දේශයක අබිමන ජාතික කොඩිය | දිනමිණ

දේශයක අබිමන ජාතික කොඩිය

සියලුම රාජ්‍යයන් සතුව තමන්ගේ අනන්‍යතාවයන් සහ ප්‍රෞඪත්වයන් පිළිබිඹු කිරීම සඳහා ජාතික කොඩියක් භාවිතා කරනු ලබයි. ජාතික කොඩියක් යනු මවුබිමේදී මවුබිමේ ස්වාධීනත්වයේ ද, ජනතා පරමාධිපත්‍යයේ ද, එක්සත් භවේද සංකේතයකි. ඒ නිසා තමන්ගේ ජාතික කොඩියට සියලුම රටවැසියන්ගේ ගෞරවය හිමිවේ. ජාතික කොඩිය භාවිතා කරන අවස්ථාවලදී ජනතාව ඉන් ඔදවැඩීයාම දක්නට ලැබේ.

ජාතික කොඩියකින් අදහස් වන්නේ කුමක්දැයි ජනතාව වඩාත් ගැඹුරු ලෙස දැන සිටින විට ජාතික කොඩිය ඔසවන අවස්ථාවල ඔවුන්ගේ දෙඋර සෘජු වී හදවත තුළ මනා ‍ප්‍රබෝධවත් ගතියක් ඇතිවේ. එනිසාම එවැනි අවස්ථාවලදී හිසනමා ආචාර කිරීමට ඔවුන් පෙලැඹේ.

ජාතික කොඩිය යනු යම් යම් අවස්ථාවල භූමි අලංකාරයට හෝ ප්‍රදර්ශනයට ගන්නා භාණ්ඩයක් නොවේ. එය සැරසිලි භාණ්ඩයක් ද නොවේ. ජාතික කොඩිය භාවිතය පිළිබඳ අප රට තුළ පනවා ඇති නීති රීති පිළිබඳව බොහෝ දෙනකු නොදැන සිටීම අවාසනාවකි. ශ්‍රී ලාංකික ජාතික කොඩිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන වගන්තිය මුළුමනින්ම වෙන්වී ඇති නිසා මෙය රටේ මූලික නීතියට ද අඩංගු වී ඇත. එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කොඩිය භාවිතය ගැන රීති සංග්‍රහයක් ද නිකුත් කර ඇත. එම රීති සංග්‍රහ මඟින් ජාතික කොඩිය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නියම කර ඇති අතර එය භාවිතය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවල නිර්දේශ මත රෙගුලාසි පනවා ඇත. මේ සම්බන්ධයෙන් 1981 හා 1984 වර්ෂවල අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මෙම රෙගුලාසි නිකුත් කර තිබේ. 1986 වර්ෂයේ ප්‍රකාශයට පත්කළ 1984 කැබිනට් අනුකාරක සභා රෙගුලාසි මාලාව නිර්දේශ කර ඇත්තේ එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වන කේ. ඩබ්. දේවනායගම්, ඊ. ඇල්. බී. හුරුල්ලේ, ඒ. සී. ඇස්. හමීඩ් හා රනිල් වික්‍රමසිංහ යන ඇමැතිවරුන් විසිනි.

ශ්‍රී ලංකා ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී එකල කන්ද උඩරට රාජ්‍ය සමයේ භාවිතා කළ රාජකීය ධජය වූ රතු පැහැති පසුබිමක දකුණතින් කඩුවක් අමෝරා සිටින කහ පැහැති සිංහ රුව සහිත කොඩිය අනුව 1948 දී සකස් කර තිබූ ජාතික කොඩිය ද මුල් කරගනිමින් 1978 ජාතික කොඩිය නිර්මාණය කර ඇත. එම කොඩිය 5:1:1 අනුපාතයට ඇති රතු, තැඹිලි හා කොළ පැහැති තීරු තුනකින් සමන්විත වන අතර එයින් රටේ ජීවත්වන මහ ජාතිය හා සුළු ජාතීන් නියෝජනය දක්වා ඇත. එසේම රත් පැහැ තීරුවේ දක්වා ඇති කගයක් අතින් ගත් සිංහ රූපය එඩිතර බවත්, නීතියේ උත්තරීතර බවත්, ජනතා පරමාධිපත්‍යයත් ආදී කරුණු නිරූපණය කර ඇත. එම සිංහ රුව හතරවටේ එනම් රතු තීරුවේ මුළු හතරේ බෝ පත් හතරක් දැක්වෙන අතර එමඟින් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා ආදී සතර බඹ විහරණයන් නිරූපණය කර ඇත.

ජාතික කොඩිය භාවිතා කළ හැක්කේ ජාතික දිනයේදී හා ජාතික වශයෙන් වැදගත් යැයි රජය විසින් තීරණය කරනු ලබන දිනවලදීත් රාජ්‍ය උත්සව අවස්ථාවන්හිදීත්ය. ජාතික කොඩිය එළිමහනේ ඔසවා තබන විට එයට ඉහළම ගෞරවය ලබාදිය යුතු අතර එය පැහැදිලිව පෙනෙන ස්ථානයක එසවිය යුතුය. යම් හෙයකින් විදේශ රාජ්‍ය නායකයකු මෙරටට පැමිණි විටක ඔහු නියෝජනය කරන රටේ ජාතික කොඩිය හා සමගාමීව මෙරට ජාතික කොඩිය ද එසවිය යුතුය.

ජාතික කොඩිය ‍එසවීම මෙන්ම පහත් කිරීම ද ඉතා සෙමෙන් කළ යුතු කාර්යයකි. කොඩිය කුඹුගත කිරීමේදී එහි සිංහ රුවට ඉදිරියෙන් කොඩි කණුව සිටින සේ එසවිය යුතුය. සෑම උත්සව අවස්ථාවකම ජාතික කොඩිය එසවීම කළ යුත්තේ එයට ප්‍රමුඛත්වය ලැබෙන පරිදිය. එසේම ජාතික කොඩිය සෙසු කොඩිවලට ඉහළින් තිබිය යුතු අතර ප්‍රමුඛ කොඩිය ලෙස පැහැදිලිව පෙනෙන සේ ඉදිකළ යුතුය.

ජාතික කොඩිය එසවීම මෙන්ම පහත් කිරීම ද ඉතා සෙමෙන් කළ යුතුය. සෙසු කොඩි සමඟ එසවීම සිදුකරන විට ජාතික කොඩිය ‍මුලින්ම එසවිය යුතුය. සෙසු කොඩි එයට පසුව එසවීම කළ යුතුය. එසේම කොඩි පහත් කරන විට සෙසු කොඩි පහත් කළාට පසුව ජාතික කොඩිය පහත් කළ යුතුය. එසේම ඔසවන කිසිදු කොඩියක් ජාතික කොඩියට වඩා විශාල නොවිය යුතුය. කොඩි සියල්ල සමාන ප්‍රමාණයෙන් විය යුතුය. එක් රටක ජාතික කොඩිය වෙනත් රටක ජාතික කොඩියට ඉහළින් නොසිටින සේ එසවිය යුතුය. එය ජාත්‍යන්තරව පිළිගත් සම්ප්‍රදායානුකූල රීතියකි. ආගමික කොඩි ද එසවිය යුතු වන්නේ ජාතික කොඩියට සමාන උසිනි. ඇතැම් උත්සවවලදී පළාත්, ප්‍රාදේශීය, පාසල්, සංගම් ආදියේ කොඩි සමඟ ඔසවන විටක එම කොඩිවලට මැදින් හා ඉහළින් සිටින සේ ජාතික කොඩිය එසවිය යුතු වේ.

ජාතික දිනය වැනි අවස්ථාවල නිවාසවලද වෙනත් ගොඩනැඟිලිවල ද ජාතික කොඩිය ඔසවන විට එය ද ප්‍රවේසම්ව කළ යුතුය. සඳළුතල, ජනෙල් ආශ්‍රිතව කොඩිය ඔසවන විට කොඩි කණුව අංශක 45ක කෝණගත වන සේ යෙදිය යුතුය. සෑම විටම කොඩි කණුව මුදුනේම කොඩිය තිබිය යුතුය.

ඇතැම් ගොඩනැඟිලිවල ජාතික කොඩිය රාත්‍රී කාලයේ ද ඔසවා තබන අවස්ථා දක්නට ඇත. එබඳු සෑම රාත්‍රියකම විදුලි ධාරාවන් එල්ලකොට ජාතික කොඩියට ආලෝකය සැපයිය යුතු වන්නේය. එසේ රාත්‍රී කාලයට ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්කේ විශේෂ අවස්ථාවන්වලදී පමණකි.

ආගමික කොඩි ද ජාතික කොඩිය සමඟ ප්‍රදර්ශනය කරන විට ඒවා ජාතික කොඩියට සමාන උසින් යුතුව ඔසවා තැබිය යුතුය.

ජාතික කොඩිය ජාතික ශෝක දිනවල එසවිය යුත්තේ අඩකුඹු වන පරිදිය. එසේ කරන විට මුලින්ම කොඩිය කණුවේ ඉහළටම ඔසවා නැවත එහි තුනෙන් එකක දුරක් පහතට හෙළිය යුතුය. නැවත පහළට හෙළන විටදී ද කොඩිය නැවත කොඩි කණුවේ ඉහළට ඔසවා යළි පහතට හෙළිය යුතුය.

බොහෝ අවස්ථාවල ජාතික කොඩිය පෙරහර හා පෙළපාලිවලද රැගෙන යන අවස්ථා දක්නට ඇත. එසේ රැගෙන යා යුත්තේ යෂ්ටිය සෘජුව සිටින සේ වන අතර සෙසු සියලු කොඩිවලට පෙරමුණේ ජාතික කොඩිය රැගෙන යා යුතුය. එසේ රැගෙන යන කොඩිය කිසි විටක කිසිදු කාරණයක් නිසා එය පහත් නොකළ යුතුය. පෙළපාලි රථයක කොඩිය රැගෙන යා යුත්තේ සෘජු ලෙස සිටින සේ යෂ්ටියක ඉහළට ඔසවා තබමිනි.

උත්සව අවස්ථාවලදී ද ජාතික කොඩිය එසවීම ඉතාමත් ගෞරවනීය ලෙස සිදුකළ යුතුය. එසවීමට පෙර කණුවට සවිකරන ජාතික කොඩිය හකුලා උස් ස්ථානයක රැඳවිය යුතු අතර කිසිදු හේතුවකට එය බිම ගෑවෙන සේ නොතැබිය යුතුය. එසේම කොඩිය එසවීමේදී එය යොතට සම්බන්ධ කළ යුත්තේ එහි ඇති කොපුව යොදාගෙනය. ජාතික කොඩිය ලෙළදෙන පැත්තෙන් කිසිසේත් එසවීම නොකළ යුත්තකි.

උත්සව අවස්ථාවක ජාතික කොඩිය එසවිය යුත්තේ උත්සවයේ ප්‍රධාන අමුත්තා විසිනි. ඔහු කොඩිය එසවිය යුත්තේ සීරුවෙන් සිටිමින් වන අතර එම අවස්ථාවට සම්බන්ධ වන සියලු දෙනාම අසුන්වලින් නැඟී සීරුවෙන් සිටගත යුතුය. එසේම කොඩිය ඔසවන අවස්ථාවේ කතාබහේ නිරතවීම, සිනාසීම, දුම්බීම, ආහාරපාන ගැනීම ආදියෙන් වැළකිය යුතු අතර ජාතික කොඩිය ඔසවන දෙසට හැරී සිටිය යුතුය. හමුදා සේවාවල නියැළී සිටින නිල ඇඳුමින් සැරසී ඇති අය තමන්ට නියමකොට ඇති පරිදි කොඩියට ආචාර දැක්වීම කළ යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්ථාවේ මඟුල් වාදනය හා සංඛනාද පැවැත්වීම කළ හැකි අතර වෙනත් වාදන නොකළ යුතුය. කොඩිය ඔසවා අවසන්වීමත් සමඟ ජාතික ගීය ගායනය කිරීම හෝ වාදනය කිරීම කළ යුතු අතර සහභාගි වන අය ද එයට දායක විය යුතුය.

බොහෝවිට ජාතික කොඩිය ලෙස ඇතැම් අය භාවිතා කරන්නේ එහි අනුරුවක් වීම දැකිය හැකි ලක්ෂණයකි. එය එතරම් නිවැරදි නොවේ. ජාතික කොඩිය ශ්‍රී ලංකා ප්‍රමිත පිරවිතරයට අනුකූල විය යුතුය. එබැවින් නියමිත වර්ණ හා රූ සටහන් සහිතව සෙ. මී. 100 පළල හා සෙ. මී, 200 දිග වන නියමිත ජාතික කොඩියම එසවීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය.

ජාතික කොඩිය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු අතර පළුදු වූ හෝ දුර්වර්ණ වූ හෝ අවලක්ෂණ වූ කොඩි භාවිතයෙන් වැළකීම, කිසිදු කෙනකු සඳහා ආචාර පැවැත්වීම පිණිස පහත නොහෙළීම, සැරසිල්ලක් වශයෙන් ජාතික කොඩිය යොදා නොගැනීම ඉතා වැදගත්ය. එසේම කොඩියේ සිංහ රුව උඩු යටිකුරු වීම හෝ පළල් අත ඉහළට සිටින සේ කොඩිය එල්ලා තැබීම හෝ නොකළ යුත්තකි. එසේම කොඩිය ඔසවා තැබිය යුත්තේ එයට හානියක් නොවන පරිදිය.

ජාතික දිනය සමරන මෙම කාලය තුළ අප රටේ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවා තැබීමට රටවැසියන් උනන්දු වන බැවින් මනා අවබෝධයකින් යුතුව ජාතික කොඩිය හෝ එහි අනුරූ කොඩි එසවීම කළ යුත්තකි. ඒ සඳහා මෙහි සඳහන් කළ කරුණු පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

 

 

බණ්ඩාර ඇකිරියගල
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික 

නව අදහස දක්වන්න