රට හදන කතාවක්! | දිනමිණ


 

රට හදන කතාවක්!

හැත්තෑඑක්වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස පැවැත්වූ අතර එහිදී ජනාධිපතිවරයා කළ විශේෂ දේශනය කාගේත් අවධානයට ලක් වී ඇත. මේ‍ දේශනය අනාගත ශ්‍රී ලංකාව සැලැසුම් කිරීමට අදාළ මාර්ගෝපදේශයක් සේ සැලැකිය හැකි ය. රට මුහුණදෙන අභියෝග මෙන් ම ඒවාට විසැඳුම් සොයාගත යුතු ආකාරයත් විවෘත ලෙස පෙන්වාදෙන්නට ජනාධිපතිවරයා කටයුතු කළේය. අප ලැබූ ජයග්‍රහණ සේම අප ලැබූ පරාජයන් ද නොපැකිලව පෙන්වාදෙන්නට මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සුක විය. එක අතෙකින් බලනවිට එය ස්වයං විවේචනයක් ලෙස ද ගත හැකි ය. නායකයන් මෙලෙස ඍජු හා විවෘත උපදේශන සැපයීම අලුත් වෙනසක් ලෙස පෙන්වාදිය හැකිය.

නිදහස යන සංකල්පය ඉතා සංකීර්ණ බවත්; එය දේශපාලන නිදහසේ සිට මුහුණු පොත භාවිතයේ නිදහස තෙක් පුළුල් වී ඇති බවත් අප වටහාගත යුතුය. ජනාධිපතිවරයා පෙන්වාදෙන ලෙස නිදහසට තනි නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැකි ය. එය හොඳින් වටහාගත යුතු සාධකයකි. ජනතාව අපේක්ෂා කරන පුළුල් නිදහස ලබාදිය යුතුය යන්න ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි වෙයි. නිදහස ලැබීම ජයග්‍රහණයක් වන්නා සේම; අර්ථවත් ලෙස එය භාවිත කිරීමට ද සමාජය පුහුණු විය යුතුය. අප නිදහස ඉල්ලා සිටිය යුත්තේ ද නිදහස භාවිත කළ යුත්තේ ද විදේශීය දර්ශනවලට හෝ විදේශීය බලපෑම්වලට නතුව නොවේ. යටත්විජිතවාදය අද වෙනත් මුහුණුවරකින් අප කරා පැමිණ ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

රට මුහුණදෙන බලවත් ම අභියෝගය කුමක් ද? එය ආර්ථික අභියෝගය ලෙසින් හෝ ආර්ථික යුද්ධය ලෙසින් හෝ නිසැක ලෙසම පෙන්වාදිය හැකි ය. සෑම ආණ්ඩුවක්ම බලයට පත්වන්නේ ආර්ථික සිහින පෙන්වමින් ය. එහෙත් එම සිහින යථාර්ථයක් බවට පෙරැළෙන්නේ කලාතුරෙකින් ය. දේශපාලනය, කල්ලිවාද, ආගම්වාද, මහාජාතිවාද, ප්‍රදේශවාද පමණක් නොව; කුලවාද පවා දේශපාලනය ඔස්සේ සංවර්ධනයට රිංගාගෙන ඇත. ජනාධිපතිවරයා මෙය හැඳින්වූයේ බඩගෝස්තරවාදී දේශපාලනයක් හැටියට ය. ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමට නම්; මේවා වෙනස් කළ යුතුය. කොටින් ම රාජ්‍ය නායකයන්ගේ ඉලක්කය විය යුත්තේ රටේ දුක්විඳින ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීමය.

රට ගමන් කරමින් සිටින්නේ කොතැනකට ද? අපේ රාජ්‍ය සේවයේ නියුතු මුළු පිරිස ලක්ෂ දහසය ඉක්මවා සිටිති. රාජ්‍ය සේවය තවදුරටත් විස්තාරණය වෙමින් ද පවතී. එහෙත් එහි කාර්යක්ෂමතාව 30%ක් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. රටට වැදගත් රාජ්‍ය සේවයක් පවත්වාගැනීමට නම්; එහි කාර්යක්ෂමතාව 70% ඉක්මවා සිටිය යුතුය. අප එබඳු දියුණුවක් අත්පත්කරගන්නේ කෙසේ ද? අවධානය යොමුවිය යුත්තේ ඒ දෙසට ය. මැලේසියාව රාජ්‍ය සේවයේ කීර්තිමත් නාමයක් රඳවාගෙන ඇති රාජ්‍යයෙකි. එහෙත් 1950 ගණන් වනවිට ද එම සේවය පැවැතියේ අතිශය දුර්වල හා දූෂිත තැනක ය. අපේ රාජ්‍ය සේවය ගොඩනැඟිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ලෝකයේ අනාගත ආර්ථිකය ගැන පුරෝකථන සපයන ආර්ථික විශේෂඥයන් එය හඳුන්වා ඇත්තේ ආසියාවේ සියවස යනුවෙන් ය. වෙළෙඳ පොළ, මානව සම්පත හා නිෂ්පාදනය මේ කෙරෙහි බලපා ඇති බව පැහැදිලි ය. චීනය, ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව හා තවත් රටවල් ගණනාවක් මේ වනවිටත් සිය ආර්ථික ස්ථාවර කරගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළ ඔවුන් සඳහා විවෘතව තිබේ. ආසියාවේ සමස්ත ආර්ථිකය වෘද්ධියට සාපේක්ෂව ශ්‍රී ලංකාව ආර්ථික ජයග්‍රහණ ලබාගෙන නැති බව පැහැදිලිය. අපේ පළාත් සභා සඳහා වෙන් කරන මුළු මුදලින් සංවර්ධනය සඳහා යෙදවෙන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි. ඉතිරි 85%ක මුදල පුනරාවර්තන වියදම් ලෙස සැලකේ.

නූතන ලෝකය හරිත ආර්ථිකයක් ගැන ද, ඩිජිටල් ආර්ථිකයක් ගැන ද, සාගර ආර්ථිකයක් ගැන ද කතා කරති. විසිඑක්වන සියවසේ අගභාගයේ ජීවත්වන අපට පරණ උපායමාර්ග හා පරණ විසැඳුම් ගැළපෙන්නේ නැත. ගෝලීයකරණය නම් අභියෝගය ද අප ජයගත යුතුව තිබේ. ගෝලීයකරණය යනු බලවත් රටවල් ලෝක ආර්ථිකය හසුරවන ආකාරය බව සමහරු කියති. ගෝලීයකරණය යනු නව යටත්විජිතවාදයේ තවත් පියවරක් බව තව සමහරු පෙන්වාදෙති. ගෝලීයකරණය යනු අන් කිසිවක් නොව; අමෙරිකන් බලපෑම යැයි තවත් පිරිසක් තර්ක කරති. කුමක් වුව මෙය හඳුනාගැනීම සේම ඊට උපායමාර්ගිකව මුහුණදීම ද වැදගත් ය. එසේ නොකර ආර්ථික වශයෙන් ඉදිරියට යෑමේ හැකියාවක් නැත. මෙහිදී ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගත හැකි ය.

ජනාධිපතිවරයා සිය දේශනයේදී විශේෂයෙන් පෙන්වා දුන්නේ ජාතික සමගිය හා සංහිඳියාව නැතිව මේ කිසිඳු අභියෝගයක් ජයගත නොහැකි බවය. දිර්ඝ කාලයකට පසු උතුරේ ජනතාව පසුගිය වසර හතර තුළ නිදහස් ජීවිතයක් ගත කළ බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ය. උතුරේ ජනතාවගේ ප්‍රතිචාරවලින් ද ඒ බව සනාථ වී තිබිණි. සංහිඳියා ක්‍රියාමාර්ග ගෙවී ගිය වසර කිහිපය තුළ හොඳින් ක්‍රියාත්මක විය. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ශක්තිමත් කිරීම අතින් ගෙවී ගිය වසර හතර හොඳම ප්‍රතිඵල ලබාගෙන ඇතැ’යි සහතික ලෙසින් පෙන්වාදිය හැකි ය. එහෙත් සමහරු සංහිඳියාව විහිළුවකට ගෙන කටයුතු කරති. රාජ්‍ය නායකයා ඒ බව ද පෙන්වාදුන්නේ ය.

ජනාධිපතිවරයා සිය දේශනයෙන් පෙන්වාදුන් වැදගත්ම කාරණය වන්නේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහා ම ඇති කළ යුතුය යන්න ය. ජාතීන් අතර සමගියට හා සංහිඳියාවට අදාළ බලය බෙදීමේ දේශපාලන විසැඳුම ගැන සංවාදය ඇත්තේ දීර්ඝ කාලයක සිට ය. එහෙත් ඊට ස්ථාවර විසැඳුමක් හෝ විසැඳුම වෙත ළඟා‍වන උපායමාර්ගයක් හෝ තවම නැත. වේගවත් ආර්ථිකයකට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා වහා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. මුළුමනින්ම ගත්කල මේ කතාව අපේ සියලුම දේශපාලකයන්ට ඉතා වැදගත් ය. ඔවුන් මේ කතාවේ හරය සොයා යා යුතුය. රටේ බුද්ධිමතුන්ට මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ට ද ජනාධිපතිවරයාගේ දේශනයෙන් බොහෝ දේවල් උගත හැකිය.

නව අදහස දක්වන්න