කලාව මට විනෝ­දාං­ශ­යක් නෙමෙයි | දිනමිණ

කලාව මට විනෝ­දාං­ශ­යක් නෙමෙයි

R o h a n a    R a n a t h u n g a

 

'ඉතිං ඊට පස්සෙ', 'බොඳ මීදුම්', 'චායා' සහ 'සිහිනයකි ආදරේ' යන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකත්වය සැපයූ රෝහණ රණතුංග, මේ දිනවල 'පූරි' හා 'සකූගේ කතාව' යන ටෙලි නාට්‍ය සමඟ ප්‍රේක්ෂක අවධානයට ලක්ව සිටී. ඔහු, 'ආශාවරී' චිත්‍රපටයේ හමුදා නිලධාරියකුගේ චරිතයට පණ පොවමින්, සිනමාවට ද අවතීර්ණව ඇත.

 

 ඔබට රංගන වරම හිමි වුණේ කොහොමද?

2008 අවුරුද්දෙ සරසවිය පත්තරේ තිබුණු 'නළු නිළි වරම්' ලබාදෙන තරගයකට අයදුම් පත්‍රයක් යොමු කරලා, එයින් ලැබුණු කැඳවීමටකට අනුව, එවකට සරසවිය පුවත්පතේ කර්තෘතුමා, නිමල් ජයවීර කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයාට මා හඳුන්වා දුන්නා. ඔහු, ටෙලි නාට්‍යයක රඟපාන්න තෝර ගත්තා. හැබැයි ඒ ටෙලි නාට්‍ය විකාශය වුණේ නම් නැහැ. ලැබුණු අවස්ථාව හරහා, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ නිමල් ජයවීර අයියගෙන් මම රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා.

 

ටෙලි නාට්‍ය නළුවකු ලෙස ප්‍රේක්ෂකයන් ඔබ හඳුනා ගත්තේ සහ ඔවුන්ගේ මතකය තුළ රැඳෙන්න ඔබට අවස්ථාව ලැබුණෙ කුමන නිර්මාණ හරහාද?

මම රඟපාපු ටෙලි නාට්‍යවලින් මුලින්ම විකාශය වුණේ 'ඉතිං ඊට පස්සෙ' ටෙලි නාට්‍ය. ඒ එක්කම, බොඳ මීදුම්, චායා, සිහිනයකි ජිවිතේ කියන නාට්‍ය හතරෙම රඟපාන්න ලැබුණා. ඒ රංගන කටයුතු නිසා, මට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. ඒත්, ඊට පස්සෙ කාලය තුළ මට ඒ තරම් වැඩ ලැබුණෙ නැහැ. ඒ නිසා මම, ගුවන් තොටුපළේ රැකියාවක් ලැබිලා ඒකට ගියා. ඒ අතරෙත් මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඔහොම කාලයක් යද්දි, ශෂික හේරත්ගෙ මාර්ගයෙන් සුරංග ලක්මාල්ගෙ 'කොළඹ අපි ආවා' ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ආයෙමත් ටෙලි නාට්‍ය ලැබෙන්න පටන් ගත්තා. විජිත මංජුල ගෙ 'සඳදියමංකඩ' හා තවත් ටෙලි නාට්‍ය ලැබුණා. ඒ වැඩත් එක්ක මම නැවතත් රැකියාවෙන් ඉවත්වෙලා, දිගටම රංගනය එක්ක ඉන්න අදහස් කළා.

 

මේ දිනවල ඔබ රංගනයේ යෙදෙන චරිත මොනවද?

සකූගෙ කතාවෙ අධ්‍යක්ෂකවරයා වන ප්‍රියන්ත කොළඹගේ මුණගැහෙන්නෙ මීට අවුරුදු හතරකට විතර කලින්. ඔහුගෙ දේදුනු ආකාසෙ චිත්‍රපටයෙ මට පොඩි චරිතයක් ලැබුණා. ඊට පස්සෙ තමයි මේ දිනවල විකාශය වන සකූගෙ කතාවේ 'ගණං සර්' ගෙ චරිතය කරන්න අවස්ථාව ලැබුණෙ. ඒ අතරම මේ දවස්වල තේජා ඉද්දමල්ගොඩගෙ ආශාවරි කියන අලූත් ම චිත්‍රපටයෙ රංගන කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම, රනිල් කුලසිංහගෙ පූරි ටෙලි නාට්‍යයෙනුත්, ප්‍රේක්ෂකයන්ට මගේ රංගනය දැකගන්න පුළුවන්.

 

මේ දිනවල බොහෝදෙනා ඔබ හඳුන්වා දෙන්නේ, 'ගණං සර්' විදිහට නේද?

'බොඳමීදුම්' ටෙලි නාට්‍යයෙනුත් මට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒත්, ඊටත් වඩා සකූගෙ කතාවෙ ගණං සර්ගෙ චරිතයට පුදුම විදිහට ප්‍රතිචාර ලැබෙනවා. පාරක ආව ගියත්, කුඩා ළමයි පවා අඳුනගෙන, ගණං සර් කියලා කතා බහ කරනවා. බොහෝ දෙනා මට සුබ පතනවා.

 

ඔබේ වෘත්තිය රංගනයද?

ඔව්. වෘත්තීය මට්ටමින් මෙතැන රැඳී ඉන්න නම්, අනිවාර්යයෙන් කැපකිරීමක් කරන්න ඕනැ. මගේ බිරියත් රැකියාවක් කරනවා. ඇයගේ සහයෝගයත් එක්ක මට වෙනත් රැකියාවක නිරත නොවී, මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න හැකිවෙලා තියෙනවා. මම කිසි විටෙක කලාව විනෝදාංශයක් විදිහට කරන්නෙ නැහැ. එහෙම කරන්න හොඳ නැහැ කියලයි මම හිතන්නෙ. මේ දේ විනෝදයක් විදිහට, සැහැල්ලූවට ගන්න මම කැමැති නැහැ. වැඩ කරන වෙලාවට, දර්ශන තලයටගිහින්, බොහොම වගකීමෙන්, තිබෙන පහසුකම්වලින් උපරිමයෙන් වැඩ කරනවා.

 

අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරන කැප කිරීමට, නිසි වටිනාකමක් හා සැළකීමක් ලැබෙන බව බොහෝදෙනා පවසනවා.

සමහර අධ්‍යක්ෂවරු වැඩක් කරද්දි කෑ ගහලා, ඔවුනුත් පීඩාවට පත්වෙලා, අපත් නොසන්සුන් කරවනවා. ඒ වගේ දෙයක් වුණාට පස්සෙ, එතැන වැඩ කරන්න අපහසුයි.එවැනි අවස්ථාවකදි මම නිර්මාණයෙන් ඉවත් වෙලත් තියෙනවා. ප්‍රියන්ත කොළඹගේ, තේජා ඉද්දමල්ගොඩ, අනුරුද්ධ ජයසිංහ වැනි අධ්‍යක්ෂකවරු යටතේ මම වැඩ කරලා තියෙනවා. ඒ අය එක්ක වැඩ කරද්දි අපි හරිම නිදහස් . කවදාකවත් දර්ශන තලයෙදි කෑ ගහලා, බැණලා නැහැ. අපෙන් යම් වරදක් වුණොත්, පැත්තකට අඬගහලා, ඒක අවබෝධ කරලා දෙනවා.

 

ගෙවුණු කාලය තුළ ඔබට ලැබුණු අවස්ථා ප්‍රමාණවත් කියා ඔබ විශ්වාස කරනවද?

ඒ අතින් මම හරි ම වාසනාවන්තයි. ක්ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන් මට නිර්මාණයක අමතර චරිත ලැබිලා නැහැ. නිමල් අයියාගෙ ටෙලි නාට්‍යයේ ඉඳන් මේ දක්වාම මට ලැබිලා තියෙන්නෙ, උප ප්‍රධාන චරිතම තමා. ඒ ගැන මම සෑහීමකට පත් වෙනවා. හමුදා නිලධාරියකුගේ චරිතයක් රඟපාන්න මම හරි කැමැත්තෙන් හිටියෙ. ආශාවරි මඟින් ඒ අවස්ථාවත් උදා වුණා.

 

කලාව වෘත්තිය කරගත් අයට, අපේ රටේ රූපවාහිනී ආක්‍රමණය කර තිබෙන ඉන්දීය හා වෙනත් රටවල ටෙලි නාට්‍ය රැල්ල අභියෝගයක් නේද?

ඉන්දීය ටෙලි නාට්‍ය ගැන කොහො‍මත් මගේ පැහැදීමක් නැහැ. ටෙලි නිර්මාණකරුවන්ගෙ සංගමයෙ අපි ඊට විරුද්ධව කතා කරලා තියෙනවා. ෆේස්බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය හරහාත් මම මේ ගැන කතා කරලා තියෙනවා. ඉන්දීය ටෙලි නාට්‍යවල කිසි ම රසයක් නැහැ. ඒවා රසවත් වෙලා තියෙන්නෙ, අපේ හඬකැවීම් ශිල්පීන්ගෙ දක්ෂතාව නිසයි. හඬකැවීම් ශිල්පීන්ගෙ රැකියාව මේ දේ. ඒ නිසා, අපි මේ ගැන මොනවත් කියන්නෙ නැහැ.

වැඩි ම පිරිසක් රූපවාහිනී නරඹන කාලය හැර, වෙනමම කාලයක් මේ නාට්‍ය වෙනුවෙන් වෙන් කරලා දුන්නොත්, ඒවා බලන කෙනෙක් බලයිනෙ. විදේශීය ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි, දේශීයව කරන ඒකාකාරී නිර්මාණ නිසා, බොහෝ අය ටෙලි නාට්‍ය නැරැඹීමෙන් ඈත්වෙලා. සකූගෙ කතාවත් එක්ක , "අපි ටෙලි නාට්‍ය බැලූවෙම නැහැ. දරුවන්ගෙ බලපෑම නිසා සකූගෙ කතාව බලනවා" කියන දේ අපට වැඩිහිටින්ගෙන් අහන්න ලැබුණු දෙයක්. මේ වගේ නාට්‍ය හැදෙනවා නම්, අපි නාට්‍ය නරඹනවා කියන එක ඒ අයගේ අදහසක්. අපි ඒ කාලෙ නරඹලා රස විදපු කන්දෙ ගෙදර, අඹ යාළුවො, දූ දරුවෝ, යශෝරාවය වගේරසවත් කතා දැන් හැදෙන්නෙ නැහැනෙ. බොහෝ අය උත්සාහ කරන්නෙ, වියදම් පිරිමහගන්න, එක දවසකට වැඩි දර්ශන සංඛ්‍යාවක් රූගත කරමින්, ටෙලි නාට්‍ය කරන්නයි. ඒ මදිවට සමහර නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු බවට පත් වෙන්න යනවා. නළුවකුට, නිළියකුට කතා කරන්න, සලකන්න, ඔවුන් දන්නෙ නැහැ. ඒ වගේම, රූපවාහිනී නාලිකාත් නිර්මාණවලට බොහෝ ‍බලපෑම් කරනවා. මේ දේ, විනෝදයක් විදිහට කරන අයත් ඉන්නවා. ඔවුන් කවුරු හරි නිෂ්පාදකයෙක් හොයාගෙන, ටෙලි නාට්‍යයක කොටස් දහයක් විතර කරනවා.

 

මෙ ක්ෂේත්‍රය තුළ සිදුවන ගෙවීම් ගැන ඔබ සෑහීමකට පත්වෙලාද ඉන්නෙ?

ගෙවීම් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. බොහෝ නිෂ්පාදකවරු වැඩකට කතා කළොත්, මුලින්ම කියන්නෙ අඩු වියදමකින් කරන නිර්මාණයක් කියලයි. මෙච්චර ගෙවන්න ඕනැ කියලා මම කියන්නෙ නැහැ. කෙනෙක් ක්ෂේත්‍රයට ඇවිත් ගොඩනගාගත්ත දෙයකට වටිනාකමක් තියෙන්න ඕනැනෙ. මට නම් එහෙම වෙලා අඩුයි. සමහරු නිර්මාණ කරලා ඉවරයි. ඒත් සල්ලි ලැබිලා නැහැ.

 

ඔබගේ පෞද්ගලික තොරතුරු මොනවද?

මගේ ගම පන්නල. මම ඉගෙන ගත්තෙ පන්නල ජාතික පාසලෙන්. මගේ තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. මගේ බිරිය මට මුණගැහුණෙ කොළඹදි. ඒ, වැඩසටහනකට ගිය අවස්ථාවකදි. ඇය විදේශ කටයුතු අමාත්‍යංශයේ රැකියාවක් කරනවා. දැනට අපි පදිංචි වෙලා ඉන්නෙ පන්නලමයි. මම කොළඹ එන්නෙ වැඩ තියෙනවා නම් විතරයි.

 

මේ දවස්වල නිරතවෙලා ඉන්නේ මොන වගේ කටයුතුවලද?

ආශාවරි චිත්‍රපටයෙ රූගත කිරීම් කරගෙන යනවා. ඒක ලබන මාසෙ අවසන් වෙයි. ඒ හැරුණහම රනිල් කුලසිංහගේ අලුත් ම ටෙලි නාට්‍ය 'අභි' හි රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඉදිරි දින වෙන් කරගෙන ඉන්නවා. මේ වෙද්දි සකූගෙ කතාව විකාශය වුණත්, එහි රූගත කිරීම් අවසන්.


නව අදහස දක්වන්න