‘ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ’ එළිදක්වයි | දිනමිණ

‘ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ’ එළිදක්වයි

මහින්ද අලුත්ගෙදර

නෛතික නිදහසින් වසර 71 කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසකට පිවිසෙනු වස් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීමේ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විවෘත කෙරිණි.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් සංවිධානය කළ මෙය කොළඹ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් පරිශ්‍රයේ දී පැවැති අතර වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින්ම පිහිටුවන ලද ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ජාතික ප්‍රතිපත්ති පිළිබඳව වූ මහජන කොමිෂන් සභාව වෙත දින දහයක් පුරා ප්‍රාමාණික දැනුමත් සහිත පුද්ගලයන් 84 දෙනකු විසින් ලබාදුන් වාචික හා ලිඛිත අදහස් දැකවීම් සළකා බැලීමෙන් අනතුරුව සාරාංශයන්, මූලික නිර්දේශයන් අනුව මෙහි අතුරු වාර්තාවක් සම්පාදනය කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ජාතික ප්‍රතිපත්ති පිළිබඳව වූ මහජන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද වාර්තාව එහි සම සභාපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්තියක් නොමැති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබීමට පෙර ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙසට මේ රටේ විද්වතුන් පෙන්වාදී තිබේ. මේ දක්වා භාණ්ඩ වෙළඳාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන ඉන්දු - ලංකා, පාකිස්තාන - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම තුළින් අපේ රටට පාඩු සිදුවන බව පෙන්වාදෙන ඒ තුළින් රටවල් අතර තිබෙන වෙළෙඳ පරතරය විශාල වන බවද පෙන්වා දෙයි.

ඒ අනුව ලෝක වෙළෙඳ සංවිධානය නිර්දේශ කර තිබෙන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපනය කරන ලෙසට ඉල්ලුම්කර තිබෙන අතර මේ හේතුවෙන් ජාතික ප්‍රතිපත්තියකට තිබිය යුතු කරුණු සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ජාතික ප්‍රතිපත්ති පිළිබඳව වූ මහජන කොමිෂන් සභාව පිහිටුවා තිබේ. ඒ අනුව විශාල පිරිසක් මේ සඳහා තම අදහස් ඉදිරිපත් කර තිබෙන අතර එම කරුණු පදනම්කර ගනිමින් ජාතික ප්‍රතිපත්තියක තිබිය යුතු කේන්ද්‍රිය ලක්ෂණ එළිදක්වයි.

වෘත්තියකයන්ගේ ජාතික පෙරමුණ විද්වත් සංවිධාන රැසකින් සමන්විත වන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය, දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ එකමුතුව, ලංකා බැංකු සේවක සංගමය, ඉංජිනේරු සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, නිදහස් ඉදිකිරීම්කරුවන්ගේ සංගමය, වෘත්තීය ව්‍යවසායකයන්ගේ සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ආගමන විගමන නිලධාරී සංගමය ආදිය ඊට අයත් වෙයි.

එහිදී අදහස් දක්වමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දුන්නේ වෙළඳාම යන්න අපේ රටට කාලාන්තරයක් පුරා අයිති දෙයක්. අපනයනය මූලික කරගෙන වෙළඳාම කිරීම තුළ වටිනා දේ අපේ රටට ගෙන්වා ගත්තා. වටිනා දේ පමණක් රටට ගතයුතුයි. එදා වෙළඳාම කළේ අපේ අභිමානයෙන්. අභිමානය කඩන අවස්ථාවල අපේ රජවරු ගොස් යම්කිසි පාලනයක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වසර 2500ක ඉතිහාසයක් ඇති රටක්. යහපත් කර්මාන්තවල අපි යෙදුණා. නිවැරැදිව වෙළෙඳාමේ යෙදුණා. අද වනවිට නිදහසින් පසුව වසර 71ක් ගතවී තිබෙනවා. සංගම් 60ක් පමණ අපි සමඟ එක්ව කටයුතු කරනවා. විශාල පිරිසක් අත්වැල් බැදගෙන ඉන්නවා. හැම අවස්ථාවකම හරිදේ කළයුතුයි.

අද විවිධ රටවල් යටත්කර ගන්න ආර්ථිකය පාවිච්චි කරනවා. ආර්ථික ගිවිසුම් හරහා ආර්ථිකයට පමණක් නොව පරිසරයට ද හානි සිදුවෙනවා. මේ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. රටක් ජයග්‍රහණ කළයුත්තේ සුප්‍රසිද්ධ වෙළඳාමෙන් ද නැත්නම් වෙනත් ක්‍රමයකින් ද යන්න තීරණය කළයුතු වෙනවා. එදා රටේ තිරසාර බව දකින්න රජවරු 179 දෙනෙකු විසින් මේ රටේ වැව් පමණක් 36,000ක් පමණ ඉදිකර තිබෙනවා. අද මේ වැඩපිළිවෙළේ අරමුණ කුමක්ද. වෙළෙඳාම යනු ආර්ථික විද්‍යාව පමණක් නොවේ. අද රටතුළ ප්‍රධාන අඩුපාඩු දෙකක් දකිනවා. ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදය මෙන්ම ප්‍රතිපත්තියේ අන්තර්ගතය මෙහිදී වැදගත් වෙනවා යැයි පෙන්වා දුන්නේය.

ඇල්ලේ ගුණවංශ හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, උදය ගම්මන්පිල, විමල් වීරවංශ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න