අලි-මිනිස් ගැටුමට විසඳුම සහජීවනය | දිනමිණ

අලි-මිනිස් ගැටුමට විසඳුම සහජීවනය

ආචාර්ය පෘථවිරාජ් ප්‍රනාන්දු
සභාපති - සංරක්ෂණ පර්යේෂණ සංවිධානය

වන අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සමීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු කරන සංරක්ෂණ පර්යේෂණ සංවිධානයේ සභාපති ආචාර්ය පෘථවිරාජ් ප්‍රනාන්දු මහතා එහා ඉවුරට එක්වේ.

* ඔබේ දැක්ම අනුව අලි-මිනිස් ගැටුම යනු සරලව කුමක්ද?

වන අලින් මඟින් මිනිසුන්ට හා මිනිසුන් වෙතින් වන අලි ප්‍රජාවට සිදුවන අහිතකර බලපෑම අලි-මිනිස් ගැටුම් ලෙස සඳහන් කළ හැකියි. මිනිසාට එල්ලවන බලපෑම් වන්නේ කෘෂි භෝග හානිය, දේපළ හානිය, මිනිසුන්ට ශාරීරික ආබාධ සිදුකිරීම හෝ මරණයට පත්කිරීම ඇතුළු මානසික පීඩා ඇතිකිරීම. වන අලින්ට එල්ල වන බලපෑම් වශයෙන් ඔවුන්ට ශාරීරික ආබාධ සිදුකිරීම, ඝාතනය වීම, බියට පත්කිරීම, හිංසනයකට ලක්වීම, තම පාරම්පරික වාස භූමි අහිමි වී යාම සහ නිරාහාරව මියයාමට සිදුවීම දැක්විය හැකියි. වන අලින්ට එල්ලවන බලපෑම් බොහොමයක් සිදුවන්නේ අලි-මිනිස් ගැටුම් පාලනය කිරිම සඳහා යොදාගන්නා විවිධ ක්‍රමවේදයන් හේතුවෙන් බවත් පැවසිය යුතුයි.

* මෙරට අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා රජය විසින් ගනු ලබන පියවර පිළිබඳව ඔබගේ දැක්ම කුමක්ද?

වනජීවි දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට රටපුරා ඉදිකර ඇති ආරක්ෂක විදුලි වැට කි.මි.4349ක්. ඊට අමතරව අලුතින් විදුලි වැට කි.මි. 2651ක් ඉදිකිරිමට යෝජිතයි. එමඟින් වන අලින්ගේ මුලු වාසභූමි වලින් 30%ක් (මිනිසුන් භාවිතා නොකරන ප්‍රදේශ) විදුලි වැට මඟින් ආවරණය කොට අලි-ඇතුන් සඳහා වෙන් කිරිමට මෙම වැඩපිළවෙළ යටතේ සැලසුම් කෙරෙනවා.

මිනිසුන් භාවිතා කරන සියලු ප්‍රදේශවලින් වන අලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතයි. එමෙන් ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් 5000ක් බඳවාගෙන ඔවුන්ට නවීන ගිනි අවි ලබාදී විදුලි වැට කි.මි. 7000ක පමණ ප්‍රමාණය අලින් විසින් බිඳදැමිම වැළැක්වීම සඳහා යෙදවීමට යෝජනා කොට තිබෙනවා.

එයට සමගාමීව විදුලි වැටට පිටින් ජීවත්වන අලි මෙල්ල කොට අලි රැඳවුම් මධ්‍යස්ථානවල ජීවිතාන්තය තෙක් සිර කිරීමත් එක් උපාය මාර්ගයක්. ඊට අමතරව විදුලි වැටවලින් අභ්‍යන්තරව රක්ෂිත ප්‍රදේශවල වන අලින්ට ආහාර සඳහා අක්කර 15,000ක තෘණ වගා කිරීමත් රජයේ වැඩපිළිවෙළට අයත්. මෙම වැඩපිළිවෙළ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල හා අලි ඇතුන් සංරක්ෂණය ඇතුළු කළමනාකරණය පිළිබඳව දැනුමට පටහැනි ක්‍රමවේදයක්. එය සාර්ථක කරගැනීමට නම් වන අලි 4000කට වැඩි පිරිසකට තම ජිවිතවලින් වන්දි ගෙවීමට පවා සිදුවෙනවා. විශාල වශයෙන් අලි-මිනිස් ගැටුම් ඉහළ යාමට එය තුඩු දෙනවා. ශ්‍රී ලංකාවට සත්ව සුබසාධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් අපකීර්තියක් ලැබීමටත් යෝජිත වැඩපිළිවෙළ ඉවහල් වෙන බව කිවයුතුයි.

* අලි මිනිස් ගැටුම් ඇතිවීමට හේතු පැහැදිලි කළොත්?

අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව අලි-ඇතුන් ජිවත්වන ප්‍රදේශවල සිදුවන කඩිනම් කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනය. අලි ඇතුන්ට ආවේණික වූ සමාජීය සංවිධාන ක්‍රමයක් තිබෙනවා. ගැහැනු සතුන් හා පැටවුන් රංචු වශයෙන් ජීවත්වන අතර පිරිමි අලි වැඩිවියට පත්වීමත් සමඟ රංචුව හැරගොස් තනි අලි වශයෙන් හුදකලා ජීවිතයක් ගතකරනවා. අලි-මිනිස් ගැටුම් වැඩි ප්‍රමාණයකට පාදක වන්නේ මෙවැනි තනි අලින්ගේ ගැටුම්කාරි ක්‍රියා බව පැහැදිලි වී තිබෙනවා.

* වනජීවි අමාත්‍යාංශයේ යෝජිත නව සැලසුමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ ගැන ඔබගේ දැක්ම පැහැදිලි කරන්න.

වර්තමානයේ මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 44% ප්‍රදේශයක, ඒ කියන්නේ වන අලින්ගේ මුළු වාසභූමි වලින් 70%ක අලි-ඇතුන් සහ මිනිසුන් එක්ව ජීවත් වෙනවා. ශ්‍රි ලංකාවේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සිදු නොවන වන හා වනජීවි රක්ෂිත ඇත්තේ 18%ක්. (අලින්ගේ මුළු වාසභූමි වලින් 30% පමණයි). උක්ත සැලැස්ම සාර්ථක වීමට නම් මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 44%ක වපසරියක තම පාරම්පරික වාසභූමි පවත්වාගෙන යන වන අලි ඉන් පලවා හැර මිනිස් ක්‍රියාකාරකම් අවම 18%ක රක්ෂිත භූමි ප්‍රදේශයට ගාල් කළ යුතු යි. එනම් අලි-ඇතුන් 4000ක් පමණ ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් පිටතට පන්නා දැමීමයි. මෙම වන සහ වනජීවි රක්ෂිත වශයෙන් පවතින 18%ක භූමි භාගය පරිභෝජනය කරන වෙනම වනඅලි ගහනයක් ද සිටින බව අමතක නොකළ යුතුයි.

* මෙරට ගම් නියම්ගම් තුළ අලි පලවා හැරීමේ මෙහෙයුම් දියත් කෙරෙනවා. ඒ පිළිබඳව කතා කළොත්?

අලි පලවා හැරීම යනු මිනිසුන් සිය ගණනක් අලි ඇතුන් ජිවත්වන වනාන්තර ආසන්නයට ගොස් ඔවුන් ඉදිරියේ නානාප්‍රකාර කලබල ඇතිකොට එම සතුන්ට හිංසා කරමින් වනජීවි රක්ෂිත තුළට පලවා හැරීමයි. මෙම සංසිද්ධියේ දී කෑගැසීම්, විවිධ ශබ්ද ඇතිකිරීම, සතුන් බියපත් කිරීම, සියදහස් ගණනින් අලි වෙඩි පුපුරවා හැරීම ඇතැම් විට සජීවි උණ්ඩ යොදාගෙන වන අලින්ට වෙඩි තැබීම කෙරෙනවා.

මෙවැනි වන අලි පලවා හැරිම්වලදි අලි රංචු පෙරලා පැමිණීම වළක්වාලීමටත්, ඔවුන්ට අවශ්‍ය ජල පහසුකම් සලසා ගැනීමට නොහැකි වන අන්දමට වනාන්තරය තුළ හා ජල ප්‍රභව වටා විදුලි වැට ඉදිකිරීම සිදු කෙරෙනවා. වසර 75ක් තිස්සේ මෙම ආකෘතියේ අලි පලවාහැරිම් තුළින් අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට වන සංරක්ෂණ බලධාරින් ගත් සියලු ප්‍රයත්නයන් සම්පූර්ණයෙන් ම අසාර්ථක වී තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව ගැටුම් ඇති කරන පිරිමි අලින් මෙම මෙහෙයුම් මඟින් ඉවත් කිරීම දුෂ්කර වීමයි. ඉවත් කෙරෙන්නේ බොහෝ විට අලි-මිනිස් ගැටුමට සෘජුව දායක නොවන පැටවුන් හා ගැහැනු සතුන්ගෙන් සමන්විත සාහසික නොවන අලි රංචු පමණයි. පසුගිය දශක 7ක පමණ කාලයක් තුළ වන අලි ඇතුන් වනජීවි රක්ෂිත තුළට ගාල් කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දැරූ සියලු උත්සාහ අසාර්ථක වී ඇති බව දැනටත් මෙරට අලි ගහණයෙන් 70%ක් වනජීවි රක්ෂිතවලින් පිටත දිවි ගෙවීමෙන් පැහැදිලි වෙනවා. දිගින් දිගටම අලි පලවා හැරීම් කළත් අලි-ඇතුන්ගෙන් සහමුලින්ම තොර වූ එකම ප්‍රදේශයක්වත් අපේ රටේ නැහැ.

* අලි පලවාහැරිම් තුළින් අලි-මිනිස් ගැටුම අවම කළ හැකිද? ඔබ ඒ පිළිබඳව දක්වන අදහස්

අලි පලවා හැරිම මඟින් ඉවත් කළ හැක්කේ යම් ප්‍රදේශයක දිවි ගෙවන වන අලින්ගෙන් සුළු පිරිසක් වුවත් එම ක්‍රියාවලියේ දී කලාපයේ සියලුම අලි ඇතුන් මිනිසා විසින් එල්ල කරන පීඩාවන්ට හා හිරිහැරවලට සෘජුව හෝ වක්‍රව ගොදුරු වන බැවින් පලවාහැරීම් කිරීමෙන් පසු අදාළ ප්‍රදේශ තුළ ඉතිරි වන වනඅලි මිනිසුන් කෙරෙහි වඩාත් ප්‍රචණ්ඩ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නිසා අලි-මිනිස් ගැටුම් වර්ධනය වෙනවා. මෙම පලවාහැරීම් නිසා ප්‍රශ්න ඇති නොකරන අලින් පවා ප්‍රශ්නකාරි සතුන් බවටත්, ප්‍රශ්නකාරී වන අලි මිනීමරු හෝ ප්‍රචණ්ඩකාරි වන අලින් බවටත් විකාශය වෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ අලි-මිනිස් ගැටුම් වැඩිපුරම වාර්තා වන රට බවට පත්වීමට මෙම අසාර්ථක අලි පලවා හැරීමේ මෙහෙයුම් හේතුවක්.

* අලි රක්ෂිත තුළට පලවා හැරීමෙන් අලි ඇතුන් ඝාතනය වන බවට මතයක් තිබෙනවා නේද?

ගැහැනු සතුන් හා පැටවුන්ගෙන් සමන්විත අලි රංචු සාමාන්‍යයෙන් භෝග හානි කිරිම, ගම් ආක්‍රමණය කිරීම, මිනිසුන් මරා දැමීම හෝ ආබාධිතයන් බවට පත්කිරිම නොකරන නිසා ඔවුන් අලි-මිනිස් ගැටුමට දායක වන්නේ ඉතාමත් අල්ප වශයෙන්. මෙසේ පලවා හැරෙන අලි ඇතුන් ගාල් කරනු ලබන වනජීවි රක්ෂිත තුළ ස්ථිරවම ජිවත්වන තවත් අලි ගහණයක් සිටිනවා. පිටතින් ඇතුළු කරනු ලබන අලි රංචු ඔවුන්ට එක්වීම නිසා සමස්ත වන අලි ප්‍රජාවට රක්ෂිතය තුළ ආහාර හිඟයක් ඇතිවීමෙන් කුසගින්නේ මිය යා හැකියි. මෙම අවාසනාවන්ත තත්ත්වය පසුගිය දිනවල ලුණුගම්විල හා තම්බෝව වැනි වනජීවි රක්ෂිතවලින් වාර්තා වී තිබීම උදාහරණයක්.

* රජයේ නව සැලැස්මට වන අලින්ට වන ගහණය තුළ ආහාර සුලබ කිරීමේ වැඩපිළිවෙළක් අයත් වෙනවා. තෘණ වැවීම එක් පියවරක්. එය සාර්ථක වෙයිද?

වනජීවි රක්ෂිත තුළට ගාල් කෙරෙන සම්පූර්ණ අලි ගහණයේ කුස පිරවීම සඳහා අමාත්‍යාංශයේ සැලැස්ම වන්නේ අක්කර 15,000ක තණ වගා කිරීම. මීට පෙරත් උඩවලව සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යාන තුළ මෙම ක්‍රමය අත්හදා බැලූවත් සාර්ථක වී නැහැ. කෙසේ හෝ අක්කර 15,000ක තණ වගා කළත් එය සෑහෙන්නේ අලි ඇතුන් 150ක පමණ සංඛ්‍යාවකට පමණයි. මෙම සැලැස්ම සාර්ථක වීමට නම් අතිරේකව වන අලි 4000කට වැඩි ප්‍රමාණයක් රක්ෂිත වලට ගාල් කළ යුතු බැවින් 150කට සෑහෙන ආහාර මත සතුන් 4000කට යැපීමට සිදුවෙනවා. එය අසාර්ථක වන බව එමඟින් පැහැදිලියි.

* දරුණු යැයි සම්මත වන අලි පුනරුත්ථාපනය කෙරෙන අලි රැඳවුම් මධ්‍යස්ථාන ගැන ඔබේ අදහස?

උදාහරණයක් ගතහොත් අනුරාධපුර හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ගත හැකියි. මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම අසාර්ථක බව දෙපාර්තමේන්තුවේ නිලධාරින් ම පවසනවා. නිල සංඛ්‍යා ලේඛණ අනුව මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ කොටුකර ඇති වන අලි සංඛ්‍යාව 36ක්. නොනිල වාර්තා අනුව එය 60 කට වැඩියි. මේ වන විට ඉතිරිව සිටින්නේ අලි-ඇතුන් කිහිප දෙනෙක් පමණයි.

ඔවුන් ද දුර්වල තත්ත්වයක පසුවන බව වාර්තා වෙනවා. අලි විශාල පිරිසක් කුසගින්සේ මියගොස් ඇති බවට සැක කරන අතර සෙසු සතුන් පලාගොස් ඇතැයි ද වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ තනි අලියකුගේ වාසභූමිය කි.මි. 50-600ක් අතර ප්‍රදේශයකට පැතිරෙන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් සනාථ වෙනවා.

නමුත් මුලින් සඳහන් කළ හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සම්පූර්ණ වපසරිය වර්ග කිලෝමීටර් 20ක් පමණයි. ඒ සීමිත අවකාශය තුළට වන අලි සිය දෙනෙක් ඇතුළු කිරීමට සැලසුම් කර තිබෙන බව දැනගැනීමට ලැබෙනවා. ඇත්ත වශයෙන් ම මෙම අලි රැඳවුම් මධ්‍යස්ථාන යනු අලි-ඇතුන් සඳහා වන එළිමහන් සිර කඳවුරු විශේෂයක් පමණයි. මෙම ගාල් කිරීම නිසා සතුන්ගේ ජාන සම්පත් මතු පරපුර බෝ කිරීම සඳහා යොදාගැනීමට අවස්ථාව අහිමි වෙනවා. එම සතුන් මඟින් සිදු කෙරෙන පරිසර විද්‍යාත්මක සේවාවන් අහිමි වී යනවා. සංරක්ෂණ කෝණයෙන් බලන කල මෙම සිරකිරීමේ හා වෙඩි තබා මරාදැමීමේ සිදුවීම් අතර වෙනසක් නැහැ.

* වන අලි සංරක්ෂණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවාද?

අලි-ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් ඉවත් කිරීමට තැත් කිරිම නිසා අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වී තිබෙනවා. වනජීවි අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විද්වතුන් හා වෘත්තිකයින් එක්ව 2006 වසරේ දී අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ලැබුවා.

වන අලින් පාරම්පරික වාසභූමි වලින් පන්නා දැමීම වෙනුවට ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කරමින් වන අලින්ට සහ මිනිසුන්ට සහජීවනයෙන් ජිවත් විය හැකි ආකෘතියක් මෙම ප්‍රතිපත්තියට අඩංගුයි. මෙයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබුණා. 2017 දී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූලිකව මෙය සංශෝධනයට ලක් වූණා.

සංශෝධිත ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණාදැයි වාර්තා වී නැහැ. කෙසේ වෙතත් වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය මඟින් මේ වන විට ඉදිරිපත් වී ඇති ගැටුම් වළක්වාලීමේ වැඩපිළිවෙළ එම ජාතික ප්‍රතිපත්තියට එකඟ නොවන බව කිවයුතුයි. මෙම විනාශකාරි ව්‍යාපෘතිය දියත් කළහොත් අලි-මිනිස් ගැටුම් තවත් උග්‍ර වී බරපතළ ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා.

* අලි-මිනිස් සහජීවනය යථාර්ථයක් බවට පත්කළ හැකිද?

අපේ රටේ ජනතාව වසර දහස් ගණනක සිට අලි ඇතුන් හා සහජීවනයෙන් දිවි ගෙවා තිබෙනවා. ප්‍රජා මූල විදුලි වැට ඉදිකිරිම මඟින් වන අලින් ගම්මාන වෙත හා කුඹුරු වෙත පැමිණීම වැළැක්විය හැකියි.

අලි ඇතුන්ට GPS චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පැලඳවීම මඟින් ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳව අඛණ්ඩව දත්ත ලබාගත යුතුයි. සංවර්ධන සැලසුම් සැකසීමේ දී වන අලින්ගේ වාසභූමි හා සංචරණ රටාවන් සැලකිල්ලට ගතයුතු අතර වනඅලින් සහ ඇතුන්ගෙන් සංවර්ධන කටයුතුවලට හා සංවර්ධන කටයුතු වලින් අලින්ට එල්ල වන සෘණාත්මක බලපෑම අවම කිරීම අත්‍යවශ්‍යයි.

මෙම සහජීවන ආකෘතියට අදාළව ගම්මාන වට කොට ස්ථිර විදුලි වැට හා කුඹුරු යායවල් වටා කාලීන විදුලි වැට ඉදිකිරිම වයඹ, නැගෙනහිර හා දකුණු පළාත් තුළ නියමු ව්‍යාපෘතියක් වශයෙන් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මේ වන විට ගම්මාන වටා ස්ථිර විදුලි වැට 36ක් හා වගා බිම් වටකොට කාලීන විදුලි වැට 25 ක් ඉදිකර තිබෙනවා. මෙම ආරක්ෂිත විදුලි වැටවල් ප්‍රදේශවාසී ප්‍රජාව විසින් ඉතා කාර්යක්ෂමව නඩත්තු කරමින් සාර්ථක දිවි පෙවතක් ගතකරන බව පෙන්වා දිය යුතුයි.

සටහන සහ ඡායාරූප
නිමල් විජේසිංහ
අනුරාධපුර දිස්ත්‍රික් සමූහ

අදහස් 1ක් ඇත

වටිනා අදහසක්! මකුලු දැලක් කඩනවා වගේ අලින් විසින් කඩන දැනට තිබෙන විදුලි වැට ක්‍රමයේ(structure ) වෙනසක් අවශ්‍ය බව, විදුලි වැටවල් පිලිබඳව තව දුරටත් විශ්වාසය තබා ගෙන සිටින කොයි කාටත් කියා දෙන්න.

නව අදහස දක්වන්න