මූල්‍ය විනයට නීති නැතිකමින් රාජ්‍ය ආදායමෙන් 50%ක් අහිමියි | දිනමිණ

මූල්‍ය විනයට නීති නැතිකමින් රාජ්‍ය ආදායමෙන් 50%ක් අහිමියි

මහින්ද අලුත්ගෙදර

රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් නිවැරැදි නීතිරාමුවක් නොතිබීම හේතුවෙන් වාර්ෂිකව රාජ්‍ය ආදායමින් සියයට 50ක් අහිමි වී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මේ රට ගොඩනඟන්න නොහැකි ප්‍රධානතම ප්‍රශ්නය දූෂණය, නාස්තිය, වංචාව, සොරකම බව පෙන්වා දෙන ඒ මහතා ඒ හේතුවෙන් රට ගොඩනැඟිය නොහැකි බව ද එම ආදායමට සිදුවන්නේ කුමක් ද එය සිදුකරන්නේ කුමන ආයතන ද යන්න සියලු දෙනා දන්නා බව ද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි මුදල් කොමිෂන් සභාවේ නව කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. පසුගිය 2016 වසරේ නොවැම්බර් මස 24 දා මේ සඳහා මුල්ගල තබා තිබෙන අතර, ඒ වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 441කි.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන විමධ්‍යගත අරමුදල් වැඩි ප්‍රමාණයක් වැය කරනු ලබන්නේ චක්‍රලේඛයේ සඳහන් කරුණුවලට නොවන බවත් වියදම් සිදුකළ යුත්තේ කුමකට ද යන්න චක්‍රලේඛයේ සඳහන් කර තිබුණ ද වංගෙඩි, මෝල්ගස්, ටකරන්, ප්ලාස්ටික් පුටු, සෙල්ලම් බඩු බෙදන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් නොහැකි බවත්ය.

චක්‍රලේඛයේ සඳහන් කරුණුවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා එක් චක්‍රලේඛයක් සහ පළාත් සභාවලට තවත් චක්‍රලේඛයක් විය නොහැකි බවත් කී ඒ මහතා වංචාව, දූෂණය, අක්‍රමිකතාව සම්බන්ධයෙන් කතා කරන විට මේ තිබෙන පරිපාලන ව්‍යුහයේ අදාළ චක්‍රලේඛ සහ නීතිරීතිවලත් අඩුපාඩු රැසක් තිබෙන බව ද ඒ නිසාම එවැනි ක්‍රියාවන් සිදුවන බව ද පැවැසීය.

පළාත් සභාවල මහ ඇමැතිවරු, ඇමැතිවරු සඳහා අවුරුද්දේ දෙන බඩු බාහිරාදිය සියල්ල ගබඩාවල එකතු කොට ඡන්ද කාලයේ දී බෙදාහරින තත්ත්වයක් තිබෙන බව ද සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ මූල්‍ය කළමනාකරණයට, මූල්‍ය විනයට හරිහැටි නීතියක් ක්‍රියාත්මක වන්නේ කොහේ දැයි ප්‍රශ්න කරන බව ද මෙවැනි තත්ත්වක් තුළ රට හැදෙන්නේ කෙසේ දැයි සඳහන් කළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය විනය සම්බන්ධයෙන් හොරකම්, වංචා, දූෂණ ගැන කතා කරන විට පාසල් යන කාලයේ 60 දශකයේ සිටි අධ්‍යාපන ඇමැතිවරයා විසින් පාසල්වලට ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි - ලංකාවයි ශ්‍රී ලංකාවයි’ යනුවෙන් සිංදුවක් රචනා කොට එවා තිබුණු නමුත් අද පාසල් දරුවන්ට ‘ලෝකෙන් ලොකුම හොරු ලංකාවෙයි - ලංකාවෙයි ශ්‍රී ලංකාවෙයි’ කියා සිංදුවක් නිර්මාණය කරදිය යුතු බවත්ය.

විවිධ පළාත් හි විශේෂ අවශ්‍යතා සැළකිල්ලට ගෙන රටේ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කරලීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මුදල් කොමිෂන් සභාව මීට පෙර ස්ථාන කිහිපයක පවත්වාගෙන ගොස් තිබෙන අතර මේ නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමත් සමඟ එහි කටයුතු ඉතා පහසු වනු ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, සබරගමුව පළාත් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක, නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ. එච්. පලිහක්කාර, ලේකම් යූ. ඩී. බී. තෙන්නකෝන් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය සුදත් මලවීර

නව අදහස දක්වන්න