දශක හතකට පසුව අප රට | දිනමිණ

දශක හතකට පසුව අප රට

රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චමින්ද එගොඩවත්ත

ශ්‍රී ලංකාව පාලනය කළ මහා බ්‍රිතාන්‍යයේ ඇතැම් අධිරාජ්‍යවාදී රටවලට දෙවන ලෝක යුද්ධයත් සමග විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවීම අධිරාජ්‍යවාදී පාලනය බිඳවැටීමට ප්‍රධානතම සාධකයක් විය. ඇමරිකාවේ මෙන්ම සෝවියට් රුසියාවේ නැඟීමද මේ සඳහා තවත් බලපෑමකි. මෙම රටවල නැඟීම ආර්ථික වශයෙන් දුර්වල අධිරාජ්‍යවාදී රටවලට දැවැන්ත තර්ජනයක් එල්ල වූ අතර තමන් යටතේ පැවැති රටවල් තවදුරටත් පවත්වා ගැනීම ඔවුනට විශාල ගැටලුවක් විය. මෙම වකවානුව වන විට ඒ ඒ රටවල ස්වදේශීය ජනතාවට අධිරාජ්‍යවාදී පාලනයන්ගෙන් මිදී නැඟීසිටීමේ අවශ්‍යතාව දැනෙන්නට වීමද ශ්‍රී ලංකාව වැනි රටවලට නිදහස ලබා ගැනීමට බලපෑ ප්‍රධාන සාධකයන් ලෙස පෙන්වා දිය හැක.

ඉන්දියාවට සාපේක්ෂව ගත් කල නිදහස වෙනුවෙන් මෙරට සිදු වූයේ සුඵ නැඟීසිටීමකි. ඇතැමුන් මෙය ලේ වැගිරීමකින් තොරව ලබාගත් නිදහසක් ලෙස අර්ථකතනය කළද 1815 සිට විවිධ අරගල ඔස්සේ සිදු කළ සටන් හේතුවෙන් විශාල වශයෙන් ලේ වැගිරීම් සිදු වූ බව අවබෝධ කර ගත යුතුය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධිපත්‍ය වැනි සංකල්ප ඉස්මතු වන විට මෙරට දේශපාලන පැලැන්තිය මෙන්ම ඒ හා සම්බන්ධ පිරිස් ඉන් නිසි ප්‍රතිඵල නෙළාගැනීම නිදහසේ අරගලයට පණ පෙවීමක් ලෙස පෙන්වා දිය හැක.

නිදහස ලබන වකවානුව වන විට ශ්‍රීලංකාව ආසියාවේ ප්‍රබල ආර්ථිකයක් මෙන්ම විශාල නැගිටීමක් තිබූ රටක් ලෙස හැඳින්වීම වරදක් නොවන්නේ, සාක්ෂිවලින් ඒ බව පැහැදිලි වන නිසාය. සිංගප්පූරුවේ නායකයන් එම වකවානුවේ ශ්‍රී ලංකාව මෙන්ම එහි නැගිටීම පිළිබඳව බලා සිටි බැව් බොහෝ දෙනකු පවසන්නේ නිකමට නොවේ. තවත් පැත්තකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමය පිළිබඳව සෑම අතින්ම අසුබදායි ලෙස කතා කෙරුණද දශක හතකට පසුව අද වන විටත් ඉන් ශේෂව ඇති සුබදායි දෑ රැසකි. යටිතල සංවර්ධනය සඳහා නියමිත සැලැස්මක්, විධිමත් ආයෝජන ක්‍රමවේද වැනි දේ යුරෝපීය ආභාසය ඔස්සේ මෙරටට ලැබුණු යහපත් ප්‍රතිඵල වේ. දීර්ඝ කාලීන අයෝජන ක්‍රමයක් ඔස්සේ ගොඩනැඟුණු ආර්ථික ක්‍රමයක් එදා පැවැතුණි.

කොළඹ නගරය ලෙසින් සිංගප්පූරුව දියුණු කළ යුතු බවට එවකට පෙන්වා දෙනු ලැබුවේ මෙම තත්ත්වය නිසාය. නිදහස ලැබීමෙන් අප රටක් ලෙස ස්වාධීන වීම හැර වෙනත් යහපත් තත්ත්වයන් පිළිබඳ අද වන විටද විවිධ තර්ක විතර්ක පවතී. එහෙත් මෙයට සමගාමීම නිදහස ලැබූ රාජ්‍ය තමන්ට ආවේණික සමාජ ක්‍රමයක් මෙන්ම ආර්ථික වැඩපිළිවෙළක් සකස් කර ගෙන තිබේ. එමෙන්ම එම රටවලට ආවේණික අධ්‍යාපන ක්‍රමයක් ඔවුන් සකසාගෙන තිබේ. නමුත් මෙරට එවනි තත්ත්වයක් තවමත් නිසි ලෙස ගොඩනැඟී නොතිබීම රටෙහි ගමන් මඟට ප්‍රබල බාධාවකි. වියට්නාමය, කොරියාව වැනි රටවල් අද වනවිට ඉතාමත් ඉහළට පැමිණ ඇත්තේ තමන්ටම අවේණික වූ සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනඟාගෙන තිබීම හේතුවෙනි. එදා තිබුණු තත්ත්වය ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් ඉන්පසු බිහිවුණු සෑම රජයකින්ම නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ප්‍රබලව බලපා ඇත.

සෑම රටක්ම දියුණු වන විට රටවලට අනන්‍ය වූ පිළිගැනෙන ආර්ථික ව්‍යුහයක් පවතී. එය සමාජ වාදය, ධනවාදය, ලිබරල්වාදය මෙන්ම දේශීය පදනම මත ගොඩනැගුණු ආර්ථික ක්‍රමයක් විය හැක. චීනය සමාජවාදී ආර්ථික ක්‍රමයක් ඇති රටකි. නමුත් ඔවුන් නියමිත අවස්ථාවේ ධනවාදයට මාරු විය. සිංගප්පූරුව පූර්ණ ධනවාදී ආර්ථික ක්‍රමයකි. ලංකාව මේ සෑම ක්‍රමවේදයක් කාලවල උත්සාහයන්හි යෙදෙන්නට පමණක් පෙළඹුණි. පක්ෂ ක්‍රමය පැමිණීමත් සමඟ ඒ ඒ පක්ෂ හා නායකයන් විවිධ ක්‍රමවේදයනට උත්සාහයන්හි යෙදුණි. ඩී.එස්.සේනානායක මහතා දේශීය කෘෂිකර්මාන්තය මත ගොඩනැගුණු ආර්ථික ක්‍රමයකට බර තැබූ අතර එය යම් දුරකට සාර්ථක විණි. එහෙත් එම රජය අත නොගැසූ වෙනත් ක්ෂේත්‍ර පැවතුණි.

පසුව පැමිණි ආණ්ඩුව ජනසතු කිරීමට පියවර ගැනීම දක්නට ලැබේ. අනතුරුව බලයට පැමිණි තවත් ආණ්ඩුවක් සමාජවාදය මත පදනම්ව රට තුළ සියල්ල සකසාගත යුතුය යන වැඩපිළිවෙළට ගොස් හාල් පොලු, මිරිස් පොලු ආදිය ගෙන ඒම සිදු කළේය. පසුව ධනවාදී නිදහස් ආර්ථික ක්‍රමයක් මෙරටට හඳුන්වා දුන් අතර මේ සඳහා මහජන විරෝධතාවන්ද මතු වූ බව පෙනේ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 70-77 කාලයේ ගෙන ආ ආර්ථික ක්‍රමය තවදුරටත් පැවතුනේ නම් ඇතැම් විට අපට මෙයට වඩා ශක්තිමත් ආර්ථික ක්‍රමයකට ගොඩනැංවීමට තිබිණි. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් ආර්ථික ක්‍රමය මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය තව ඉදිරියට පැවතියේ නම් ස්ථාවර ආර්ථික රටාවකට ගොඩනැංවීමට හැකියාව තිබිණි.

නිදහසින් පසු මෙරටට සිදුවු බරපතළම හානිය තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩු මාරු වන විට ආර්ථික දේශපාලන දර්ශන වෙනස් වීමය. එයින් ව්‍යාකූල තත්ත්වයන් හට ගැනිණි. සම්පූර්ණ සමාජවාදී රටකට මේ වන විට පැවැත්මක් නොමැත. රටක් ඉදිරියට යාමට විදේශ ආයෝජන, විදේශ සබඳතා ඉතාම වැදගත් සාධකයන්ය. එමෙන්ම නිදහසින් පසු මෙරට දේශපාලන, ආර්ථික ප්‍රතිපත්තීන් වසර දහයක තරම්වත් කාලයක් නොපැවතීම රටේ ගමනට සිදු ප්‍රධානතම බාධාවක් ලෙස පෙනේ. වසර දහයකටත් අඩු කාලයකින් රටෙහි දේශපාලන, ආර්ථික දර්ශන වෙනස් වන විට එරටට විදේශ ආයෝජකයෝ නොපැමිණීයහ. මෙවැනි වෙනස්වීම්හි බලපෑම විදේශ ආයෝජන සඳහා පමණක්ම නොව රටේ ආර්ථික මරමස්ථාන සදහාද අධ්‍යාපනික ක්ෂේත්‍රයටද තවත් පැත්තකින් බලපානු ලැබූ බැව් පැහැදිලිය.

48 දී මෙරටට ලැබුණු නිදහස පිළිබඳ විවිධ අර්ථකතන තිබුණද පැහැදිලි වන එක් කරුණක් වන්නේ, ලද නිදහස රටක් ලෙස අප අර්ථාන්විතව භාවිතයට නොගැනීමයි. නිදහසින් පසු රටට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අර්බද තුනකි. ඉන් පළමු අර්බුදය 71 තරුණ නැගීටීමය. දෙවන තරුණ නැගිටීම 88 දී සිදු විය. මෙම නැගිටීම් දෙකටම වඩා රටක් ලෙස ගෙවුණු දශක හතක කාලයෙන් දශක තුනක් පමණ රටට මුහුණ දීමට සිදුවූ බරපතළතම අර්බුදය ත්‍රස්තවාදයයි. මේ තුළ ඉතාම බිහිසුණුකාරී යුද්ධයකට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවිය.

එය නිදහසින් පසු රටට මුහුණ දීමට සිදු වූ බරපතළම ඛේදවාචකයයි. පැවැති සමාජ ව්‍යුහය තුළ අසාධාරණයට ලක් වූ පිරිස්හි යම් නැගිටීමක් මේ තුළින් දක්නට ලැබිණි. එවන් පරිසරයක් නිර්මාණය නොවුයේ නම් රටක් ලෙස අපට මේ වන විට ලොව ඉහළම ස්ථානයකට පැමිණීමට හැකියාවක් තිබිණි. එමෙන්ම අදට වඩා අයෝජන පැමිණෙන, අයෝජන විභවයකින් යුත් රටක් බවට පත් වන්නට සුදුසු පරිසරයක්ද නිර්මාණය කෙරෙනු ඇත. මෙම ප්‍රධාන අර්බුද තුන මෙන්ම දේශපාලන හැළ හැප්පිලි නොවන්නට ශ්‍රී ලංකාව මේවන විටත් ලොව ශක්තිමත්ම ආර්ථිකයක් පවතින රටක් වනු ඇත.

71 කැරැල්ලේ අවසානයේ සිට 2009 දී ත්‍රස්තවාදය නිමාව දක්වා මෙම ප්‍රධාන අර්බුද තුන එකින් එක අවසන් වන විට එහි අත්දැකීම් ඔස්සේ රට ගොඩනැඟීම ගැන විවිධ ආණ්ඩු මෙන්ම රාජ්‍ය තන්ත්‍ර කතා කළද ඒ සඳහා වන විසඳුම් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම රටට දීර්ඝ කාලීනව බලපා ඇති ප්‍රධානතම අභියෝගයකි. යුද්ධයේ අවසානයත් සමඟ සමාජයේ විශාල පිබිදීමක් මෙන්ම සමාජය නිසි ලෙස ගොඩනැංවීම සඳහා වන පරිසරයක් නිර්මාණය වුවද ඒ සඳහා සැබෑ වටිනාකමක් නොලැබිණි. විදෙස්ගතව සිටි බොහෝ ශ්‍රී ලංකිකයන්ට මෙම වකවානුවත් සමඟ මෙරටට පැමිණීමේ වුවමනාව දැඩිව තිබුණද ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවිණි. ඇතැම් විදෙස්ගත ශ්‍රී ලංකිකයන් පැමිණියද පැවැති දේශපාලන ප්‍රතිපත්ති ඒ සඳහා හරස්විය.

මෙලෙස පැමිණීමේ අවශ්‍යතාව තිබූ මෙන්ම පැමිණි වෘත්තිකයන්ගෙන් රට නිසි ප්‍රතිඵල ලබා ගත්තේද යන්න අදද පවතින ගැටලුවකි. යුද්ධයේ අවසානයත් සමඟ බොහෝ ආයෝජන මෙරටට පැමිණියද එම අයෝජන නිවැරැදි අයුරින් භාවිතයට ගැනීමට නොහැකි වනු දක්නට ලැබුණු අතර එම ආයෝජන නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් නිදහසින් පසු රට ගොඩනැංවෙන හොඳම වකවානුව එය වන්නට තිබිණි. එහෙත් එසේ වීම වෙනුවට සිදු වූයේ ඒ සියල්ල දේශපාලනීකරණය වීමය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන වකවානුව වන විට ඉන්දියාව ඇතුඵ ආසන්න රාජ්‍යන්ටද නිදහස ලැබිණි. එම රටවලටද යුද්ධ මෙන්ම දේශපාලනික අර්බුදවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවිණි. මේ අතුරින් ඉන්දියාව ඔවුනට අනන්‍ය වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර ගත් අතර ඒ සඳහා වූ පර්යේෂණ සඳහා ඔවුන්ගේ මූලිකත්වය ලැබිණි. ඒ හේතුවෙන් විශාල ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබිණි. ලංකාවට වඩා ඉතාම දුක්ඛිත ප්‍රදේශ අදද ඉන්දියාව, පකිස්තානය වැනි රටවල දක්නට ලැබෙන නමුත් එම රටවල් ඉහළ සංවර්ධනයන් අත්පත් කැර ගැනීමට සමත් වී තිබේ.

දේශිය ආයෝජකයන් මෙන්ම විදේශීය ආයෝජකයන් ඉන්දියාවට පැමිණීමට එරට ප්‍රතිපත්තිය වඩාත් වැදගත් විය. සුසුකි සමාගමට ඉන්දියාවට පැමිණ දේශීය ව්‍යාපාරිකයකු සමඟ ආයෝජනය කිරීමට ඔවුන් ලබා දුන් අවස්ථාව හේතුවෙන් සුසුකි මරුටි සමාගම නිර්මාණය විය. ඒ හරහා දේශීය නිෂ්පාදනයන්ට, මෙන්ම දේශීය වෙළෙඳපොළට ඉන්දියාව තුළ ඉහළ ස්ථානයක් සැකසිණි. හීරෝ හොණ්ඩා සමාගමද එලෙස බිහි වු සමාගමකි.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව නිදහසින් පසු මෙරටට හිමිවුණු වටිනාම ක්ෂේත්‍ර දෙක ලෙස පෙන්වා දිය හැක. මෙතෙක් බිහි වූ කිසිදු ආණ්ඩුවක් එය වෙනස් කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු නොකළේය. බොහෝ ආණ්ඩු උත්සාහ කළේ එම ක්ෂේත්‍ර සඳහා වඩ වඩාත් අවධානය යොමු කිරීමටය. එය පසැසුමට ලක්විය යුතුය. මානව සම්පත් දර්ශක අතුරින් ඉදිරියට යෑමට මෙය පිටුවහළක් විය. මේ අංශ දෙක තුළින් ලොව දියුණු රාජ්‍යයන්ගේ මට්ටමට පැමිණීමට අද වන විට අපට හැකි වී තිබේ. රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යාමට මෙය ඉහළ ශක්තියක් වේ. එහෙත් අප එහි ප්‍රයෝජන නිසි අයුරින් මෙතෙක් ලබාගෙන නොමැත. මෙම ක්ෂේත්‍ර තවදුරටත් ඉදිරියට ගෙන ආ යුතු අතර ඒ සඳහා ජාතික ප්‍රතිපත්තිවල අවශ්‍යතාව වඩාත් දැනේ.

නිදහස ලබන වකවානුව වන විට ලංකාවේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වනු ලැබුවේ කෘෂිකර්මාන්තයයි. නමුත් විවිධ වකවානුවල මෙහි යම් කඩා වැටීම් සිදුවුවද නිදහසින් පසු රට සහලින් ස්වයංපෝෂිතවිම විශාල ජයග්‍රහණයකි. හතළිහ දශකය වන විට බුරුමය වැනි රාජ්‍යයන්ගෙන් මෙරටට විශාල ලෙස සහල් අනයනය කෙරිණි. එහෙත් අද වන විටත් මෙරට ආහාර අපනයනය සඳහා විශාල මුදලක් වැය කරමින් සිටී. මේ නිසා කෘෂිකාර්මික පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුය.

නිදහසින් දශක හතකට වඩා ගෙවී ගොස් තිබේ. එහෙත් අප රටක් ලෙස බොහෝ කටයුතු සඳහා නව දැනුම ලබාගැනීම පවතින්නේ අවම මට්ටමකිනි. විශේෂයෙන් රට ගොඩනැංවීමට තරුණ පරපුරේ ජවය වැඩි වශයෙන් යොදා ගත යුතුය. නිදහස් අධ්‍යාපනය පවතින රටක මෙම දැනුම ලබා ගත යුතුය. වසර හතළිහකට පෙර පරිපාලන, දේශපාලන ආදී ක්ෂේත්‍රවලට පැමිණි පිරිස් ගනු ලබන තීන්දු තීරණ මතය අදටත් අපේ රටෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ, වසර තිහකට පෙර ඔවුන් ලබා ගත් දැනුම තුළිනි. ඒ තුළ අප වසර කීයකින් පසුපසු සිටින්නේද යන ප්‍රශ්නය පැන නඟී.

ත්‍රස්තවාදයේ නිමාවත් සමඟ නිදහස පිළිබඳ වැඩි කතාබහක් ඇති විය. සියල්ල ශ්‍රී ලාංකිකයන් යන හැඟීම ඉන් ඉස්මතු විණි. එම නිදහස් පරිසරය එවක නිර්මාණය වූයේ වසර හැත්තෑවකින් වසර තිහක් අපට නොමැතිවව තිබියදීය. එම පරිසරය අර්ථාන්විත කිරීම එදාටත් වඩා අද කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

 

සටහන -ඉන්දික පොල්කොටුව


නව අදහස දක්වන්න