මාස 6ක් තිස්සේ හොඳම කණ්ඩායම අපට තෝරා ගන්න බැරි වෙලා | දිනමිණ

මාස 6ක් තිස්සේ හොඳම කණ්ඩායම අපට තෝරා ගන්න බැරි වෙලා

දිනේෂ් චන්දිමාල්

පසුගිය මාස 6ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් පිලේ හොඳම කණ්ඩායම තෝරාගැනීමට නොහැකිව සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 366ක දැවැන්ත පරාජයක් අත්විඳීමෙන් පසුව චන්දිමාල් මේ බව කියා සිටියේය.

‘කණ්ඩායමක් හැටියට අපි හැම අතින්ම අසාර්ථකයි. සියළු ගෞරවය ඔස්ට්‍රේලියාවට හිමිවිය යුතුයි. ඔවුන් තරගාවලිය පුරාම විශිෂ්ඨ ක්‍රීඩාවක නිරතවුණා. ඒ නිසා මේ ජයග්‍රහණය ඔවුන්ට අයිතියි. ඒක සැබැවින්ම අසීරු තරගාවලියක්. විශේෂයෙන් පසුගිය මාස 6ක පමණ කාලයක් තිස්සේ නිවැරැදි සංයෝගයකින් යුතු හොඳම කණ්ඩායම තෝරාගැනීමට අපිට නොහැකිවී තිබෙනවා. ඒක අපේ අවධානය යොමු විය යුතු කරුණක්. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක දෝතින්ම පිළිගත යුතුයි. අපි තරුණ කණ්ඩායමක්. නිතරම ඉගෙන ගන්නවා කොහොමද ක්‍රීඩා කළ යුතු වන්නේ කියලා. විශේෂයෙන් දුෂ්කර අවස්ථාවලදී. දකුණු අප්‍රිකාවේදී අපිට නැවත හිස ඔසවා ගැනීමට හැකිවේවි. ‘ චන්දිමාල් කීවේය.

‘දකුණු අප්‍රිකාවත් ඉතා හොඳ පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක්. අපේ තරුණ කණ්ඩායමේ ටෙස්ට් තරග 30කට වඩා ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් සිටිනවා. ඒ නිසා කණ්ඩායම වෙනුවෙන් උපරිම අයුරින් ක්‍රීඩා කිරීමට ඔවුන්ට දැන් කාලය එළැඹ තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ලැබුණු සුභවාදී කරුණ වෙන්නේ ස්ලිප් ස්ථානයේ උඩපන්දු රැකීමේදී දැක්වූ දක්ෂතාව පමණයි. දුර්වලතා ගැන කතා කරන්න මම කැමැති නෑ. අපි හැමෝම දන්නවා කොතැනද අපිට වැරදුණේ කියලා. චන්දිමාල් වැඩි දුරටත් කීවේය.

 

නව අදහස දක්වන්න