ආගමික සංවාද දේශපාලනය සහ ව්‍යවස්ථා සම්පාදනය | දිනමිණ

ආගමික සංවාද දේශපාලනය සහ ව්‍යවස්ථා සම්පාදනය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත්කොට බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සහාය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂය උත්සාහ කළ සෑම අවස්ථාවකදීම විපක්ෂය චෝදනාකර ඇත්තේ එය රහස් ගිවිසුමක් යනුවෙනි. 1965දී ඩඩ්ලි සේනානායක විසින් ජාතික ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් කෙරුණු දිස්ත්‍රික් සභා ක්‍රමය සඳහා ද එවක විපක්ෂය කියා සිටියේ, චෙල්වනායගම් සමඟ රහස් ගිවිසුමක් පවතින බවය. දිස්ත්‍රික් සභා ඇසුරින් යම් විසඳුමකට යෑම සාධනීය පියවරක් වුවද එහි නායකත්වය ෆෙඩරල් පක්ෂයට ලැබෙන නිසා එකඟවිය නොහැකි බවට අදහස් ද එවක වමේ දේශපාලනඥයින් පවා පළකර තිබිණි. දේශපාලන බලලෝභීත්වය මෙන්ම තමාට නොලැබෙන කීර්තිය වෙනත් අයකුට ලැබීම ඉවසා දරා ගැනීමේ නොහැකි පටු දේශපාලන අදහස් පවා මේ තුළ අන්තර්ගතව පැවැති බවද මේ අනුව පෙනීයයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී බුද්ධාගම සඳහා පෙර පැවැති ආකෘතිය විශේෂ තත්ත්වයක් සේ සලකා ජාතික ආගම වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පරිපාලන හා රාජ්‍ය පාලන ව්‍යූහය ගොඩනගන ලදී. බ්‍රිතාන්‍ය‍යින් විසින් 1815 උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තියෙන් මෙලෙස ලබා දුන් පොරොන්දුව කඩකරමින් 1853 වනවිට බුද්ධාගම සමඟ පැවැති සමීප සබඳතාව සම්පූර්ණයෙන් ඉවත් කරන ලදී.

ඉක්බිති ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය සකස් වීම සඳහා උපකාර වූ 1947 ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආගම පිළිබඳ විශේෂ කරුණු දැක්වීමක් අන්තර්ගත වූයේ නැත. ඈත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් වීමේ ක්‍රියාවලියේ දී භික්ෂූන් වහන්සේලා විවිධ ආකාරයේ බලපෑම් සිදුකර තිබේ. 1946 සෝල්බරි ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය ඇතිවන අවස්ථාවේදී විද්‍යාලංකාර පිරිවෙන භික්ෂුව හා දේශපාලනය නමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් පුරවැසියන් අතර සංවාදයට ඉදිරිපත් කර තිබිණි. මෙමගින් කියාපෑමට උත්සහා කරනු ලැබුවේ, රටේ සුබසාධන කටයුතු සමඟ දේශපාලන කටයුතු කිරීම සඳහා භික්ෂූන් වහන්සේට දායකත්වයක් ලබාදීමට හැකියාව ඇති බවයි.

සුළු ජාතීන්ගේ ආරක්ෂාව

කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර ස්වාමින් වහන්සේගේ අත්සනින් නිකුත්කොට තිබූ එම ප්‍රකාශය ඔස්සේ දැඩි සංවාදයක් ඇති විය. මෙහි ප්‍රබල කාර්යයන් ඉටුකරනු ලැබූ වල්පොළ රාහුල ස්වාමින් වහන්සේ මහජන සංවාදයක් ගොඩනැගීම සඳහා, ‘සංඝ සභාව’ නමින් මහා සංඝරත්නය කොළඹ බෞද්ධ මන්දිරයට වැඩමකරවා දේශපාලන කාර්ය සාධනයේදී භික්ෂුව කටයුතු කිරීම පිළිබඳ දේශනයක් කළහ.

සියලු වාර්ගික පිරිස එකතු කරමින් සෝල්බරි ව්‍යවස්ථාව සම්මතකොට රට ඉදිරියට ගෙනයෑමට ඩී. එස්. සේනානායක සමත් වුවද මෙම පසුබිම මත එය ස්ථිරසාර ප්‍රවේශයක් නොවීය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු පිළිබඳව බොහෝ තර්ක ඉදිරිපත් කළේය. විශේෂයෙන් 1950 දශකය පමණ වනවිට ඒකාබද්ධ තේරීම් කමිටුවක් මගින් ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ ඔස්සේ සුළුජන කොටස්වලට ව්‍යවස්ථාමය ආරක්ෂාව සලසාදීම හා බුද්ධාගම සඳහා රාජ්‍ය සහාය මෙන්ම ආරක්ෂාව ලබාදීම පිළිබඳ අදහස් ඉදිරිපත් විය.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951දී ශ්‍රී.ල.නි.ප. පිහිටුවීමත් සමඟ 1957දී මෙම කරුණු ඉදිරියට ගෙනයාමට බුද්ධශාසන කොමිසමක් පිහිටුවන ලදී. භික්ෂූන්වහන්සේලා දස නමකුත් ගිහි පිරිස හයකුත් ඊට ඇතුළත් විය. මෙම පසුබිම තුළ 1956 බණ්ඩාරනායක බලයට ගෙනඒම ප්‍රධාන කොටගත් සිංහල භාෂා ප්‍රතිපත්තිය ඉදිරියට ගැනීම සඳහා එක්සත් භික්ෂු පෙරමුණ කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන්හ.

ෆෙඩරල් හවුල

වර්තමාන එජාප ආණ්ඩුවට දෙ. ජා. සං සහාය ලබාදීම විවේචනය කරන ඇතැම් අන්තවාදී පිරිස් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ 1957 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව වර්ගවාදී ලෙස කටයුතු කළද 1960 ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේදී ශ්‍රී.ල.නි.ප ෆෙඩරල් පක්ෂය සමඟ හවුලක් හදාගත්ත බවය. මෙය වූ කලී, 1947 පාර්ලිමේන්තු මැතිවරණයේදී එ.ජා.ප. පිහිටවූ ආණ්ඩුවට ෆෙඩරල් පක්ෂය ඇතුළත් වූ පරිදි, ආණ්ඩු පිහිටුවීමට ලබාගන්නා ලද සහාය හරහා ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් ගනු ලැබූ ප්‍රවේශයන් විපක්ෂයේ අන්තවාදී කටයුතු නිසා කඩාකප්පල් වූ මතකයන් සනිටුහන් කිරීමකි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත්කොට බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සහාය ලබාගැනීමට ආණ්ඩු පක්ෂය උත්සාහ කළ සෑම අවස්ථාවකදීම විපක්ෂය චෝදනාකර ඇත්තේ එය රහස් ගිවිසුමක් යනුවෙනි. 1965දී ඩඩ්ලි සේනානායක විසින් ජාතික ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් කෙරුණු දිස්ත්‍රික් සභා ක්‍රමය සඳහා ද එවක විපක්ෂය කියා සිටියේ, චෙල්වනායගම් සමඟ රහස් ගිවිසුමක් පවතින බවය. දිස්ත්‍රික් සභා ඇසුරින් යම් විසඳුමකට යෑම සාධනීය පියවරක් වුවද එහි නායකත්වය ෆෙඩරල් පක්ෂයට ලැබෙන නිසා එකඟවිය නොහැකි බවට අදහස් ද එවක වමේ දේශපාලනඥයින් පවා පළකර තිබිණි. දේශපාලන බලලෝභීත්වය මෙන්ම තමාට නොලැබෙන කීර්තිය වෙනත් අයකුට ලැබීම ඉවසාදරා ගැනීමේ නොහැකි පටු දේශපාලන අදහස් පවා මේ තුළ අන්තර්ගතව පැවැති බවද මේ අනුව පෙනීයයි.

නිදහසින් පසුව ජාතික ගැටලුව පිළිබඳ ඇතිවූ වාද විවාද හමුවේ දේශපාලන වශයෙන් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍ය ආගම තත්ත්වයට පත්කරන ලදී. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඒ සඳහා සැලකියයුතු බලපෑමක් ආණ්ඩුව වෙත එල්ල කළහ. පාර්ලිමේන්තුවට තේරීපත් වූ දෙමළ මන්ත්‍රීවරු ව්‍යවස්ථාව සකස්කිරීමේ ක්‍රියාවලියට සහභාගි නොවීම එහිදී කැපී පෙණුනි.

ආගම සම්බන්ධ මෙම ඉදිරිපත් කිරීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉදිරියට ගොස් තිබේ. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සියලු ආගම්වල අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය. 1980 දශකය පමණ වනවිට භික්ෂූන්වහන්සේලා දේශපාලන ක්‍රියාකාරකම් සමඟ සමීප සම්බන්ධතා පෙන්නුම් කළහ. ඉතිහාසයේ දෙවන වතාවටත් ව්‍යවස්ථාව සකස්කිරීමේ ක්‍රියාවලියට දෙමළ ප්‍රජාව සහභාගි නොවීම එහිදී දක්නට ලැබිණි.

ජාතික ගැටලුවට විසඳුමක් ලබාගැනීම සඳහා 1985දී පැවැත්වූ තිම්පු සාකච්ඡා සඳහා අස්ගිරි මහානායක, පලිපානේ චන්දානන්ද හිමිපාණන් සහාය දැක් වූ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ. කෙසේ වෙතත් ජාතික ගැටලුව විසඳීම සඳහා 1987 - ඉන්දු - ලංකා ගිවිසුම ඉදිරිපත් වූ අවස්ථාවේදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා බොහොමයක් ඊට විරුද්ධත්වය පළ කළහ.

1994 බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් 1997 වර්ෂයේදී ජාතික ගැටලුව විසඳීම සඳහා ‘පැකේජය’ නමින් යෝජනාවලියක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ජාතික සංඝ සභාව වශයෙන් ඒකරාශී වී සිටි බෞද්ධ භික්ෂූන්වහන්සේ එම විසඳුම ප්‍රතික්ෂේප කළහ.

2001දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ සටන් විරාමය ඇතිකොට ජාතික ගැටලුව විසඳීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර මූලෝපායික වශයෙන් සටන් විරාමය අතරතුර එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙතින් නැඟෙනහිර කණ්ඩායම ඉවත්කිරීමට කටයුතු සිදුවිය. මෙම සාකච්ඡාවලට ද ඇතැම් භික්ෂූන් වහන්සේලා විරුද්ධත්වය ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් විධායක ජනාධිපති විසින් 2004 වර්ෂයේදී වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව බලහත්කාරයෙන් විසුරුවා හැරීම නිසා එම සාකච්ඡා අවසන් කිරීමට සිදුවිය.

නව ව්‍යවස්ථාව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයට එහා ගිය බලතල ලබාදී ජාතික ගැටලුව විසඳිය යුතු බව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යෝජනා කර සිටියේය.

වත්මන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී පළල් අරමුණකින් ක්ෂේත්‍ර කීපයක් යටතේ අදහස් ලබාගැනීමට කටයුතු කර ඇති අතර දෙ. ජා. සං. ඒ සඳහා සම්බන්ධවී සිටීම ධනාත්මක පියවරක් ලෙස දැක්විය යුතුය.

මල්වතු - අස්ගිරි මහනායක හිමිපාණන්වහන්සේලා පසුගියදා ප්‍රකාශ කළේ, මේ අවස්ථාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම පසෙක තබා ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව කටයුතු කිරීම වැදගත් බවයි. ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්කර ඇති වාර්තා මගින් කිසිදු කෙනෙකු රට බෙදීමට කටයුතු නොකරන බවට විශ්වාස කරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිපාණන්වහන්සේ ප්‍රකාශකර තිබිණි.

අන්තවාදීන්ගේ අපේක්ෂා

මහානායක හිමිපාණන්වහන්සේලාගේ ප්‍රකාශයන් ගැඹුරින් තේරුම් ගැනීම මෙම පසුබිම තුළ වැදගත් වේ. එක් අතකින් වර්ගවාදය, වෛරීභාෂාව යොදාගනිමින් ඇතැම් අන්තවාදී පිරිස් සිදුකරන ක්‍රියාදාම හේතුවෙන් රට නැවත වරක් අඳුරු තත්ත්වයකට යොමු වීමෙන් වළක්වාගත යුතුය. ඇතැම් දේශපාලනඥයින් පවසන ආකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුමන්තිරන් හා රනිල් වික්‍රමසිංහ හොර රහසේ සිදුකරන ක්‍රියාවකි. මෙබඳු ව්‍යාජ ප්‍රකාශ කරමින් ජාතික ගැටලුව උපයෝගී කරගනිමින් අන්තවාදය ඔස්සේ බලය ලබාගැනීමට මෙම දේශපාලනඥයින් ඉදිරියට පැමිණ තිබීම කනගාටුවට කරුණකි.

ඇතැම් භික්ෂු සංවිධානවලට අනුව මෙය රට කෑලිවලට කඩා වෙන්කරන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකි.

නිදහසින් පසුව දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ බලය ලබාගැනීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සමඟ වරින්වර එකතු වීම දේශපාලන විසඳුමක් ලබාදීමේ අරමුණින් සිදු වුවද දකුණේ ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂවල සහාය නොලැබීම නිසා එම උත්සාහ අසාර්ථක විය.

මල්වතු - අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාර්ථකත්වය ළඟාකර ගැනීම සඳහා මහජන නියෝජිතයින්ගේ තුනෙන් දෙකක සහාය නොලැබේනම් නව ව්‍යවස්ථාවක් සකස් කරගැනීම අවිනිශ්චිත බව දැක්විය.

රටේ ප්‍රධාන සමාජ - ආර්ථික ප්‍රශ්න විසඳීම, මැතිවරණ වර්ෂයක් වීම, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ ව්‍යූහාත්මක වෙනස්කම් ආදිය සලකා බලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය අනුව නව පාර්ලිමේන්තුවක් තුළ ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සාර්ථකත්වය ළඟාකර ගැනීමට යොමුකිරීම වඩාත් ප්‍රායෝගික බව පෙනේ. මෙහිදී බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින් අතර සාකච්ඡාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම ද ඉතා වැදගත් වේ.

නව අදහස දක්වන්න