පළමු නිදහස් දින උත්සවය සියැසින් දුටුවෙමි | දිනමිණ

පළමු නිදහස් දින උත්සවය සියැසින් දුටුවෙමි

මෙච්චර කල් අ‍පේ රට යටත් කරගෙන හිටිය ඉංග්‍රීසීන් අපේ රටට නිදහස ලබා දෙන්න තීරණය කර තියෙනවා. එම නිදහස් දිනය ලබන මාසයේ - පෙබරවාරි හතරවැනිදා පවත්වන්න ආණ්ඩුව තීරණය කරලා. එදාට මේ ඉස්කෝලේ ළමයින්ට නිදහස ලැබුව එක ගැන කියලා දෙන්නයි කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මට දැනුම් දීලා තියෙනවා" යනුවෙන් අපේ ගොතටුව ඉස්කෝලේ (දැන් ගොතටුව මහා විද්‍යාලය) ලොකු මහත්මයා වූ පී. තෝමස් සිංඤෝ මහතා වෙනදා මෙන් එක් දිනෙක අපි හැමෝම එක්රැස්කරලා කිව්වෙ බොහොමත්ම සතුටකින් යුතුවය.

මෙහෙම අපේ රටට නිදහසක් ලැබෙන්නට තිබෙන බව අප ද කලින් අසා තිබුණු නිසා ලොකු මහත්මයාගේ එම ප්‍රකාශය අප හැමෝගෙම සතුටකට හේතුවක් ද විය. එතුමාගේ එම කීම අනුව අපි සියල්ලන්ම එම දිනය පැමිණෙන තෙක් මහත් නොඉවසිල්ලෙන් බලා සිටියෙමු.

පෙබරවාරි 4 වැනිදා බදාදා දිනයකි. එයට කලින්දා 3 වැනි අඟහරුවාදා අප ඉස්කෝලෙ ඉදිරියේ පිට්ටනියට එක්රැස් කරවූ ලොකු මහත්මයා කීවේ "හෙට නිදහස් දා සියල්ලන්ටම උදේ තෙල් මල් අරගෙන පොත් ගෙදර තියලා ඉස්කෝලේ එන්න ඕනෑ. අප මෙහිදී නිදහස් දිනය සමරලා ගුරු මණ්ඩලය එක්ක සියල්ලෝම කන්දේ විහාරයට ගිහින් මල් පහන් පූජා කරලා නායක හාමුදුරුවන්ගේ දේශනයකට සවන් දීලා මෙහෙව් නිදහසක් අපට ලබා ගන්නට කටයුතු කරපු අපේ මියගිය ජාතික වීරයින්ට පින් දීලා ආපහු ඉස්කෝලෙට ඇවිල්ලා ‍මෙහි ලැහැස්ති කරලා තියෙන සංග්‍රහය භුක්ති විඳලා ආපසු ගෙවල් බලා යන්න පුළුවන්" යනුවෙන් කියා සිටියේය.

එවකට වයස අටේ කුඩා දරුවකු වූ මටද සෙසු අපේ ඉස්කෝලේ දරු දැරියන්ට ද මෙය අසා ඇතිවූයේ බලවත් සතුටකි.

ලොකු මහත්තයා එලෙස කී විට මට මතක් වූයේ අපේ කොපි පොත්වල මුල් පිටුවේ මුද්‍රණය කර තිබෙන ජෝර්ජ් මහ රජතුමාගේ සහ දේවියගේ ඡායාරූපය ය. එසේම කලෙක ඉස්කෝලේ පටන් ගන්නට පෙර සියලු දරු දැරියන් සියල්ලන්ම නැඟී සිට "ජෝර්ජ් අපගේ මහරජා - බිසවද සමඟින් සැරදේවා" කියා කියැවෙන ගීතිකාවක් ද ගායනා කරන්නට නියමව තිබුණු බව ද පසු කලෙක එය නතර වූ බව ද අසන්නට ලැබිණ. දැන් ඉතින් එහෙම දුර රටක සිට අපේ රට යටත්කරගෙන පාලනය කළ රජ කෙනකු ගැන මතක් කරන්නට අපට ඕනෑකමක් නැතැයි ද මගේ පොඩිකමට මගේ සිතට ඇතිවුණු සිතුවිල්ලය.

මේ ගෙවී යන්නේ එදා - වර්ෂ 1948 අප ලද නිදහසින් පසුව ගතවන හැත්තෑඑක්වැනි (71) වසරය. කාලයකට පෙර එසේ සිදුවූ සිද්ධීන් යළි මෙසේ මේ වන විට වයස හැත්තෑ නමයක මහල්ලකු වූ මට සුළුපටු දෙයක් නොවේ. මහ ලොකු දෙයකි. තවමත් යහපත් ස්මෘති ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන නිසා මට එදා සිදුවුණු දේ ඊයේ සිදුවූ දෙයක් ලෙස යළි මතක ගබඩාවෙන් එළියට ගෙන දැක්විය හැක.

ලොකු මහත්මයාගේ කීමට අනුවම පෙබරවාරි 4 වැනිදා උදේම අපි තෙල් මල් රැගෙන ඉස්කෝලෙට ගියෙමු. කාගෙ කාගේත් සිත්සතන් සතුටේ ගිලිලාය. එහි ගිය අපට දක්නට ලැබුණේ ඉස්කෝලේ අපි රැස්වෙන පිට්ටනිය මැද ලොකු කොඩි ගහක් සිටුවා තිබෙන බවය. එහි උඩ කෙළවර සිංහ කොඩියක් බැඳ තිබෙන බවය.

පසුව විපරම් කළ බැලූ අපට අසන්නට ලැබුණේ ලොකු මහත්තයා ඇතුළු ගුරු මණ්ඩලය සමඟ අපි පන්සල් ගොස් යළි ඉස්කෝලෙට පැමිණියායින් පසු අපට භුක්ති විඳින්නට කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි ආදියෙන් යුතු සංග්‍රහයක් ද බීම ද පිළියෙළ කර තිබෙන බවය.

ලොකු මහත්මයාගේ විධානය අනුව අපි සියල්ලෝම එහි පිට්ටනියට රැස්වූ පසුව ‍ලොකු මහත්තයා කළේ කොඩිගහ මුදුනේ රඳවා තිබූ සිංහ කොඩිය නූලෙන් ඇද දිගහැරීමය. අපි සියල්ලන්ම අත්පුඩි ගසා සතුට පළ කළෙමු. එවිටම අපේ පන්සලේ මෙන්ම වෙනත් පන්සල්, පල්ලිවලද ඝණ්ඨා නාදය පැතිරී ගියේය. ඒ සමඟම රතිඤ්ඤා හඬ පැතිරුණේ කලින් දන්වා තිබූ පරිදි උදේ 7.30 ටය. සුවිශේෂ නිදහස් නැකතක් යෙදී තිබුණු අපට දැනගන්නට ලැබුණේ පසුවය.

ලොකු මහත්මයා කොඩි ගසේ කොඩිය නිරාවරණය කිරීමෙන් පසුව එතැනට ගුරුතුමකු ගෙන ආ රාමු කරන ලද ඡායාරූපයක් කොඩිගසේ මැද එල්ලන්නට ද එතුමෝ කටයුතු කළහ.

අපි ඒ ගැන විමසිලිමත්ව බැලුවෙමු. මහා තේජවත් මුහුණකින් යුතු ඝන උඩු රැවුලකින් යුතු නායකයකුගේ ඡායාරූපයකි. එය ගිය අවුරුද්දේ තිබූ ඡන්දයෙන් පත්වෙලා - රටේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමා බවට පත්වූ ගරු ඩී. එස්. සේනානායක මැතිතුමාගේ ඡායාරූපය බව අප දැනගත්තේ පසුවය.

එම ඡායාරූපය අපේ ලොකු මහත්මයා ඉල්ලාගෙන ඇත්තේ මෙම ගොතටුව ඉස්කෝලේ පිහිටුවීමට ඉඩම ද මිලදීගෙන දුන් ඉස්කෝලේ කටයුතු ගැන නිතරම සොයා බලන ප්‍රදේශයේ වැදගතකු වූ ඇම්. ඒ. පෙරේරා වික්‍රමසිංහ මහතාගෙන් බව අපට පසුව දැනගන්නට ලැබිණ. ලොකු මහත්මයා අප අමතා කතාව කරන්නට ගත්තේ ඉන් පසුවය.

"අද අපිට බොහොම සන්තෝෂ දවසක්. ඒ මොකද දන්නවද? අද තමා අවුරුදු 133 කට පස්සේ අපේ රට අල්ලාගෙන පාලනය කළ ඉංග්‍රීසීන් අපට නිදහස ලබා දුන්නේ. ගිය අවුරුද්දේ තිබිච්ච ඡන්දෙන් පත්වූ සේනානායක අගමැතිතුමා ඇතුළු ඇමැති මණ්ඩලය අද කොළඹ රජගෙදර ලොකු උත්සවයක් පවත්වනවා කියලා ආරංචියි.

තව ටික දවසකින් එංගලන්තෙ ඉඳලා රජ්ජුරුවන්ගේ සහෝදරයාත්, දේවියත් මේ රටට පැමිණෙනවා කියලා ආරංචියි. අපට නිදහස ලැබීමේ නිවේදනය ප්‍රකාශයට පත්කරලා නිදහසේ නියම උත්සවය 10 වැනිදා කොළඹ ටොරින්ටන් පිටියේ සාදවන ලද තාවකාලික මන්දිරයක පවත්වනවා කියලත් ආරංචියි.

දැන් ඉතින් අපි අපේ ස්වදේශික නායකයන්ට අපේ රට පාලනය කිරීමේ අවස්ථාව උදාවෙලයි තියෙන්නේ. ඒ නිසා අපි සියල්ලෝම මගේ මේ කතාවෙන් පසුව මේ කොඩිගහ ළඟට ඇවිත් එයට ආචාර කරලා, මෙහි තිබෙන සේනානායක අගමැතිතුමාගේ ඡායාරූපයට ආචාර කරලා ඉවරවෙලා කන්දේ විහාරයට ගිහිල්ලා තෙල් මල් පහන් පූජා කරලා අපේ නිදහසට මඟපෑදූ මියගිය ජාතික වීරයින්ට පින් දීලා, නායක හාමුදුරුවන්ගේ දේශනයකට සවන් දීලා ආපහු ගිය විදියටම ඉස්කෝලෙට ඇවිල්ලා මෙහි තිබෙන සංග්‍රහය භුක්ති විඳලා ආපහු ගෙවල් බලා යන්නට අවසර තිබෙනවා" යැයි ලොකු මහත්මයා සිය කතාව කෙළවර කළේය.

එදින අපි සියල්ලෝම ගොතටුව කන්දේ විහාරස්ථානයට ගිය අවස්ථාවේ එහි භාරකාර අනුශාසක හිමිපාණන් වශයෙන් වැඩ සිටි පූජ්‍ය යටදොළවත්තේ විමලඥාන නාහිමියන් (පසුව මහානායක හිමියන් බවට පත්වූ) අප වෙත කරුණාවෙන් තිසරණ සහිත පන්සිල් දීමෙන් පසුව කළේ අපේ ඈත ඉතිහාසය ද මතකයට නංවාගෙන මෑත ඉතිහාසය ද හෙළිකර මෙසේ ජාතික නිදහස ලබාගන්නට මුල් වූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතික නායකයන් ගැන ද සඳහන් කර එසේ කටයුතු කර මිය පරලොව ගිය ජාතික වීරයිනට පින් පෙත් පැවරීමේ හා වර්තමාන නායකයනට සෙත සැලසීමේදී දේශනයකි. ඉන්පසුව අපි යළි ගොතටුවේ ඉස්කෝලේ බලා ආවේ නිදහස් සුවය සමඟ අපට ලැබෙන නිදහස් සංග්‍රහය ද භුක්ති විඳින්නටය.

අපේ ගොතටුවේ ඉස්කෝලේ පිහිටුවන්නට ද කන්නන්ගර ඇමැතිතුමාට සහාය වූ මුද්‍රණාල හිමිකරුවකු වූ ඇම්. ඒ.පෙරේරා වික්‍රමසිංහ මහතා විසින් එවන ලද කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි හා රසකැවිලි සංග්‍රහය නිසා මුළුමහත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදවසේ නිදහස සමඟ තවත් සතුටක් ලැබුණු බව ද කිව හැකිය. එදා අපි නිවෙස් බලා ගියේ දහවල් කෑමට ද සරිලන අන්දමින් බඩකට පුරවාගෙනය.

එදා සවස මගේ තාත්තා සිය ලොරියේ අපත් සමඟ අසල්වැසි දරුවන් කිහිපදෙනකු ද නංවාගෙන පවුල් පිටින්ම කොළඹ නිදහස් සිරිය නරඹන්නට ගියෙමු. තොරණ කිහිපයක්ම ඉදිවී තිබුණේ සේනානායක අගමැතිතුමාගේ රූපයත් සමඟ අතීත වීරයන්ගේ ඡායාරූප ද සමඟය. හැමතැනම සැරසිලි දක්නට ලැබුණු අතර මිනිසුන්ගේ, ළමා ළපටින්ගේ මුහුණුවල නිදහසේ ප්‍රීතිය භුක්ති විඳිනු දක්නට ලැබිණ.

පසුව අපට දැනගන්නට ලැබුණේ එදා උදේ 7.30ට මුළු රටම නින්නාද වන ලෙසින් පන්සල්, පල්ලි ආදියේ ඝණ්ඨා නාදය හා රතිඤ්ඤා හඬ නැඟුණේ ලංකාවේ ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් මන්ක් මේසන් මුවර්තුමා මෙම නිදහස් තත්ත්වය අනුව එම ආණ්ඩුකාරකමින් අග්‍රාණ්ඩුකාර බවට මාරු වූ බවය. එතුමෝ එවේලේ අග්‍රවිනිශ්චයකාරතුමා හමුවේ දිවුරුම් දී නව අග්‍රාණ්ඩුකාර පදවිය භාරගත්හ. ඒ සමඟම අගමැතිතුමා ඇතුළු ඇමැති මණ්ඩලය ද එතුමන් හමුවේ යළි දිවුරුම් දුන් බව ද අපට පසුව දැනගන්නට ලැබිණ.

එදින රාත්‍රියේදී ගාලු මුවදොර පිට්ටනියේදී එහි ගිය අපට දක්නට ලැබුණේ විවිධ විචිත්‍ර ගිනිකෙළි සංදර්ශනයකි. එය නරඹන්නට ද දසදහස් ගණනින් ජනීජනයා එහි එක්රැස්ව සිටියහ.

පෙබරවාරි 04 වැනිදා ලැබූ නිදහස නියම වශයෙන් ම භුක්ති විඳින්නට සැලසුම් කර තිබූ උත්සවය පවත්වන්නට නියමව තිබුණේ පෙබරවාරි 10 වැනිදා ටොරින්ටන් පිටියේ සාදන ලද තාවකාලික මන්දිරයේදීය. එයට සහභාගි වනු පිරිස විශේෂ ආරාධනා පත් මගේ පියාට කලින්ම එවා තිබුණේ ඔහු රජයේ පිළිගත් කොන්ත්‍රාත්කරුවකු වූවා මෙන්ම 1946 සැප්තැම්බර් 06 වැනිදා ඇරඹූ එක්සත් ජාතික පක්ෂයේ මුල්ම සාමාජිකයකු ද වූ හෙයිනි.

එංගලන්තයේ 6වැනි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ බාල සහෝදරයා වූ ග්ලෝස්ටර් ආදිපාදිතුමා හා දේවියගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ආරම්භ කරන බව ද ටොරින්ටන් පිටියේ මහා මන්දිරයක් ඉදිකර තිබෙන බව ද එහිදී පැවැත්වෙන විචිත්‍ර උත්සවය සඳහා සහභාගිවන පිණිස යන්නට ද තීරණය කරගෙන යළි එදින ආපසු නිවෙස් බලා ආවෙමු.

පෙබරවාරි 10 වැනිදා සිදුවූ එම සක්‍රීය නිදහස් උත්සවය ගැන කිව යුත්තේ වෙනම කතාවකි.

 

සෝමසිරි කස්තුරිආරච්චි


නව අදහස දක්වන්න