විදුහල්පති ඇති ළමයින් නැති බිබිලේ කනිෂ්ඨෙ | දිනමිණ

විදුහල්පති ඇති ළමයින් නැති බිබිලේ කනිෂ්ඨෙ

සිසු දරුවන් නොමැති විදුහල්පතිවරයකු පමණක් සිටින පාසලක් බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇත. ඒ දඹගල්ල ඉහාවා කනිෂ්ඨ විද්‍යාලයයි. මෙම විදුහල මීට වසර විස්සකට පමණ ඉහතදී ප්‍රදේශයේ තිබූ උසස් මට්ටමේ පාසලකි.

ඉහාව රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාල තැරෑලේ සරණංකර ලොකු හාමුදුරුවන් වහන්සේ ගම්වාසීන්ගේ සහයෝගයෙන් ආරම්භ කළ මෙම විද්‍යාලය 1959 මැයි මස 9 වෙනි දින රජයට භාර දී ඇත. ඇතැම් කාලවලදී සිසු දරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් මෙම පාසලේ ඉගෙනුම ලබා තිබේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා පන්ති තිබී ඇත. පාසලට ප්‍රමාණවත් ගුරුවරුන් නොමැතිවීම නිසා බොහෝ දෙමාපියන් තම දරුවන් වෙනත් පාසල්වලට ඇතුළත් කරමින් වසරින් වසර ළමයි සංඛ්‍යාව අඩුවී

2018 වර්ෂයට ඉතිරිවී ඇත්තේ ළමයින් දෙදෙනෙකි. එම දෙදෙනාත් පාසලෙන් අස් කොට වසරේ මුල් භාගයේ දී වෙනත් පාසලකට යවා ඒ වනවිට සිටි විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් තිදෙනා ද වෙනත් පාසල්වලට මාරුකැර යවා තිබේ.

ඊට පසුව වෙනත් විදුහල්පතිවරයකු පාසලට පත්කොට ඇත. ඔහු උදේ පාසලට පැමිණ ආපසු යයි.

මේ වනවිට රුපියල් කෝටි ගණනාවක් වටිනා පන්ති කාමර ගොඩනැඟිලි දෙකක්, පුස්තකාලයක්, විද්‍යාගාරයක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැඟිල්ලක් ළමා උයනක් කැලෑවට යට වෙමින් විනාශ වෙමින් පවති.

මේ පිළිබඳව පාසලේ වත්මන් විදුහල්පති ආර්.ඇම් බේබිපාල මහතා මෙසේ පැවසීය. පාසල් විදුහල්පතිවරයා ලෙස 2018 වසරේ මුලදී මාව පත් කළා. කලාප කාර්යාලයෙන් මට උපදෙස් දුන්නා පාසල අවට ගම්මානවලට ගොස් 2019 වසරට අඩුම වශයෙන් ළමයි දහදෙනෙක්වත් ඇතුළත් කර ගන්න පියවර ගන්න කියලා.

පාසල අවට ළමයි 18දෙනෙක් සිටියා. 2019 වසරේ පළමු වසරට පාසල් යන්න,ඒ ළමයි සියලුම දෙනාගේම දෙමාපියන් හමුවී දැනුවත් කළා. දරුවන් ඉහාව පාසලට එවන්න කියලා. නමුත් කිසිම ගුරුවරයකු නොමැති පාසලකට දෙමාපියන් දරුවන් එවාවිද? රුපියල් කෝටි ගණනක් වටිනා සම්පත් හා දේපළ විනාශ වෙමින් පවතිනවා. මම උදේ 7.30 ට ඇවිත් පස්වරු1.30 ගෙදර යනවා.

මේ පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂිකා ෂෙරීනා බෙගම් මහත්මියගෙන් කළ විමසුමකදී මෙසේ පැවසුවාය.

ඉහාව පාසල නැවත ආරම්භ කිරීමට කරුණු ගණනාවක් තිබුණා. ගම්වාසීන්, ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ, රජයේ නිලධාරීන් දේශපාලන නායකයන් හමුවුණා. නමුත් 2019 වසරේ පළමු වසරට එකම ළමයකු ඇතුළත් කර ගැනීමට නොහැකි වුණා. ඉහාව ගමේ හා ඒ අවට ගම්මානවල ළමයි දහඅට දෙනකු ඇල්පිටිය මහා විද්‍යාලයට ඇතුළත් කරගෙන තිබෙනවා. එම පාසලේ පළමු වසරට සමාන්තර පන්ති දෙකක් තිබෙනවා.ඒ විදුහල්පතිවරයා උත්සාහ ගන්නේ එම පන්ති වලට ප්‍රමාණවත් ළමයි සංඛ්‍යාවක් ඇතුළත් කිරීමටයි. ඊට එරෙහි වීමට අපට බැහැ. ඉදිරි කාලයේදී ගම්බද පාසල් බොහොමයක් වැසීයාවි. අපි මොනවා කරන්නද?

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

නව අදහස දක්වන්න