ලොව දූෂි­තම රට­වල් | දිනමිණ

ලොව දූෂි­තම රට­වල්

පසුගිය වසරේ ලොව දූෂිතම රටවල් ඇතුළත් දර්ශකය, ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර සංවිධානය මඟින් පසුගිය දා ප්‍රකාශයටත් කෙරිණ. මේ දර්ශකයට, රටවල් 180ක් ඇතුළත් ය. දර්ශකය සකස් කර තිබෙන්නේ, ඒ ඒ රටෙහි දූෂිත ක්‍රියා සිදුවන අන්දම සැලකිල්ලට ගෙන, ලබා දුන් ලකුණු ක්‍රමයක් පදනම් කරගෙන ය. ලොව කිසිදු රාජ්‍යකට ලකුණු 100ම හෝ 0ක් හෝ හිමිවී නැත. ලකුණු 88ක් ලබා ගත් ඩෙන්මාර්කය, දූෂණය අඩු ම රට හැටියට සැලකේ. එනිසා, දර්ශකයේ පළමු තැන ඩෙන්මාර්කයට හිමිව ඇත. දෙවැනි ස්ථානයෙහි ඇත්තේ ලකුණු 87ක් ලබා ගත් නවසීලන්තයයි. අඩු ම ලකුණු ප්‍රමාණයක් එනම්, ලකුණු 10ක් හිමි කරගත් සෝමාලියාව, ලොව දූෂිත ම රාජ්‍ය ලෙස දර්ශකයේ 180 වැනි ස්ථානය හිමි කර ගෙන තිබේ. එකී දර්ශකයෙහි ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 89 වැනි ස්ථානයයි. බොස්නියාව සහ හර්සගෝනියාව, ඉන්දුනීසියාව, ස්වාසිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් ලකුණු 38 බැගින් ලබා ඇති බව සඳහන් වේ.

 

 

1. සෝමාලියාව

ලකුණු 10ක් හිමි කර ගත් සෝමාලියාව, ලොව දූෂිත ම රාජ්‍ය දර්ශකයෙහි 180 වැනි ස්ථානය නැත්නම්, අවසන් ස්ථානය හිමි කරගෙන තිබේ. එකී දර්ශකයට පදනම් කරගත් නිර්ණායකවලට අනුව, අඩු ම ලකුණු සංඛ්‍යාවක් හිමි කරගෙන ඇත්තේ සෝමාලියාවයි. එනිසා, ලොව දූෂිතම රාජ්‍ය හැටියට සෝමාලියාව හඳුන්වන්නට පුළුවන.

වර්ග කිලෝමීටර 637,657ක සරියකින් යුත් සෝමාලියාවේ ජනගහනය, මිලියන 14කට ආසන්න ය. එරට තුළ පවත්නා අස්ථාවර දේශපාලන තත්ත්වය, සිවිල් යුද වාතාවරණය, ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ දුර්භික්ෂය හේතුවෙන්, රට ආර්ථික වශයෙන් කඩා වැටී ඇත. මේ නිසා, ලොව අන්ත දරීද්‍රතාවයෙන් පෙළෙන රටවල් අතර, සෝමාලියාවේ නම දක්නට පුළුවන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, එරට ජනගහනයෙන් 73%කට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති. සෝමාලියා කාන්තාවකගේ අපේක්ෂිත ආයු කාලය, අවුරුදු 53කි. පිරිමියකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 50ක් පමණ වේ. සෝමාලියා ජනයාගේ ආපේක්ෂිත ආයු කාලය අඩු වී තිබෙන්නේ, දුර්භික්ෂයත්, මැලේරියාව, ක්ෂය රෝගය වැනි වසංගත තත්ත්ව නිසයි. කුසගින්න සහ වසංගත නිසා, සෝමාලියාවේ දරුවෝ විශාල පිරිසක් අකාලයේ ජීවිතක්ෂයට පත් වෙති. එරට සෑම දරුවන් හත් දෙනකුගෙන් එක් අයෙක්, වයස අවුරුදු පහ සම්පූර්ණ කරන්නට පළමුව මරුමුවට පත්වන බව සංඛ්‍යා ලේඛනවල දැක් වේ. මන්දපෝෂණය, අවතැන්වීම, අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති මාර්ග අවහිර වීම, පිරිසුදු පානීය ජලය නොමැතිකම යනාදී ගැටලු, එරට සෑම දරුවකුටම පොදුවේ අත්විඳින්නට සිදුව ඇත. එසේ වුවත්, රටේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙ අංශය තුළම විවිධ පරිමාණයෙන් දුෂණ ක්‍රියා සිදු වේ. ඒවා මර්දනය කිරීමට ප්‍රමාණවත් ශක්තියක් සහිත ආයතනයක් එහි දක්නට නැත.

 

2. සිරියාව සහ දකුණු සුඩානය

ලකුණු 13 බැගින් ලබා ගත් සිරියාව සහ සුඩානය, ලොව දූෂිත රාජ්‍ය දර්ශකයේ 178 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. වෙනත් අන්දමකින් දැක්වුවහොත්, ලොව දූෂිත ම රාජ්‍ය අතර දෙවැනි තැන හිමිව තිබෙන්නේ, සිරියාව සහ දකුණු සුඩානය යන රටවල් දෙකට ය.

 

3. සිරියාව

වර්ග කිලෝමීටර 185,180කින් සමන්විත සිරියාවේ ජනගහනය මිලියන 18කට ආසන්න ය. රට තුළ පවත්නා අර්බුදකාරී තත්ත්ව හේතුවෙන් මිලියන 7.6කට අධික පිරිසක් අවතැන්ව සිටිති. එරට ජනගහනයෙන් මිලියන පහකට ආසන්න පිරිසක් සරණාගතයන් බැව්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. මේ නිසා, ගෝලීය සාම දර්ශකයේ පහළ ම ස්ථානය සිරියාවට හිමිව තිබේ. තත්ත්වය එසේ වුවත්, එහි රාජ්‍ය බලය අයථා ලෙස භාවිතයට ගැනීම සහ අල්ලස් ගැනීම ඉහළ මට්ටමක ඇත. එය පාලනය කිරීමට සමත් ව්‍යුහයක් රට තුළ තවමත් ස්ථාපනය වී නැත.

 

4. දකුණු සුඩානය

කලින් පැවැති සුඩාන ජනරජය නමැති රාජ්‍යයෙන් වෙන්ව, දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් ලෙස ස්ථාපනය වුණේ 2011 වසරේදී ය. මේ නිසා, ලොව නවතම රාජ්‍ය හැටියට සැලකෙන්නේ ද දකුණු සුඩානයයි. වර්ග කිලෝ මීටර 619,745කින් සමන්විත එහි ජනගහනය, මිලියන 12කට ආසන්න ය. අවාසනාවකට මෙන් මේ රාජ්‍ය, වාර්ගික අර්බුදවලින් වියවුලට පත්ව ඇත. මේ නිසා හටගෙන තිබෙන සිවිල් යුද්ධයෙන් මිලියන 4කට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති. මේ මිලියන 4න් මිලියන 2.5කට ආසන්න සංඛ්‍යාවක්, අසල්වැසි රාජ්‍යවලට පලා ගොස් ජීවත් වන බව සඳහන් වේ. සිවිල් යුද්ධයෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශයට පත්ව ඇත. මිලියන 6කට ආසන්න පිරිසකට සාගින්දර උහුලා ගන්නට සිදුව තිබේ. එරට ආර්ථිකය විනාශයට පත්ව ඇත. මේ වාතාවරණය තුළ එරට වැසියන් ජීවත් වන්නේ, දැඩි පීඩා මධ්‍යයේ බව ලෝක සංවිධාන පෙන්වා දෙයි. ලොව අසංතෝෂයෙන් ම ජීවත් වන ජාතියක් වේ නම්, ඒ තැන හිමිව තිබෙන්නේ දකුණු සුඩාන ජාතිකයන්ට ය. රට අස්ථාවරව පැවතීම, රට තුළ දුෂණ වැඩිවීමට හේතුවක් වී තිබේ. ඒවා මඩින්නට ප්‍රමාණවත් වන කාර්යක්ෂමතාවක් සහිත ආයතනයක්, නීතී හෝ අධිකරණ පද්ධතියක් හෝ එහි දක්නට නැත.

 

5. යේමනය සහ උතුරු කොරියාව

ලොව දූෂිතම රාජ්‍ය දර්ශකයේ 176 වැනි ස්ථානය හිමිව තිබෙන්නේ, යේමනය සහ උතුරු කොරියාව යන රටවල් දෙකට ය. එම රටවල් දෙක ලබාගෙන තිබෙන්නේ ලකුණු 14 බැගිනි.

 

යේමනය

වර්ග කිලෝමීටර 527,968ක සරියකින් සමන්විත යේමනයේ ජනගහනය මිලියන 28ක් පමණ වේ. පාලනය අස්ථාවාර තත්ත්වයට පත්වීම හේතුවෙන්, එරට පුරා අර්බුද මතුව තිබේ. එහිලා ප්‍රධානම ගැටලුව මතුව තිබෙන්නේ, එරට තුළ පවත්නා සිවිල් අරගය නිසයි. සිවිල් අර්බුදය හේතුවෙන් 56,000කට අධික පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇත. රටෙහි ප්‍රධාන වරාය, සන්නද්ධකාමීන් අතට පත්වීම හේතුවෙන් රට තුළට විදේශ ආධාර ලබා දීම පවා ගැටලු සහගත තත්ත්වයක පවතී. නවතම වාර්තාවලට අනුව, එරට ජනගහනයෙන් මිලියන 17ක් සාගින්දරෙන් පෙළෙති. සෞඛ්‍ය ආරක්‍ෂිත පානීය ජලය එරට හිඟ ය. ලොව දැනට පවත්නා භයානකම කොළරා වසංගතයත් එහි දක්නට පුළුවන. කොළරාවට ගොදුරු වූ සංඛ්‍යාව නව ලක්ෂයකට අධික ය. 2,200,කට වැඩි පිරිසක් කොළරාවෙන් ජීවිතක්ෂයට පත් වූහ. ලොව වැඩිපුරම මානුෂිය ආධාර අවශ්‍ය රාජ්‍යයක් වේ නම්, ඒ යේමනය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා ප්‍රකාශ කර තිබිණ.

 

උතුරු කොරියාව

වර්ග කිලෝමීටර 120,540ක භූමි ප්‍රමාණයකින් සමන්විත උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25කට අධික ය. උතුරු කොරියාව සැලකෙන්නේ මානව අයිතීන් දැඩි ලෙස සීමා කළ රාජ්‍යයක් හැටියටයි. අදහස් පළ කිරීමේ නිදහස එහි සීමා කර ඇත. මේ නිසා, ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා ද, සංගීත සහ ප්‍රවෘත්ති වැඩසටහන් ද රජයේ දැඩි පාලනය යටතේ පවත්වාගෙන යයි. දරුණු වධ හිංසන පමුණුවන බන්ධනාගාර පද්ධතියක් ද උතුරු කොරියාව සතු ය. 2017 වනවිට ඒවා තුළ රැඳවියෝ ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සිටියහ.මෙයින් වැඩි පිරිසක් දේශපාලන අපරාධ සඳහා චෝදනා ලැබූවන් වීම විශේෂත්වයකි. දේශපාලන අධිකාරියෙහි ඉහළ ම තනතුරුවල සිටින පිරිස්, ඔවුන්ගේ වාසියට හේතුවන පරිදි එරට සම්පත් සහ ව්‍යාපාර පවත්වා ගෙන යන බව සඳහන් වේ.

සමක ගිනියාව, ගිනීයා බිසව්, සුඩානය සහ ඇෆ්ඝනිස්තානය

උප සහරා අප්‍රිකා කලාපයට අයත් සමක ගිනිය, ගිනීයා බිසව් සහ සුඩානය යන රාජ්‍යයන් ත්‍රිත්වයත් ආසියාතික කලාපයට අයත් ඇෆ්ඝනිස්තානයත්, දූෂිත රාජ්‍ය ඇතුළත් දර්ශකයේ 172 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. මේ රාජ්‍ය හතර එතැනට වැටී තිබෙන්නේ ලකුණු 16 බැගින් ලබාගෙන ඇති නිසා ය.

 

6. සමක ගිනියාව

වර්ග කිලෝමීටර 28,050කින් සමන්විත සමක ගිනියාවෙහි ජනගහනය මිලියන 1.2ක් පමණ වේ. උප සහරා අප්‍රිකාවේ විශාලතම තෙල් නිෂ්පාදකයා හැටියට සලකෙන්න් ද සමක ගිනියාවයි. මේ නිසා, එරට ඒක පුද්ගල ආදායම සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. එසේ වුවත්, තෙල් සම්පතින් ලැබෙන ප්‍රතිලාභ එරට ජනයා අතර බෙදී යන්නේ විෂමාකාරව ය. ධනය අසමතුලිත ලෙස බෙදී යෑම හේතුවෙන් එරට මානව සංවර්ධනය ඉතාමත් පහළ මට්ටමක පවතින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. රටේ ජනගහනයෙන් අඩකට පිරිසුදු පානීය ජලය නැත. එරට ළමයින්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් පස් වැනි වියට එළැඹෙන්නට පළමුව ජීවිතක්ෂයට පත් වෙති. මානව අයිති සුරැකීම ඉතා ම පහළ මට්ටමකට වැටී ඇති රාජ්‍යයක් ලෙසත් එය හැඳින් වේ. නිත්‍යානුකුල නොවන අන්දමට අසල්වැසි රටවල සේවයේ යෙදීම, ළමයින් කම්කරු සේවයේ යෙදවීම සහ ලිංගික ජාවාරම් ඉහළ මට්ටමෙන් සිදුවන රටක් හැටියටත්, සමක ගිනීයාව ප්‍රකට ය. මේ තත්ත්ව මඩින්නට අවශ්‍ය යාන්ත්‍රණය, එහි තවමත් ස්ථාපිතව නැත.

 

7. ගිනියා බිසව්

වර්ග කිලෝමීටර 36,125කින් සමන්විත ගිනියා බිසව් හි ජනගහනය මිලියන 18ක් පමණ වේ. එහි දේශපාලන තත්ත්වය මෑතක් වන තුරුම පැවැතියේ බෙහෙවින්ම අස්ථාවර මට්ටමක ය. රට තුළ සිදුවන දූෂිත ක්‍රියා මැඩලන්නට එරට වත්මන් රජය වුව ප්‍රමාණවත් තරමේ ශක්තියක් නොයොදවන බව, අන්තර්ජාතික සංවිධාන පෙන්වා දෙයි. එහි දූෂණ ක්‍රියා වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ, අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන ය. එරට දරිද්‍රතාවත්, රාජ්‍ය පාලනයේ දුර්වලතාත්, කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රයෝජනයට ගන්නා බව සඳහන් වේ.

 

8. සුඩානය

වර්ග කිලෝමීටර 1,886,068කින් සමන්විත සුඩානය, මිලියන 39කට ආසන්න පිරිසකගේ රාජ්‍යයයි. යුද වාතාවරණය හේතුවෙන් මානව අයිති උල්ලංඝනය වීම් එහි බහුල ය. මේ නිසා, එරට ජනයා දුක් කරදරවලින් පීඩාවට පත්ව, ඉතාමත් අවාසනාවන්ත ලෙස දිවි ගෙවති. නොයෙකුත් ආකාරයේ සන්නද්ධ සංවිධාන හරහා බිහිවන ත්‍රස්තවාදීහු, ඒ අතරතුර සුඩානය ස්වකීය ස්වර්ග රාජ්‍යය බවට පත් කරගෙන සිටින්නෝ ය. සුඩානයෙහි ස්ථාපිත දේශපාලන අධිකාරිය, තමන් සතු බලය අත්තනෝමතිකව භාවිතයට ගනිමින්, රටේ ආර්ථිකය සහ දේශපාලනය හසුරුවයි. මේ නිසා, එරට රජයේ නිලධාරීන් කරන අල්ලස් ලබා ගැනීම්, මානව අයිති උල්ලංඝනය කිරීම් ගැන විභාග කෙරෙන්නේ ඉතා කලාතුරකිනි. එමෙන් ම, ඉතාමත් අවිධිමත්ව ය.

 

9. ඇෆ්ඝනිස්තානය

වර්ග කිලෝමීටර 650,230කින් සමන්විත ඇෆ්ඝනිස්තානයේ ජනගහනය, මිලියන 31කට අධික ය. ඇෆ්ඝනිස්තානය දූෂිත ම රටවල් අතරට එකතු වන්නේ, එරට දේශපාලන අධිකාරියෙහි ඉහළ පෙළේ සාමාජිකයන්ගේ ඥාති සංග්‍රහ සහ රාජ්‍ය සම්පත් අවභාවිතයට ගැනීම් නිසා ය. මේ තත්ත්වය, හමීඩ් කර්සායි ජනාධිපතිවරයාගේ පාලන සමයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබිණ. සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නිසා, එරට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වයටත්, විරැකියාවටත් දේශපාලන අධිකාරියෙන් විසැඳුම් නැත. එනිසා, සාමාන්‍ය ජනයාගේ ජන ජීවිතය ඉතාමත් ඛේදනීය තැනකට ඇද වැටී ඇත.

 

10. ලිබියාව

ලකුණු 17ක් ලබා ඇති ලිබියාවෙහි නම දූෂිතම රාජ්‍ය ලැයිස්තුවේ 170 වැනි ස්ථානයේ සටහන්ව ඇත.

වර්ග කිලෝමීටර 1,759,541ක භූමි සරියකින් යුත් ලිබියාවේ ජනගහනය, මිලියන 6කට අධික ය. තෙල් සම්පතින් අනූන ලිබියාව, දූෂිත තත්ත්වයට පත්ව තිබෙන්නේ මෙයට කලකට ඉහත සිට ය. ලෝක සංවිධාන පෙන්වා දෙන අන්දමට, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාපිගේ සමයේදී පවා එරට දූෂිත තත්ත්වයේ තිබී ඇත. ඒ කවර කලෙක වුව, දේශපාලනඥයන් අයථා ලෙස රටේ සම්පත් පරිහරණය කිරීමට නැඹුරුව සිට ඇත. ඒ හැරුණු විට සම්පත් බෙදී යෑමේ අසමතුලිතතාව නිසා, එහි දූෂණ සිදු වේ.

මංජුලා විජ­ය­රත්න


නව අදහස දක්වන්න