අපි වෙමු ලක්මවගේ දරුවෝ | දිනමිණ

අපි වෙමු ලක්මවගේ දරුවෝ

අද අපි කොළඹ සන්ධ්‍යා සාදයකට හෝ ගමේ කෝපි කඩයකට හෝ රටේ කොතැනකට ගියද බොහෝවිට අපට අසන්නට ලැබෙන්නේ අප රට පිළිබඳ සහ රට මුහුණපාන ගැටලු පිළිබඳ සෘණාත්මක දේවල්ය. එබැවින් මෙම අසුබවාදී ආකල්පය බිඳ දමා රටේ තිබෙන යහපත් දේවල් අගය කළ යුතු යැයි මදර් ශ්‍රී ලංකා තීරණය කරන ලදී.

ඔබට අවුරුද්දේ දින 365ම අධික සීතල නිසා හෝ අධික රස්නය නිසා මරණයට පත්නොවී පාරේ නිදාගත හැක. කුසගින්න නිසා මේ රටේ කිසිම කෙනෙක් මිය යන්නේ නැත. ලෝකයේ තිබෙන රටවලින් රටවල් කීයක් අපේ ර‍ටේ මෙන් නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් සපයනවද? මෙවැනි රටක ඉපදෙන්නට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද කියා අප සිතිය යුතුය. එබැවින් අප ඔබට පවසන්නේ පැමිණිලි කිරීම නවත්වන්න, අප රටේ තිබෙන හොඳ දේවල් අගයන්න. ඔබ මෙවැනි රටක ඉපදීම සමරන්න.

ආගමික සහ වාර්ගිකයන් වශයෙන් පෙළ ගැසී අපි විවිධ උත්සව සමරන නමුදු අපට අවශ්‍ය වන්නේ ජාති ආගම් බේද පසෙකලා එක් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් සැමදෙන එකට එක්වී එක් උත්සවයක් සැමරීමටය. ඒ අනුව අප මාතෘ භූමියේ නිදහස් දිනය සෑම ශ්‍රී ලාංකිකයකුටම එකට එක්ව ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය සැමරීමට වඩාත්ම සුදුසු දිනය බවට මදර් ශ්‍රී ලංකා භාරය තීරණය කරන ලදී. ශ්‍රී ලාංකිකයකු වීමේ අභිමානය සහ ශ්‍රී ලාංකිකත්වය සැමරීමට අප හා එක්වන මෙන් මදර් ශ්‍රී ලංකා භාරය සෑම ශ්‍රී ලාංකිකයකුටම ආරාධනා කර සිටී. මන්ද මෙම ලස්සන රටක ජීවත්වන අප සියලුදෙනාටම වෙනස්කම් පසෙකලා ශ්‍රී ලාංකික ජනතාවගේ ධනාත්මක අගයන් අගය කිරීමට මෙය කදිම අවස්ථාවක් වන බැවිනි.

මෙම අරමුණ ඉටුකර ගැනීමේ අරමුණෙන් දිවයිනේ ප්‍රථම වතාවට 70 වන නිදහස් දිනයට සමගාමීව “Love Sri Lanka Festival” නමින් නිදහස් සැමරුම් උළෙලක් 2018 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එම උත්සවය ඉතාමත් සාර්ථකව පැවැත් වූ අතර සංචාරක අමාත්‍යාංශයද එය තහවුරු කරන ලදී. එහි සාර්ථකත්වය හේතුකොටගෙන සෑම වර්ෂයකම නිදහස් දිනයට සමගාමීව වාර්ෂික උත්සවයක් ලෙස “Love Sri Lanka Festival” පැවැත්වීමට මදර් ශ්‍රී ලංකා සංවිධානය තීරණය කරන ලදී.

සෑමදෙයක්ම ශ්‍රී ලාංකිකයි යන සංකල්පය පිළිබිඹු වන ආකාරයට ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද සතුටින් භුක්ති විඳිය හැකි මෙම නිදහස් දින සැමරුම් උත්සවය පෙබරවාරි මස 2 සහ 3 දිනවල කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වේ. මෙම උළෙල ශ්‍රී ලාංකේය සංස්කෘතිය, කලාව, අත්කම් නිර්මාණ, වීදි නාට්‍ය, දේශීය විලාසිතා සහ උපාංග, සංගීත හා විනෝදාස්වාදය සඳහා වූ අංගයන්ගෙන් සපිරි පුරා දෙදිනක් තිස්සේ ක්‍රියාත්මක වන්නකි. මෙම සුවිශේෂී උත්සවය ඉතිහාසයේ ප්‍රථම වතාවට “ශ්‍රී ලාංකිකයකු වීමේ” හැඟීම ජනතාවගේ සිත්සතන් තුළ නැවත දැල්වීමේ සැබෑ පරමාර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලාංකිකයන්ට පුදන්නකි. කුඩා සහ මධ්‍යම පරිමාණයේ දේශීය වීදි ආහාර නිෂ්පාදනය කරන්නන්ට සහ විනෝදාස්වාදය සපයන්නන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාවක් සලසා ඇත. මෙම උත්සවය මගින් ලැබෙන සෑම ආදායමක්ම මදර් ශ්‍රී ලංකා සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍යාධාර කටයුතු සඳහා යොදවනු ලැබේ.

පසුගිය වසරේ පැවති උත්සවයේදී ඔබ කිරි ආප්ප කෑවද? එසේත් නොමැති නම් අඩුම ත‍රමේ ඔබ ඒ පිළිබඳ අසා තිබුණේද? කටට කෙළ උනන ඉස්සෝ වඩේ, උණු උණු තෝසෙ, උණු උණු කැවුම් කොහොමද?

ඔබ දන්නවද ශ්‍රී ලාංකික අපි ලෝකයේ විවිධ රටවල සංචාරය කර එම රටවල්වල ඉස්තරම්ම කෑම භූක්ති විඳ ඇති නමුත් අපි අපේ දේශීය ආහාරයක් වන පොල්සම්බල් සමඟ බත් කන්න කෙතරම් ආසද? එය තමයි සැබෑ ශ්‍රී ලාංකිකත්වය. අප මෙම උත්සවය මඟින් කරන්නෙත් අපට අනන්‍ය වූ ආහාර, විනෝදාත්මක අංග, සංගීතය සහ කලාව හරහා සැබෑ ශ්‍රී ලාංකිකත්වය සැමරීමය.

පෙබරවාරි මස 2 සහ 3 දෙදින පුරාවට පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා පැවැත්වෙන “Love Sri Lanka Festival” අපගේ නිදහස් දින සැමරුම වෙනුවෙන් පවුලේ සැමට එක්ව විනෝදවිය හැකි සැමරුම් උළෙලක් වනු නොඅනුමානය. ආහාරපානවලට අමතරව කුඩා දරුවන් සඳහා බෝට්ටු පැදීම, සෙල්ලම් දුම්රිය ගමන්, යෞවනයන් සඳහා ගෝ කාර්ට්, වැඩිහිටියන් සඳහා සිප් ලයින් වැනි සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන පරිදි වූ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත වේ. ඔබ ක්‍රීඩාවලට අකමැති නම් ඔබට කලා සහ අත්කම් භාණ්ඩවල සිට ඇඳුම් පැලඳුම් සහ විසිතුරු පැළ වර්ග යන පුළුල් පරාසයක වූ භාණ්ඩ මිලදී ගෙන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහයක් දැක්විය හැක. එයත් ප්‍රමාණවත් නොමැති නම් මහදැනමුත්තා, සළුපාලිය වැනි දේශීය ජනප්‍රවාදයේ පැවත එන විකට චරිත සමඟ හෝ ඩිලන්ත මාලගමුව වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චරිත මුණගැසීමට හෝ සුනිල් පෙරේරා සමඟ බයිලා නැටීමට අනිවාර්යයෙන් කැමති වනු ඇත.

මෙමගින් උපයන ආදායම “වගකීම් සහගත පුරවැසියන්” බිහිකිරීම උදෙසා මදර් ශ්‍රී ලංකා භාරය පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍යාධාර වැඩසටහන් සඳහා යොදවනු ලැබේ. එබැවින් ඉහත කී කිසිදු හේතුවක් ඔබට මේ සඳහා සහභාගිවීමට බලපාන හේතූන් නොවන්නේ නම් මදර් ශ්‍රී ලංකා මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙකී පුණ්‍ය කටයුතු සඳහා අත්වැලක් වීමේ අරමුණෙන් හෝ ඔබ මේ උත්සවය සඳහා සහභාගී වෙතැයි අප අපේක්ෂා කරමු. එබැවින් ලංකාවේ එකම එක නිදහස් සැමරුම් සැණකෙළිය රසවිඳින්න ඔබත් යහළුවන් සහ පවුලේ අය සමඟ පැමිණෙන්න.

2008 වර්ෂයේ පිහිටුවන ලද මදර් ශ්‍රී ලංකා යනු මාතෘ භූමිය පිළිබඳව සුබවාදී සිතුවිලි ජනතාව තුළ ජනිත කරවීමේ අරමුණෙන් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ ලාභ නොලබන අංශයන්ගේ එකමුතුවෙන් සුසැදි ලාභ නොලබන සංවිධානයක් වන අතර එමඟින් ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුව වෙනුවෙන් කටයුතු සිදුකෙරේ. අපේ දරුවන්, තරුණයින් සහ වැඩිහිටි ප්‍රජාව අතර වගකීම් සහගත පුරවැසිභාවය පිළිබඳ සංකල්පය සංවර්ධනය කිරීමේ අරමුණෙන් ලංකාවේ ප්‍රථමයෙන්ම පිහිටුවන ලද සංවිධානයද වේ. තවද මෙම සංවිධානය මඟින් තරුණ ප්‍රජාවගේ ව්‍යවසායකත්ව හැකියාව නායකත්වය සහ කළමනාකරණ කුසලතාවන්, දියුණු කරමින් අනාගතයේ අප රට භාර ගැනීමට අවශ්‍ය පන්නරය ලබාදීමට කටයුතු කරයි.

මදර් ශ්‍රී ලංකා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.mothersrilanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

නව අදහස දක්වන්න