ගිරවුන් තනන පාසල් | දිනමිණ

ගිරවුන් තනන පාසල්

චින්තක චන්ද්‍රකුමාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - අධ්‍යාපන පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

මිනිසා ජීවයක් ලෙස මවු කුස පිළිසිඳගත් දා පටන් මියෙනතුරුම අධ්‍යාපනය ලබති. ජීවිතයට එකතුවන සෑම අත්දැකීමක්ම යම්කිසි අධ්‍යාපනික වටිනාකමකින් යුක්තවන නමුත් අප අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ දරුවකු ළදරුවියේදී අරඹන පෙරපාසල් අධ්‍යාපනය සහ ඉන්පසු ලබන විධිමත් පාසල් අධ්‍යාපනයයි. මෙයින් විධිමත් පාසල් අධ්‍යාපනය වරින්වර වෙනස් වෙමින් නව ප්‍රතිසංස්කරණ එකතුවෙමින් සංශෝධනය වෙමින් කාලයක් පුරා සංවර්ධනය වන නමුත් අදටත් එහි ගුණාත්මකභාවය සහ ප්‍රායෝගික බව පිළිබඳ විවිධ සංවාද සහ ආන්දෝලන පවතී.

“අධ්‍යාපනයේ මූලික අරමුණ ගුණාත්මක පුරවැසියෙක් බිහි කිරීමයි. එයින් අදහස් කරන්නේ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට හැකි පුද්ගලයෙක් නිර්මාණය කිරීමයි. අතීතයේ බුද්ධිමතෙක් ලෙස සැලකුණේ දැනුම ඇති පුද්ගලයන් වනනමුත් අද ලෝකයේ බුද්ධිය පිළිබඳව තිබෙන පොදු අර්ථකථනය අනුව පවතින තත්ත්වයන්ට යහපත් ලෙස අනුගත විය හැකි පුද්ගලයා බුද්ධිමතෙක් ලෙස හැඳින්වේ. ඒ අනුව බලනවිට අධ්‍යාපනික දැනුම පමණක් තිබීම බුද්ධිමතකු වීමට ප්‍රමාණවත් නැත.

උදාහරණයක් ලෙස ගත්විට යම් පුද්ගලයෙක් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරමින් වෛද්‍යවරයකු ලෙස සේවයේ යෙදෙන නමුත් ඔහු ඔහුගේ රෝගීන්ට කාරුණිකව සලකන්නේ නැතිනම්, ඔහුගේ පවුල් ජීවිතය අසාර්ථක නම්, ඔහු හොඳ සමාජශීලී පුද්ගලයකු නොවේ නම් ඔහු බුද්ධිමතකු ලෙස සැලකිය නොහැක. අධ්‍යාපනයෙන් කළයුත්තේ මේ සියල්ල සමබර පෞරුෂයක් සහිත පුද්ගලයකු බිහි කිරීමය. ඒ පුද්ගලයා තුළ දැනුම ආකල්ප සහ කුසලතා සියල්ලෙන් සමබරව සංවර්ධනය වී තිබිය යුතුය. අධ්‍යාපන විද්‍යාවට අනුව ප්‍රජානන, ආවේදන, මනෝචාලක‍ යන ක්ෂේත්‍ර තුනම සංවර්ධනය විය යුතු. මහත්මාගාන්ධිතුමා මෙය සඳහන් කළේ හිස හදවත සහ අත යනුවෙනි.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් වැඩි ඉඩකඩක් ලබාදිය යුත්තේ චර්යාත්මක සංවර්ධනයට ය. ඒ අනුව දරුවා විනයගරුකව ජීවත්වීමට හුරු කරවිය යුතුවේ. විනය යනුවෙන් හඳුන්වන්නේ නීතියට අනුව ජීවත්වීම පමණක් නොවේ. එදිනෙදා කටයුතුවල පිළිවෙළ සහ ක්‍රමානුකූල බව, කිසිවකුගේ ඇඟවීමකින් තොරව ස්වයංව අවශ්‍ය අවස්ථාවල පාලනය වීම, අන්‍ය මත ඉවසීම සහ ගරු කිරීම වැනි අංශ අධ්‍යාපනයේ දී සංවර්ධනය කළ යුතුය. වර්තමාන සමාජය තුළ මේ සියල්ල පිළිබඳව දැනුම ඇති නමුත් ආකල්ප සහ කුසලතා නැත. මෙකී ගැටලුවට හේතුව අධ්‍යාපන ක්‍රමයේ ඇගයීම් ස්වරූපය. විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික ඉලක්ක බවට පත්වූයේ විෂය මාලාව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම සංවර්ධනය කිරීම පමණි. ඇගයීම් ක්‍රමයට වැඩි අවධානයක් යොමුවූයේ නැත. නමුත් දරුවා අධ්‍යාපන ක්‍රමය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ඇගයීම මත ය. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිපුරම අලෙවි වන්නේ ප්‍රශ්නෝත්තර පොත් සහ කෙටි සටහන් පොත් ය. දරුවා දන්නා ආකාරයට කෙටි සටහන් පොත් කටපාඩම් කර පැරණි ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීම මඟින් අවශ්‍ය අධ්‍යාපන ඉලක්ක ඉහළින්ම සපුරාගත හැකිය. එතනදී දරුවා ක්‍රියා කරන ආකාරයේ වරදක් ද නැත.

අධ්‍යාපන ක්‍රමයේ තවත් ප්‍රබල දුර්වලකමක් වන්නේ මතකය පරීක්ෂා කිරීමට මුල්තැන දීමයි. බ්ලූම් නමැති අධ්‍යාපනඥයා දැනුම, අවබෝධය භාවිතය, විශ්ලේෂණය, සංස්ලේෂණය, ඇගයීම යන කරුණු 6 යටතේ අධ්‍යාපනය වර්ගීකරණය කරයි. දැනුමේ සිට ඉහළට ගමන් කරන මෙම වර්ගීකරණයේ ඉහළ පරාසය සංකීර්ණ එකකි. අපේ රටේ මූලිකම අවධානය යොමුවන්නේ දැනුම සහ අව‍බෝධයට පමණි. භාවිතයට සුළු අවධානයක් යොමු වුවද එතැනින් ඉහළට ගමන් ගන්නේ නැත. එවිට නිර්මාණය කරන පුරවැසියා හොඳ මතකයකින් යුක්ත අයකු වන නමුත් සාර්ථක පුද්ගලයකු වීමට (Memory) මතකය අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ නැත. අප ඉහළ පිළිගැනීමකට ලක් කරන පුද්ගලයා හොඳ මතක ශක්තියකින් යුක්ත අයකු වන නමුත් ඔහුට ඉන් එහාට යම් කුසලතාවයක් තිබේද, ආකල්පමය සංවර්ධනය කෙසේද කියා අපට අවබෝධ කරගත හැකි ක්‍රමයක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ නැත.”

දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු කුසලතා සහ ආකල්පමය සංවර්ධනයකින් යුත් අයකු බවට පත් කිරීමට අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක විය යුතුය.

එහිදී මුලින්ම “අධ්‍යාපන ක්‍රමය තුළ ඇගයීම් ක්‍රියාවලිය වෙනස් වියයුතුය. ඇගයීම් ක්‍රමවල වෙනත් කුසලතා මැන බැලීමක් සිදු වේ. දරුවාට අනිවාර්යෙන්ම ඒ කුසලතා සංවර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නට සිදු වේ. උදාහරණයක් ලෙස නැටුම් විෂය හදාරන දරුවකුට එම විෂයෙහි ඉහළම සමාර්ථයක් ලබා ගන්නට අනිවාර්යයෙන්ම නර්ථන හැකියාව තිබිය යුතුය. ඒ පිළිබඳ අවබෝධය තිබෙන නිසා එම දරුවෝ නර්ථනය ප්‍රායෝගිකව පුහුණු වෙති. ඒ මඟින් නර්ථන කුසලතාව සංවර්ධනය වේ. නමුත් ඉංග්‍රීසි විෂයෙහි කථාකිරීම පිළිබඳව ඇගයීමක් නැති බැවින් දරුවන් ඉංග්‍රීසි කථා කිරීමට හෝ ගුරුවරුන් ඉංග්‍රීසි කථා කරවීමට උනන්දු වන්නේ නැත. එවිට එම කුසලතාව සංවර්ධනය වන්නේ නැහැ. ප්‍රතිඵල පාදක කරගත් ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය තුළ ප්‍රතිඵලය ලෙස අපේක්ෂා කරන දෙය ගැටලුසහගත වීම නිසා ගුණාත්මක පුරවැසියකු බිහි කිරීම ගැටලුවක් බවට පත්ව තිබේ.”

ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටකි. ලොව පුරා අධ්‍යාපන ක්‍රම විවිධ පර්යේෂණ ඔස්සේ සංවර්ධනය කරන නමුත් අපට ඒ සඳහා ඇති පහසුකම් සීමිතය. අප සතුව ඉතා හොඳ අධ්‍යාපනික අරමුණු සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද තිබුණද එය නිසි පරිදි ඇගයීමේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත. විෂයයන් කිහිපයකට පමණක් සීමාවී පවතින ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමයට සෑම විෂයක්ම බද්ධ කළ හැකි නම් අදාළ විෂය තුළ පරිපූර්ණ හැකියාවන්ගෙන් යුතු පුද්ගලයකු නිර්මාණය වේ. පාසල් විෂය මාලාව තුළට දිනෙන් දින නව විෂයයන් ඇතුළත් කෙරේ.

මේ මඟින් දරුවාට ග්‍රහණය කරගත යුතු දේ වැඩි වෙන බැවින් එය විශාල පීඩනයක් බවට පත්වෙන්නට පුළුවන්. නව විෂයක් එක් කරනවාට වඩා, එම විෂය තිබෙන විෂයයන් තුළට බද්ධ කළ හැකිනම් එය සාර්ථක පියවරකි. උදාහරණයක් ලෙස නුදුරේදී නීතිය විෂයයක් ලෙසට විෂය මාලාවට ඇතුළත් කිරීමට සැලසුම් සකස් වන බව පැවසේ. මෙහිදී සිංහල විෂයේ යම්කිසි සංවාදාත්මක පාඩමක් තුළට නීතිමය දැනුමට සම්බන්ධ කාරණා එකතු කළ හැකිය. විද්‍යාව විෂයෙහි පරිසර දුෂණය පිළිබඳ වන පාඩමට එහි නීතිමය තත්ත්වයන් ඇතුළත් කළහැකිය . එමගින් දරුවාට වෙනම විෂයක් ලෙස හදාරන්නට නොහැකි වුවත් අවශ්‍ය දැනුම ලැබේ. හොවාඩ් හාඩිනර් මනෝ විද්‍යාඥයා සඳහන් කරන බහුවිධ බුද්ධි සංකල්ප 9න් 8ක් ම අපට පාසල් අධ්‍යාපනය තුළට ඇතුළු කළ හැකිය. වාචසික භාෂාමය බුද්ධිය, කායික සංචලන බුද්ධිය ආදී මෙම සංකල්ප සෑම පුද්ගලයකුටම තිබිය යුතුයි.”

රජය අධ්‍යාපනය වෙනුවෙන් ඉතා ඉහළ වියදමක් දරන නමුත් ඒ තුළින් බිහිවන උගතුන් රටෙහි සංවර්ධනයට දායක කර ගැනීමේදී ඔවුන් සතු කුසලතා සංවර්ධනයේ අඩුලුහුඬුකම් ගැටලුවක් බවට පත්වේ. අධ්‍යාපන ක්‍රමයේ ඇති අසමතුලිත භාවය හේතුවෙන් එහි අවසාන ඵලය ලෙස නිර්මාණය කරන මිනිසා සැබෑ උගතෙක්ද යන්න ගැටලුවකි.

අධ්‍යාපනයේ කඩඉම් වන සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාගවලින් අසමත් වූවන් ලෙස සැලකෙන දරුවන් සමාජගත කිරීමේදී ඔවුන් වැඩදායී පුද්ගලයන් බවට පත්කර ගැනීම පිළිබඳවද මෙහිදී සළකා බැලිය යුතුයි.

“එකී අතරමංවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන්නේ පාසල් අධ්‍යාපනය තුළින් ඔවුන්ට ඉන්පසු කළ හැකිදේ පිළිබඳව නිසි ප්‍රායෝගික අධ්‍යාපනයක් නොලැබීම හේතුවෙනි. ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනයට සමගාමීව සෑම විෂයයක් තුළින්ම යම්කිසි ප්‍රායෝගික කුසලතාවයක් සංවර්ධනය කළයුතුය. එය තාක්ෂණය විෂ‍යයෙන්ම කළ යුතු කාර්යයක් නෙවේ.”

අනාගතයේදී බිහිවන පුරවැසියා කවර ආකාරයක අයකු විය යුතුදැයි නිර්නායක කිහිපයක් සකස් කළ යුතුයෙ. එහිදී එම පුද්ගලයා විශ්වාසනීය බවකින් යුතු, වෙලාවට වැඩ කරන, ස්වයං අවබෝධයකින් යුතු, තාක්ෂණික දැනුමකින් පරිපූර්ණ අයෙක් ලෙස සංවර්ධනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විමසා බලා කටයුතු කළ යුතුය. අධ්‍යාපනය නිෂ්පාදනාගාරයක් නම් එහි නිෂ්පාදනය වන භාණ්ඩය අනාගතයේ සමාජගත වන පුරවැසියාය. එම නිෂ්පාදනය වඩාත් ගුණාත්මක සහ ඉහළ වටිනාකමකින් යුතු එකක් කිරීමට නම් වෙනස් විය යුතු, සකස් වියයුතු තැන් නිවැරදි කරමින් ඉදිරියට ගමන් කළ යුතුය.

සටහන - දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න