මහත්මා ගාන්ධි ජීවමාන කරන නළුවා | දිනමිණ

මහත්මා ගාන්ධි ජීවමාන කරන නළුවා

ඔහුගේ නම දීපක් අන්ටානි, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකි.

ඔහු තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.

මෑතකදී මධ්‍යම රජයේ අමාත්‍ය සහ භාරතීය ජනතා පක්ෂ නායක මන්සුඛ් මණ්ඩාවියා ගුජරාට් ප්‍රාන්ත ගම්මාන ආවරණය කරමින් පාද යාත්‍රාවක් සංවිධානය කළ අතර දීපක් අන්ටානි ද ඊට සහභාගි විය.

"පසුගිය අට වසර පුරා ගාන්ධිතුමාගේ චරිතය විවිධ නාට්‍ය සහ වාර්තා වැඩසටහන්වල රඟපාමින් සිටිනවා," දීපක් පවසයි.

"එම රඟපෑම පැය කිහිපයකට හෝ නාට්‍යයේ ප්‍රදර්ශන වාරයට සීමා වෙනවා. නමුත් පාද යාත්‍රාවේදී ප්‍රථම වරට මම උදෑසන සිට රාත්‍රිය දක්වා ගාන්ධිතුමා විදියට ඇඳගෙන සිටියා", දීපක් පැවසීය.

"එසේ මිනිසුන් අතර සිටීම සුවිශේෂී අත්දැකීමක්. මිනිසුන් පැමිණ තිලක තබන විට සහ මල් මාලා දමන විට ඇති වුණේ පුදුමාකාර හැඟීමක්".

පාද යාත්‍රාව ජීවන යාත්‍රාව බවට පත් වීම 

භාරතීය ජනතා පක්ෂ නායක මන්සුඛ් මණ්ඩාවියා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ජනවාරි 16 සිට 22 දක්වා පාද යාත්‍රාවක් සංවිධානය කළ අතර එය හැඳින්වූයේ, "පාද යාත්‍රාව ජීවන යාත්‍රාව බවට පත් වීම" යනුවෙනි.

"මිනිස්සු ගෞරවය දැක්වීමට මගේ පාද ස්පර්ශ කරන විට ගාන්ධිතුමාගේ චරිතය රඟපෑම කෙතරම් වගකීමක්දැයි මට දැනුණා", යැයි දීපක් පවසයි.

"මම මිනිසුන් අතරට සාමාන්‍ය ඇඳුමින් ගියොත් ඔවුන්ට මාව හඳුනා ගන්න බැහැ. එසේ ම එවැනි ගෞරවයක් මට ලැබෙන්නේත් නැහැ" "මේ ගෞරවය ලැබුණේ ගාන්ධි වෙනුවෙන්. මගේ ඇඳුම තමයි සියල්ල වෙනස් කළේ."

ජීවිතය වෙනස්කර ගැනීම

දීපක් අන්ටානි ගාන්ධිතුමාගේ චරිතය දිගු කලක සිට රඟපාන අතර එමගින් තම ජීවිතයට බලපෑමක් ඇතිව තිබෙන බව ඔහු පිළිගනී.

"ගාන්ධිතුමාගේ චරිතය රඟපෑම ඇරඹීමත් සමග මම සමහර ඇබ්බැහිවීම් වලින් මිදුණා. පසුගිය වසර හය තුළදී මම බොහෝ පුරුදු අත්හැරියා".

"ගාන්ධිතුමාගේ සිරුර කෙට්ටුයි. මමත් මගේ සිරුරේ හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි. "

මහත්මා ගාන්ධි මෙන් ම දීපක් ද පාද යාත්‍රාවකට සහභාගි විය. "අපි ඉස්සෙල්ලා හිතුවේ ගම්වලට වාහනවලින් යන්න".

"නමුත් අපි ගම් එකින් එකට යන විට ලැබුණු ප්‍රතිචාරය ඉහළයි. එම නිසා මම තීරණය කළා පයින් ම යන්න"

එම පාද යාත්‍රාව පාදක කරමින් වාර්තා වැඩසටහනක් නිපදවා ඇති අතර එහි සමහර දෙබස් ලියන ලද්දේ, දීපක් විසිනි.

එක් දෙබසක් ඔහු මෙසේ ඉදිරිපත් කරයි,

"ඔබගේ සාක්කුවේ මගේ පින්තුරය සහිත මුදල් නෝට්ටුවක් තිබෙනවා. මට කියන්න මගේ මුහුණේ සිනහවක් ඇති කරන්නේ කෙසේ ද කියා"

"ඔබ එම මුදල් නෝට්ටුව හොඳ දෙයකට යොදවන්න, නරක දෙයකට යොදන්න එපා. එවිට එම මුහුණෙහි සිනහව ඇති වේවි."

"බ්‍රිතාන්‍යයන්ට වෙඩි උණ්ඩ තිබුණා. නමුත් මා සතුව තිබුණේ, සත්‍යයේ ආයුධයයි" යනුවෙන්ද ඔහු සටහන් කර තිබුණි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න