විද්‍යා හා තාක්ෂණ දැනුම ජනතාව අතරට ගෙන යන්න ක්‍රමවේදයක් හදනවා | දිනමිණ

විද්‍යා හා තාක්ෂණ දැනුම ජනතාව අතරට ගෙන යන්න ක්‍රමවේදයක් හදනවා

විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව බිහි වන නව සොයා ගැනීම් හා ඊට සම්බන්ධ ආයතනවල වාණිජමය හා මූල්‍යමය වටිනාකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ ජා ඇල ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( නර්ඩ් මධ්‍යස්ථානය) පසුගියදා (29) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේ ය.

විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ සංකීර්ණ ආයතන කිහිපයක් ම තිබෙනවා. ඒනිසා පළමුවෙන්ම මේ සම්බන්ධව හොඳ අධ්‍යයනයක්, හොඳ තේරුම් ගැනීමක් ලබා ගත යුතු යි කියා මම හිතුවා. එහි ප්‍රතිඵල ලෙස සියලුම ආයතන නිලධාරීන් ගෙන්වා ඒ සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා ගත්තා. මේ අමාත්‍යාංශය මා හට බාර වී සති 2ක් , 3ක් වන කාලයක මෙම ආයතනවලට පැමිණ , නිරීක්ෂණය කර මේ පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගත හැකියි යන හැඟීම තුළ මෙම ආයතනවලට ඉක්මනින්ම පැමිණ මේ ආයතන නිරීක්ෂණය කර යම් අවබෝධයක් ලබා ගත යුතුයි කියලා හිතුවා.

මෙම අමාත්‍යාංශය සම්බන්ධයෙන් මූලික කරුණ කිහිපයක් මම අවබෝධ කරගත්තා. මෙම ආයතන කාලයක් තුළ හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. නමුත් මෙම ආයතන, විශේෂයෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කියන දේ සාමාන්‍ය ජනතාවගේ ඇගට දැනෙන දෙයක් නොවෙයි. ඒ නිසා මෙම ආයතනවල දැනුම සාමාන්‍ය ජනතාවට ගෙනියන්න ක්‍රමවේදයක් හදන්න අවශ්‍යයි කියා අපි හිතුවා.

ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය වශයෙන් ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරු කීදෙනෙක් මෙම ආයතනය සමඟ සම්බන්ධදැයි කියා මම දන්නේ නැහැ. ලංකාවේ ඉංජිනේරුවරු 90% ක් සම්බන්ධ යැයි කියා පැවසුවහොත් ආයතනය ඉතාම සාර්ථකයි. ඒ අයගේ පර්යේෂණ හා මෙම ආයතනයේ සිදු කරන පර්යේෂණ සම්බන්ධව ඉතාම හොඳ සම්බන්ධතාවක් තිබෙන්නට අවශ්‍ය යි. සාමාන්‍ය ජනතාවට 30% ක් 40% ක් හෝ මෙම දැනුම රැගෙන යාමට අවකාශය ලැබෙන්නේ ඒසේ තිබුණහොත් පමණ යි. මේ ආයතනයේ අධ්‍යක්ෂවරු සහ නිලධාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කළ විට මේ කාර්යය ප්‍රායෝගිකව කොතරම් දුරට සාර්ථකව කළ හැකිද යන්න සොයා ගැනීමට පුළුවන්.

එහිදී ආයතනය පැත්තෙන් සභාපතිතුමා සහ අධ්‍යක්ෂවරුන්ගේ මෙන්ම ආයතන භාර අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යශූර බව ඉවහල් වෙනවා.

ඒනිසා ඉතාම සරල ක්‍රමවේදයකට මේ ආයතන ගෙන යන්නට අවශ්‍ය යි කියා හිතුවා. ආයතන සහ මාහාචාර්යවරු, ආචාර්යවරු, දැනුම ලබාගත් විද්වතුන් පෞද්ගලික අංශයත් සමඟ සම්බන්ධ වීම මාගේ විශාලම බලාපොරොත්තුවක් වෙනවා. මේ ආයතනය සමඟ බැලූ විට ඉංජිනේරුවරු , තාක්ෂණික නිලධාරීන් , පෞද්ගලික අංශය සමඟ සම්බන්ධතාව වැඩි කිරීම මාගේ පළමු පියවර වෙනවා. පසුව මෙම ආයතනවලට වාණිජමය වටිනාකම , වාණිජ බව වැඩි කළ යුතු යි. පර්යේෂණ කර පේටන්ට් බලපත්‍ර ගෙන තිබෙනවා. නමුත් මෙම සොයා ගැනීම් සඳහා යම් අගයක් ලබා දීමට කටයුතු කරනවා. දූෂණ ඉවත්කර විද්වත් මණ්ඩලයක් හරහා මෙම ආයතන , අමාත්‍යාංශය හා පෞද්ගලික අංශය එකතු කර ගෙන මෙම ආයතනවලට මූල්‍යමය හා වාණිජමය වටිනාකමක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරු සමඟත් සාකච්ඡා කළා. එහිදී ඔවුන් පැවසුවේ නව සොයාගැනීම් වලදී වාණිජමය වටිනාකමක් ඇති සොයාගැනීමක් බවට පත් කිරීමට විශාල පරතරයක් පවතින බවයි. ඒ සඳහා අවශ්‍ය උදවු ලබා දීමට මෙම ආයතනවල , පෞද්ගලික අංශයේ දැනුම අපට අවශ්‍ය යි. මේ වන විටත් ලෝකය ජයගත් විශාල පිරිසක් ලංකාවේ සිටිනවා. නමුත් මේ ලෝකය ජයගත් පිරිස විශේෂඥයෝ නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ දැනුම තිබෙන පුද්ගලයන් , වාණිජකරණය කළ හැකි පුද්ගලයන් සමඟ සම්බන්ධ කර එමඟින් විශාල සේවාවක් නොයෙකුත් අංශවලට ලබා දීමට.

මෙය ලාබ නොලබන්න පුළුවන්. මේ සඳහා විශාල මුදලක් රජයෙන් වෙන්වෙන්න පුළුවන්. අපේ අමාත්‍යාංශයේ එක කොටසක් ලෙස පාරිභෝගිකයා ආරක්ෂා කිරීම හා පාරිභෝගිකයන් වෙත හොඳ දේවල් ලබා දීමට කැපවී සිටිනවා. එහිදී ජනතාවට තත්ත්වයෙන් උසස් භාණ්ඩ කුමක්ද යන්න තෝරා දීමේ දී ඒවා ලාබ නොලබන්න පුළුවන්. නමුත් සෑම අවස්ථාවකදීම ආණ්ඩුවට අවම බරක් ලබා දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. යම් ආකාරයකින් මේ ආයතනවලින් උපරිම වාණිජමය විටනාකමක් එන්නේ නැත්තන් එහි බර එන්නේ රටේ ජනතාවට යි.

අපේ රටේ හොඳ අධ්‍යාපනයක්, හොඳ ජනතාවක් සිටිනවා.

ශ්‍රී ලංකාව තිබෙන ස්ථානය ගැන මේ ආයතන නිලධාරීන් ලෙස ඉතාම ආඩම්බරයෙන් සිටීමට අවශ්‍ය යි. අපි ගොඩක් විවේචනය කරනවා. මෙය අපිට වැටහෙන්නේ පිටරට අය සමඟ සාකච්ඡා කරන විට යි. අපි ගොඩක් විවේචනය කරනවා. නමුත් මම රාජ්‍ය ආයතන විවේචනය කරනනේ නැතිව ඒවා තවත් කාර්යක්ෂම කිරීමට සාකච්ඡා කරනවා.

ගියවර අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ අවස්ථාවේ මම වියදම් කළේ 40% යි. ඒවාගේම මේ වර්ෂයේදී උපරිම සේවාවක්, අවම වියදමක්, පරිස්සමින් වැඩ කරමින්, කාර්යක්ෂමව මෙම ආයතන පවත්වාගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.

අපි ආසියාවේ ඉතාම හොඳ තත්ත්වයක සිටිනවා. ආර්ථිකයෙන් 30% ක පමණ අපනයන වර්ධනයක් තිබෙනවා. අපනයන ජාතික ප්‍රතිපත්තිය (National Export Strategy) මගේ නායකත්ව යටතේ හැදුනේ. එයට ලක්ෂ 6000ක ආධාර ලැබුණේ තෑගි වශයෙන්. මේවා කවුරුත් දන්නේ නැහැ. මේවා ලංකාවේ සල්ලි නොවේ. එම මුළු මුදලම ලැබුණේ අයි.ටී.සී ආයතනයෙන් International Trade Center (ලෝක වෙළඳ හවුලෙන්) යහපාලනයට ගරු කිරීමක් වශයෙන් එම මුදල ලැබුණා. ඒවාගේම හාවඩ් විශ්වවිද්‍යාලයේ අනිකුත් පර්යේෂණ සඳහා ලක්ෂ 6000 ක් ලැබුණා. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හදන්න.

මේ සියල්ල දැන් මේ වන විට අපි දියත් කරලායි තිබෙන්නේ. තව අවුරුදු 4ක් පමණ යන විට ලංකාවේ සියලුම මාර්ග පද්ධතිය සාදා නිම කරනවා. මහනුවර , ත්‍රිකුණාමලය , මාතර , කෙලවරපිටිය යන අධිවේගී මාර්ග, කොළඹ නගරය වටා ඉදිවන මාර්ගය, සැහැල්ලු දුම්රිය මාර්ග සේවය, කැලණි පාලම සිට බොරුල්ලට මාර්ගය, කැලණි පාලම සිට වරාය හරහා ගුවන් මාර්ගයක් යන මේ සියල්ල තව අවුරුදු 5ක් පමණ යන විට සාදා අවසන් කරන්න පුළුවන්. මේ දමා තිබෙන අත්තිවාරම අනුව සිදු කරන්නට පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම එළඹෙන්නේ ඉතාම දියුණු රටකටයි.

මේ කරන ක්‍රියාවලිය තව ශක්තිමත් කර, ආණ්ඩුවත් ශක්තිමත් වී මීට වඩ හොඳින් තීන්දු තීරණ ගත්තා නම් අපිට ඉතාම සාර්ථක රටක් බවට තව අවුරුදු හතක් අටක් යනවිට පත් කර ගන්න පුළුවන්. අපි මහන්සි වුවහොත් හරියට වැඩ ටික කලහොත් සිංගප්පූරුව ළඟට ළං කර ගන්න පුළුවන්. අපිට ඒ හැකියාව තිබෙනවා. දක්ෂ පිරිසක් ඉදිරි අනාගතය බාර ගැනීමට රටේ සිටිනවා. ඊශ්‍රායලයට තිබෙන තැන ඉදිරි අනාගතයේ දී ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන්. හොඳ දක්ෂ නායකයෝ පිරිසක් අපිට අනාගතයේ බිහි ණොත් අපිට සිංගප්පූරුව පහු කරන එක අමාරු කාර්යක් නොවෙ යි.

සාධාරණය වෙනුවෙන් තරාතිරම් නොබලා මම උදවු කරනවා. මේ ආයතනවල සේවක මණ්ඩලයට කියන්නේ සංතෝෂයෙන් වැඩ කරන්න. එසේ නොවුණ හොත් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. එවැනි ප්‍රශ්නයක් තිබුණහොත් ඒවා ද විසඳන්නට අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම මෙම දැනුම සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කිරීමට “ ශිල්ප සේනා “ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. තාක්ෂණ විප්ලවයක් ඇති කරනවා.

දිස්ත්‍රික්කයට මාසෙකට එක බැගින් විශාල වැඩපිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න