව තේ පානය සඳහා පෙළඹුණ වග අතීත සටහන්වල දැක ගත හැක. ගෝලීය ධාන්‍ය නිෂ්පාදනයේදී කලින් කල හටගන්නා මෙවැනි පළිබොධකයන් සහ රෝගාබාධ නිසා ආහාර සුරක්ෂිතව අනතුරට ලක්වන වග එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය අවධාරණය කරයි.

විද්‍යාඥයන්ගේ තක්සේරුවට අනුව ධාන්‍ය නිෂ්පාදනයෙන් වාර්ෂික ව 40% ක් පමණ මෙවැනි අන්තරායන් හේතුවෙන් අහිමි වෙයි. බ්‍රිතාන්‍යයේ කෘෂි පාරිසරික පර්යේෂණ සංවිධානය (Agro Environment Research Organization) බෝග වගාවට හානි කරන පළිබෝධකයන් පිළිබඳ විද්‍යාත්මක ලේඛනයක් සකසා ඇත. එහෙත් අනතුරුදායක පළිබෝධකයන් කුමන හේතුවක් නිසා වගා ආක්‍රමණය කරන්නේ දැයි තවමත් ගැටලුවකි. මක්නිසාදයත් වරින් වර විවිධ රූපකායෙන් මෙම ජීවීහු පෙනී සිටින බැවිනි. එක් කන්නයක දී පැමිණෙන පළිබෝධකයා නැවත එම ස්වරූපයෙන් නො පැමිණෙයි. ඔවුන් විස රසායනයන්ට ඉතා ඉක්මණින් අනුවර්තනය වෙයි. ප්‍රතිචාර දක්වයි. එය සොබාදහමේ සාපේක්ෂ නියාමයි.

බයිබලයේ සඳහන

Schistocerca gregaria නමැති පළිබෝධකයා කුණාටුවක් ලෙස පැමිණ එසැණින් අක්කර ගණනාවක වගාව විනාශ කළ වග බයිබලයේ සටහන් වෙයි. පළගැටියා නිවර්තන අප්‍රිකානු කලාපයේ හානිදායක ජීවියෙකි. රොද බැඳී රංචු වශයෙන් පැමිණ ධාන්‍ය යුෂ උරා බී ගොවිබිම් වනසයි. ස්වභාවික පාලනයට බාධා පමුණුවන මානවයා ගේ වාණිජ ඒක බෝග වගාව බොහෝ පළිබෝධකයන් ආරාධිත ව ගොවිපොළට කැඳවයි. උදාහරණ වහයෙන් ඉතා ආසන්න කාලයේ බ්‍රසීලයේ කොකෝවා වගාවට වැලඳුනු Crinipellis perniciosa රෝගය මානව සමාජය දේශපාලනිකව අසමත්වීමේ ඵලයකි. කොකෝවා බිම් අත්පත් කර නෙ සිටි ප්‍රභූ පංතියේ බලය බිඳවැටී දේශපාලනික ව අස්ථාවරවීමත් සමඟ නිෂ්පාදනය 75% කින් පහළ ගොස් ලෝක වෙළඳපොළ තුන්වන ස්ථානයේ වැජඹුණ බ්‍රසීලය 13 වන ස්ථානය දක්වා පහත වැටිණි. රබර් ශාකය දකුණු අමෙරිකාවට අවේණික වූව ද නිෂ්පාදන ක්‍රියාදාමය සඳහා භාවිතා කෙරෙන්නේ අවම වශයෙනි.රබර් වගාවට හටගන්නා පුස් රෝගයට Microcyclus ulei ksid නිෂ්චිත ප්‍රතිකර්මයක් සොයා ගත නො හැකි ව පීඩා විඳියි. 1920 වසර සිට ගෙවී ගිය සියක් වසර කාලයේ දී හෙන්රි ෆොඞ් (1863 - 1947) මොටර් රථ ටයර සඳහා රබර් වගාව බ්‍රසීලයේ ෆොර්ඞ්ලෑන්ඩ් Fordlandia ප්‍රදේශයේ ව්‍යාපාරික වාණිජ ඒක බෝග වගාවක් ලෙස ආරම්භ කළේය. ඒ සඳහා එකල ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කළේය. කෝපි වගාවට හටගත් Fusarium xylarioides මල් සහ කොළ වියළී යන රෝගාබාධය නිසා පස නිසරු ව රබර් වගාව ද අසාර්ථක විය. අවසානයේ රබර් ගස් උගුලා දැමූව ද තවමත් එහි ආනිසංශ දැකගත හැක. 1845 - 1852 අතර කාල පරාසයේ අයර්ලන්තයේ අර්තාපල් වගාව විනාශ කළ Phytophthora infestans නමැති පුස් වර්ගය හේතුවෙන් හට ගත් දුර්භික්ෂය නිසා මිලියනයක ජනයා සාගතයෙන් මිය ගියහ. තවත් මිලියන ගණනක් ජනයා අයර්ලන්තය අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. එමඟින් අයර්ලන්තයේ ජනගහනය 24% කින් පහත වැටිණ.

වියළි ද්‍රව්‍ය මත බිජු දමන Trogoderma granarium නමැති කෘමියා පාලනය කිරීම අතිශයින් ම දුෂ්කරය. පළිබෝධ නාශකවලට ඉතා පහසුවෙන් ප්‍රතිචාර දක්වන මෙම කෘමියාට දිගු කලක් ආහාර නොමැති ව පැවතිය හැකිය. ඉතා ආසන්න කාලයේ මෙම කෘමියා බ්‍රිටිෂ් කොලොම්බියාව - කැනඩාව මිලියන 13 ක ලොඩ්පෝල් පයින් lodgepole pine වගා භුමියේ හෙක්ටයාර මිලියන 13 ක් විනාශ කළේය. එමඟින් කාබන් ටොන් මිලියන 250 ක් වායු ගෝලයට නිකුත් විය. 1998 වසරේ උගන්ඩාවෙන් සොයා ගත් තිරිඟු වගාවට වැලඳුන දිලීර Puccinia graminis tritici රෝගය පසුව අප්‍රිකාව - ආසියාව සහ මැද පෙරදිග දක්වා ව්‍යාප්ත විය. මෙම දිලීර රෝගය UG99 නමින් හැඳින්වෙන අතර, එම වර්ගයට අයත් දිලීර විශේෂ හයක් දැන් හඳුනාගෙන ඇත.

ඕනෑම කෘමිනාශකයකට ප්‍රතිචාර දැක්විය හැකි කෘමියා Leptinotarsa decemlineata විස අධික සයිනයිඩ්වලින් පවා විනාශ කළ නො හැක. සමාගම් මෙම කෘමියා විනාශ කිරීමට රසායන 52 ක් භාවිත කළ ද ඉන් කිසිඳු ප්‍රතිඵලයක් නො දුටු හෙයින් කෘමියා වැනසීම සඳහා ස්වභාවික විලෝපිකයන් වෙත දැන් අප්‍රිකානු ගොවියා ගේ අවධානය යොමු වී ඇත.

කෘෂි ජීවන රටාවකට හැඩගැසුණු සෑම මානව වාසස්ථානයක ම පළිබෝධකයන් ස්වභාවික සංසිද්ධියකි. පළිබෝධකයන් සහ මානවයා අතර ආහාර සඳහා තරගයක් පවතී. බොහෝ පළිබෝධකයන්ගේ සෘජු බලපෑම වන්නේ බෝග වගාවන් හි සුහුඹුල් දලු සහ කොළ ආහාරයට ගැනීම, ශාකයේ සාරය උරා බීම, මූල පද්ධතිය විදීම, පත‍්‍ර හකුළා බිජු දැමීම, ශාකය පුරා රෝගකාරක පැතිරවීමයි. ඔවූහු ස්වභාවික කෙඳි ආහාරයට ගනිති. ශාකයේ වර්ධනීය අවස්ථා විනාශ කර දමති. ගබඩා කළ ධාන්‍ය විනාශ කරති. එමෙන් ම රෝග වාහකයකු ලෙස මානව සහ ගෘහ ආශ‍්‍රිත සත්ව විශේෂවල සෞඛ්‍ය අනතුරට ලක් කරති. කෘෂි ආර්ථික විද්‍යාඥයන්ගේ තක්සේරුවට අනුව පළිබෝධකයා සංවර්ධනය වූ රාජ්‍යයන් හි දළ ජාතික නිෂ්පාදනයෙන් 10% ක් පමණ විනාශ කරති. සංවර්ධනය වෙමින් පවතින පරිවාර රාජ්‍යයන්ගේ එම විනාශය 25% ක් ඉහළ අගයක් ගනියි.

ජනගහන පාලනය

පළිබෝධකයා මානව ශිෂ්ටාචාරය විවිධාකාරයෙන් හැඩගසයි. මානව ජන ඝණත්වය පාලනය කරයි. මානව වාසස්ථානවල අපද්‍රව්‍ය සහ සත්ව මළකුණු විනාශ කරයි. කාබනික පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරයි. එහෙත් මානව කේන්ද්‍රීය සංවර්ධනය සිය පැවැත්ම සඳහා අනෙක් සත්ව විශේෂයන්ගෙන් සිදුවන සහාය අමතක කර දමයි. පරපෝෂිතයන් - විලෝපිකයන් සහ වෙනත් ජීව විශේෂ ස්වභාවික පද්ධතියේ සමබරතාව රැකගන්නා සොබාදහමේ කොටසකි. කෘමි විශේෂ 6000 ක් පමණ හඳුනාගෙන පර්යේෂණය කර ගොවිතැනට හානිකරන පැළෑටි සහ කෘමීන් (පළිබෝඛයන්) ජෛවවිද්‍යාත්මක ව මර්දනය සඳහා බොහෝ රාජ්‍යයන් හි මුදා හැර ඇත. මානවයා මෙන් ම අනෙක් සත්ත්ව විශේෂ ද සිය සනුහරේ වර්ධනය නියාමනය කිරීමට විවිධ උපායමාර්ග භාවිත කරයි. අවධානයට යොමු නොවූව ද ස්වභාවික ආපදාවන් සහ මානව මැදිහත්වීම් මත මෙම පාලනය සිදු වෙයි. මානව ජනගහන පාලනය සඳහා යුද්ධය, වසංගත, සාගතය, නියඟය වැනි ස්වභාවික ආපදා මූලිකවන්නා සේම, අනෙක් ජීව විශේෂ වර්ධනය පාලනයට ද සොබාදහම පොදු නියාම භාවිත කරයි, මානව කේන්ද්‍රීය අවිධිමත් සංවර්ධනය පළිබෝධකයන්ගේ (වසංගත) වර්ධනයට හේතු වෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ පළිබෝකයන්ගේ 50% අඩක් ම ආනයනික විශේෂයන්ය. කූඹි විශේෂ අකුණු අමෙරිකාවෙන් - ජිප්ෂි සලබයා යුරෝපයෙන් ද ආනයනය කළ ද එය ව්‍යසනයක් ලෙස නො සලකයි.- ස්වභාවික පරපෝෂිතයන් - විලෝපිකයන් සහ රෝගාබාධ පමණක් නොව යුද්ධය ද ජනගහන වර්ධනය සීමා කිරීමට සමත් යැයි බල දේශපාලනය විශ්වාස කරයි.

ස්වභාවික ක්‍රමවේද

ජලජ කෘමියා අනෙක් සත්ත්ව විශේෂවල ආහාරදාමයේ අතවශ්‍ය කොටසකි. නලහඳයා - බුලත්හපයා - දණ්ඩියා - පෙතියා වැනි කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ මිරිදිය මත්ස්‍ය විශේෂයන් කෘමීන් ආහාරයට ගනිති. උභය ජීවීන් වන ගෙඹි විශේෂ , සර්පයා, කටුස්සා ද ගී ගයන කුඩා පක්ෂීන් වන ගේකුරුල්ලා , වී කුරුල්ලා , කුඩා කොක් විශේෂ , වටුවා පාත්තයා කෘමිභක්ෂක වෙති. ක්ෂීරපායි සතුන් අතර වවුල් විශේෂ , හික්මීයා , වැලිමීයා , ඈයා උදාහරණ ලෙස දැක්විය හැක. ඇතැම් මානව සංස්කෘතීන් හි කාමීන් පෝෂ්‍යදායක ආහාරයකි. මැක්ෂිකෝවේ සහ අප්‍රිකාවේ වියළි පළගැටියා රසවත් ආහාරයක් ලෙස වීදි වෙළඳපළින් මිල දී ගත හැක. මේදය අවම ප්‍රෝටීන් බහුල පළගැටියා තිරිඟු පිටි සමඟ මිශ්‍ර කොට තෙලෙන් බැද ආරයට ගනී. ලී කුරුමිණියා සහ පිළවා පැපුවා නිව්ගිනියාවේ ගින්නෙන් පුළුස්සාගන්නා රසවත් ආහාරයකි. කුඹි විශේෂ , මී මැසි පිළවා , වේයා , දළඹුවා ගැඩවිලා , බිම් පණුවා , ජලජ කුරුමිණියා , කෘමී පිළවා , මැස්සා , රැහැයියා සහ කූරා ඕස්ටේලියාවේ ඇබොරිජන්වරු, අප්‍රිකාව, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ඈත පෙරදිග ජනයාගේ ආහාරයේ රසවත් සහ පෝෂයදායක කෙටසකි. එහෙත් යුරෝපයේ කෘමීන් ආහාරයට ගැනීමට ඈත අතීතයේ සිට සංස්කෘතික තහංචියක් පනවා ඇත.

ඉන්දියානු නව තාක්ෂණික ගොවි සේවාව

ඉන්දියානු රජය ගොවි ජනයාගේ පහසුව තකා ඩිජිටල් තාක්ෂණයෙන් නව (Agri App) ඇග්‍රි ඇප් පහක් නිර්මාණය කර ඇත. එමඟින් කෘෂිකර්මාන්තයේ නව තාක්ෂණික දැනුම දෛනික ව යාවත්කාලීන වන අතර රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති සහ දුරස්ථ ගොවි ප්‍රජාව අතර සබඳතාව ශක්තිමත් වෙයි. වෙළඳපළ මිල ගණන්, කාලගුණ වෙනස්කම්, රාජ්‍ය ප්‍රතිපත්ති, ගොවි ව්‍යාපෘති, නව වීඩියෝ ප්‍රවෘත්ති වැනි දෑ එසැණින් ලබා දෙයි. එමෙන් ම ගොවියාට මතුවන වෘත්තිය ගැටලු කෘෂි විශේෂඥයන් වෙත ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇත. එම ගැටලුවලට නිෂ්චිත විසඳුම් විඩියෝ තාක්ෂණය මඟින් පිළිතුරු ලෙස ඔවුන් වෙත ඉතා පහසුවෙන් ළඟාගාවෙයි. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක ම ගොවීන් අතර මෙම තාක්ෂණික ක්‍රමවේදය ඉතා ජනප්‍රිය ය. මාර්ග ගත ගොවි සේවාව online farming මඟින් වෙළඳපොළ වෙනස්කම් සඳහා වේදිකාවක් නිර්මාණය කර ඇත. එමෙන් ම ගොවීන් අතර අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීම සහ කෘෂි විශේෂඥයන් සමඟ පිළිසඳරේ යෙදීමට chat අවස්ථාව ලබා දී ඇත. ඉෆිකෝ කිසාන් Iffico Kisan සියලු කෘෂි ඇප් අතර ඉතා ජනප්‍රිය ඉතා කුඩා පහසුවෙන් හැසිරවිය හැකි ඇන්ඩ්‍රොයිඩ් ඇප් නිර්මාණයකි. එය කෘෂි උපදේශ - වෙෙළඳපළ මිල ගණන් සහ කාලගුණික වෙනසකම් භාෂා දහයකින් සම්පාදනය කරයි. කෘෂි මාධ්‍ය වීඩියෝ Agri Media Video App ඇප් සහ FarmBee - RML Farmer ඇප් මඟින් පොහොර අන්තර්ගතය, බෝග වගාවේ ජීවන චක්‍රය (බෝග විශේෂ 450) වෙ‍ෙළඳපළ 1300 ක්, කාලගුණ කලාප 3500 ක් ගැන තොරතුරු ලබා දෙයි. කිසාන් යෝජනා Kisan Yojana රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳ ගොවියාට අවශ්‍ය තොරතුරු ලබා දෙන අතර ගොවියාට සිය අත්දැකීම් මත රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී යෝජනා ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවෙයි. වසරින් වසර විශාල ලෙස මුදල් ආයෝජන කොට නිසි ඵලදායකත්වයක් නොමැති දේශපාලන ව්‍යාපෘතීන් මත අයාලේ දුවන ලංකාවට ඉන්දියානු නව තාක්ෂණයෙන් බොහෝ දෑ උගත හැක. රළු පරළු ගතානුගතිකත්වයෙන් මිදී කෑදර ඒක බෝග වගාව ඉවත් කර සරල බහු බෝග වගාව වෙත යොමුවීමට දැන් කාලය පැමිණ ඇත.


නව අදහස දක්වන්න