හයර් නැතත්; වෙන වැඩ ඇත! | දිනමිණ


 

හයර් නැතත්; වෙන වැඩ ඇත!

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඉතා වැදගත් සමීක්ෂණයක් සිදුකර තිබේ. මෙයින් හෙළිදරව් වන තොරතුරු රටේ ආර්ථිකය ගැන උනන්දු වන කාට වුව ප්‍රයෝජනවත් ය. සමීක්ෂණයට පාදක වී ඇත්තේ ත්‍රි-රෝද රථ රැකියාව ය. ත්‍රි -රෝද රථ පදවන්නාගේ දෛනික ජීවිතය, ඔහු ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය, රටේ ශ්‍රම හමුදාව හා ත්‍රි - රෝද රථ රියැදුරන්ට ඒ තුළ ඇති අනුපාතය ආදිය සමීක්ෂණයෙන් හෙළිදරව් කෙරේ. රටේ ශ්‍රම බළකාය ලක්ෂ අනූ තුනකි. ත්‍රි - රෝද රථ රියැදුරන්ගේ ගණන ලක්ෂ දහයට වැඩි ය. ඒ අනුව ශ්‍රම බළකායේ සෑම නම දෙනකුගෙන් ම එක් අයකු ත්‍රි - රෝද රථ රියැදුරෙකි. වඩාත් වැදගත් වන්නේ ත්‍රි - රෝද රථ රියැදුරන් දවසේ කාල සීමාවෙන් පැය දෙකකට වඩා හයර් දුවන්නේ නැති බව මේ සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබීම ය.

කුලී රථ සේවාවක් නැති රටක් සොයාගැනීම අසීරු ය. එයින් පෙනීයන්නේ කුලී රථ සේවාව අත්‍යවශ්‍ය එකක් බව ය. ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාව ආරම්භ වන්නේ රික්ෂෝවෙන් බව කියති. ඊළඟට බක්කි කරත්ත ද ඊටත් පසුව මයිනර් ටැක්සි රථ ද කුලී රථ සේවාවට එකතු වී තිබේ. ත්‍රි-රෝද රථ සේවාව ලංකාවට හඳුන්වා දී අවුරුදු තිස් ගණනක් ගෙවී ඇත. මේ කාලය තුළ වැඩියෙන් ම විවේචනයට ලක් වූ ප්‍රවාහන සේවය ලෙස ද ත්‍රි-රෝද රථය හැඳින්විය හැකි ය. කුමක් වුව ත්‍රි -රෝද රථ සේවය සඳහා එකතු වන පිරිසගේ අඩුවක් දකින්නට නැත. සරල නිදසුනක් ගතහොත් 2012 දී ත්‍රි - රෝද රථ ලක්ෂ අටක් පමණ කාර්යයෙහි නියුක්ත විය. 2015 දී මේ ගණන ලක්ෂ දහය දක්වා වර්ධනය වී ඇත. 2017 සංඛ්‍යා ලේඛනවලට අනුව එකොළොස් ලක්ෂ ගණනක් ත්‍රි -රෝද රථ සේවයේ යෙදී උන්හ. අද තත්ත්වය ඊටත් වැඩි විය හැකි ය.

සමීක්ෂණයේ තොරතුරුවලට අනුව ත්‍රී -රෝද රථ රියැදුරන් වැඩ කරනුයේ පැය එක හමාරක් හෝ පැය දෙකක් හෝ පමණි. ඉතිරි සියලු කාලය හයර් එකක් එනතුරු බලා සිටිනු ලැබේ. සාමාන්‍ය දෛනික ක්‍රියාවලියට අනුව කෙනකු පැය අටක්වත් වැඩ කළ යුතුවේ. එහෙත් ත්‍රි-රෝද රථ රියැදුරන්ගේ වැඩකරන කාලය පැය දෙකකට පමණ සීමා වී ඇත. රටට අවශ්‍ය වන තරමටත් වඩා කුලී රථ ඇති බව මෙයින් පැහැදිලි වෙයි.මීට විසැඳුම කුමක් ද? ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මීට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය ඉතා කාලෝචිතය. එලෙස ම ප්‍රායෝගික ය. ත්‍රි -රෝද රථ රියැදුරන්ට කාර්මික පුහුණුවක් ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වී සිටී. එම පුහුණුව මුළුමනින් ම නොමිලයේ ලබාදීමට ද අධිකාරිය එකඟතාව පළකර තිබේ.

ඉහත පුහුණුවට අදාළ ක්ෂේත්‍ර ලෙස සඳහන් කර ඇත්තේ වඩුවැඩ, පෙදරේරු වැඩ, ජල-නළ වැඩ, විදුලිය සම්බන්ධ වැඩ ආදිය යි. ඕනෑම නිවසක ඉහත සඳහන් ක්ෂේත්‍රවලට අදාළ ගැටලු තිබේ. ඇතැම් නිවැසියකු ජලනළ ප්‍රශ්නයක් විසඳාගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් ඈත ප්‍රදේශවලට ගොස් කාර්මිකයන් සොයාගෙන එන බව අප දන්නා කාරණයකි. එක අතෙකින් කාර්මික ශිල්පීන්ගේ සේවය ලබාගැනීම දුෂ්කරය. තව අතෙකින් එබඳු ශිල්පීන් සොයාගැනීම ද දුෂ්කර ය. ත්‍රි-රෝද රථ පොළකින් එවැනි කාර්මිකයන් දෙතුන් දෙනකු සොයාගත හැකි නම් එය ඉතා වටී. ඕනෑම හන්දියක, ඕනෑම කඩපොළක, ඕනෑම නගරයක ත්‍රි - රෝද රථ නවතා තබන ස්ථානයක් තිබේ. එය හඳුන්වන්නේ ත්‍රි - රෝද රථ නැවතුම් පොළ ලෙස ය.

ත්‍රි-රෝද රථ රියැදුරන්ගේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවහොත් එය තෘප්තිමත් එකක් නොවන බව ඉතා පැහැදිලිය. හයර් අඩුවීම, නිකරුණේ කාලය කා දැමීම හා තවත් හේතු නිසා ත්‍රි - රෝද රථ රියැදුරන් විසමාචාර ක්‍රියාවලට යොමුවීමට ද පුළුවන. රටේ සිදුවන නීති විරෝධී ක්‍රියා හා වෙනත් අපරාධවලට ත්‍රි - රෝද රථ රියැදුරන් ද නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වන බව විවිධ සිද්ධීන්වලින් පැහැදිලි වෙයි. මේවා වැළැක්වීමට නම්; ත්‍රි - රෝද රථ රියැදුරා ද ස්ථාවර ආදායමක් ලබන පිළිගත හැකි පුද්ගලයකු බවට පත් කළ යුතුය. ඒ අතින් බලනවිට ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ ආයතනය යෝජනා කර ඇත්තේ ඉතා වැදගත් හා ප්‍රායෝගික වැඩසටහනක් බව පෙනී යයි.

ත්‍රි-රෝද රථ රියැදුරන්ගේ දුෂ්කර ජීවිතය ගැන ද, ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන ද අවධානය යොමු වන්නේ නම් එය ද වැදගත් ය. 2013 දී අනුරාධපුර පොලිසියෙන් වාර්තා වූ සිද්ධියකට අනුව එක්තරා රියැදුරකු කුඩා දරුවන් විසි දෙදෙනකු තම රථයේ පටවාගෙන ගොස් තිබේ. මේ සිද්ධිය දකින හා අසන කෙනකු ත්‍රි-රෝද රථ රියැදුරාගේ බෙල්ල මුලින්ම අල්ලා ඔහුට දඬුවම් කිරීමට ඉදිරිපත් වනු ඇත. එහෙත් මේ අවදානම් සහගත කතාවේ තවත් පැත්තක් තිබේ. එනම්; මෙයින් පැහැදිලි වන්නේ එම කුලී රථ රියැදුරා ජීවත්වීම සඳහා දරන වෑයම ය. ඔහු ජීවිත අවදානමක් ද භාරගෙන තම පවුල නඩත්තු කිරීමට සටනක යෙදෙන බව මෙයින් පැහැදිලි වෙයි. ත්‍රි -රෝද රථ රියැදුරා විවේචනය කරන අතර ම ඔහුගේ ජීවිතය දෙස එබී බලන්නට ද අප පුරුදු විය යුතුය.

දියුණු රටවල කාර්මික සේවා, ජලනළ සේවා පමණක් නොව ගසක් කැපීම, සර්පයකු ඇල්ලීම වැනි කටයුතු ද සිදුවන්නේ ඉතා සංවිධානාත්මක ලෙස ය. ගෙදරට සර්පයකු රිංගා ඇත්නම් ගෙහිමියා කළ යුත්තේ අදාළ සේවාව වෙත දුරකථන ඇමැතුමක් දීම පමණි. විශේෂඥයෝ සිය වාහනයෙන් නිවසට පැමිණෙති. සර්පයා අල්ලා ගෙහිමියන්ගේ ආරක්ෂාව තහවුරුකොට නියමිත ගාස්තුව අය කරගෙන ඔව්හු සිය සේවා ස්ථානයට යති. ඒ තවත් ඇමැතුමක් අපේක්ෂාවෙන් ය. ගස් කැපීම, ජල නළ සවි කිරීම, විදුලි වැඩ යන ඕනෑම කටයුත්තකට එබඳු සේවාවන් ඇත. ඔවුන් රජයේ ලියාපදිංචි පුහුණු සේවකයන් බව ද කිව යුතුය.

ත්‍රි - රෝද රථ රියැදුරන් වැඩකළ යුතු වේලාවෙන් පැය හයක් පමණ අපතේ යවන්නේ නම්; එය ජාතික අපරාධයෙකි. ඊට විසැඳුම් ලෙස ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ ආයතනය යෝජනා කරන වැඩසටහන හැම අතෙකින්ම ප්‍රායෝගික ය. එහි වැඩි වාසිය ත්‍රි-රෝද රථ රියදුරන් වෙත යොමුවන බවද කිව යුතුය. ත්‍රි-රෝද රථ සංගම් කිහිපයක් රට තුළ තිබේ. එම සංගම් ඉහත අධිකාරියට සහයෝගය දක්වමින් මේ වැඩසටහන සාර්ථක කරගැනීමට පියවර ගත යුතු බව අපගේ පිළිගැනීම ය.

 

නව අදහස දක්වන්න