ආහාර සුරක්ෂිතතාව අපට වැදගත් වන්නේ කෙසේද? | දිනමිණ

ආහාර සුරක්ෂිතතාව අපට වැදගත් වන්නේ කෙසේද?

ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

ආහාර සුරක්ෂිතතාව යනු සැමට ආහාර ලැබීම පිළිබඳ මිම්මකි. මෙහි සරල අදහස නම් ආහාර වගා කිරීමේ, නිපදවීමේ, සකස් කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්වා සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම තහවුරු කිරීමයි. එය මුලික මිනිස් අයිතිවාසිකමක් ද වේ. ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම අන් කවරදාකටත් වඩා වර්තමානයේ ඉස්මතු වෙමින් පවතී. ආහාර සුරක්ෂිතතාවය ලොව සෑම දෙනකුටම සෑම කලකදීම එක ලෙස වැදගත් වේ.

ආහාර සුරක්ෂිතතාව යනු

ඉහත කරුණු අනුව ආහාර සුරක්ෂිතතාව යනු අප පරිභෝජනයට ගන්නා ආහාර නිෂ්පාදනයේ පටන් පරිභෝජනය දක්වා කිසිම ආකාරයක විෂ වීමක් හෝ ආසාදනයකින් තොරව පිරිසිදුව, විෂබීජවලින් තොරව පවත්වා ගැනීමයි. අප ගන්නා ආහාර විෂවීමෙන් හෝ විෂබීජවලින් ආසාදනය වීමෙන් හෝ බැරලෝහ හෝ රසායනික ද්‍රව්‍ය විකිරණවලින් ආරක්ෂා කර පරිභෝජනය දක්වා අපිරිසිදුවීම වැළැක්වීම ආහාර සුරක්ෂිතතාවයේ වැදගත් පියවරකි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID)ට අනුව ආහාර සුරක්ෂිතතාවය යනු,

සෑම අවස්ථාවකදීම ඵලදායී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වන ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන ආහාර සඳහා භෞතික හා ආර්ථික ප්‍රවේශයක් පැවතිමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රධාන අංග තුනක් නිර්වචනය කරයි. එනම්,

• ආහාරය ලබා ගැනීමට ඇති හැකියාව,

ස්ථාවර පදනමක් මත ප්‍රමාණවත් ආහාර සැපයීම ලබා ගැනිමේ හැකියාව.

• ආහාර ප්‍රවේශය

පෝෂ්‍යදායී, සුදුසු ආහාර ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් තිබීම.

• ආහාර පරිභෝජනය හෝ පෝෂ්‍යදායී ආහාර ගැනීම.

මිනිසුන්ට සුදුසු වන ලෙස ආහාර පිළියෙල කිරිම. එහිදි මූලික පෝෂණය හා සුරක්ෂිතතාවය පිළිබඳ දැනුම මත පදනම්ව, ආහාර පිළියෙල කිරීම හා නිසි සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශයක් පැවතීම.

අපිරිසුදු වීම

ආහාර නිෂ්පාදනයේදී ගොවිපොළහිදී ද, ගොවිපොළ සිට ආහාර නිෂ්පාදිත ප්‍රදේශයට පරිවහනය කිරීමේදී ද ආහාර අපිරිසුදු විය හැකිය. ආහාර නිෂ්පාදනයේදී විශේෂයෙන් ගොවිපොළහිදී පොහොර භාවිතයෙන්ද අපිරිසිදු ජලය භාවිතයෙන්ද ආහාර, එළවළු , පලතුරු අපිරිසුදු විය හැකිය. එනම් අපිරිසුදු ජලය නිසා බැක්ටීරියා, වෛරස් මගින් ආහාර අපිරිසුදු විය හැකි බවයි. තවද කෘමිනාශක, පළිබෝධ නාශක ආදිය නිසාද , ඒවායේ පවතින ආසනික්, ලෙඩ්, කැඩ්මියම් සහ ක්‍රෝමියම් වැනි ජලයේ පවතින අපිරිසුදු ද්‍රව්‍ය වැනි බැරලෝහ නිසාද ආහාර අපිරිසිදු වීම සිදුවේ.

මේවා නිසා ආහාර විෂවීම හා ලෙඩරෝග සෑදීමට බෙහෙවින්ම ඉඩ ඇත. තවද ආහාර නිෂ්පාදනයේදි ආහාර කල්තබා ගැනීමට එක්කරන රසායනික ද්‍රව්‍ය preservatives හා රසකාරක (Additives) නිසා මේවා නියමිත මාත්‍රාවට වඩා වැඩිපුර එක්කිරීමෙන් හා ප්‍රමිතියකින් තොරව එක් කිරීමෙන් ආහාර විෂ විය හැක. ආහාරවලට එක්කරන කල්තබාගන්නා හා රසකාරක රසායනික ද්‍රව්‍යවලට පාට පෙනුම ලබාගැනීම සඳහා එක්කරන රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියකින් තොරව එක් කිරීමද ආහාර සුරක්ෂිතභාවය නොමැති වීමට හේතුවකි. ආහාර නිෂ්පාදනයේදි හා ඇසුරුම්කරණයේදී නියමිත උෂ්ණත්වය නොමැතිවීම නිසාද ආහාර විෂවීම සිදුවේ.

වළක්වා ගැනීම

ආහාර නිෂ්පාදනයේදී, වගාකිරීමේදි, ගොවිපොළේදී පිරිසුදු ජලය, පලිබෝධනාශක හා කෘමිනාශක ආරක්ෂාකාරීව භාවිතය සහ පොහොර විෂබීජවලින් තොරව, නියමිත ප්‍රමිතියට අනුව යෙදීමෙන් ආහාර විෂවීම වළක්වා ගත හැකිය. මේවා නිසි පරිදි පිරිසුදුව කරනවාද යන්න සොයා බැලීමට ක්‍රමවේදයන් පද්ධතියක් ඇත. එය අන්තර්ජාතිකවද පිළිගන්නා ක්‍රමවේදය යි. එය HACCP හා G.M.P වේ. ගොවිපළෙහිදී කර්මාන්තශාලාවලදී, ඇසුරුම්කරණයේදී, පිළියෙල කිරීමේදීද ආහාර විෂ විය හැකි බැවින් ඒවා නිසිපරිදි පිරිසුදුව නිපදවීම, ඇසුරුම්කරණය, පිළියෙල කිරීම, වෙළෙඳපොළෙහි සංස්කරණය කිරීම කිරීම සඳහා මෙම HACCP හා G.M.P පද්ධති වැදගත් වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ආහාර සුරක්ෂිත පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය වන්නේ ආහාර නිෂ්පාදනයේදී වෙළදපොළෙදී, භාවිතයේදී අපිරිසුදු වන තැන් සොයා පරික්ෂණ කටයුතු වැටලීම් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමයි. ආහාර අපිරිසිදු කිරීමට අදාළ නීති ප්‍රතිපාදන ආහාර පනත මගින් (Food Act) සපයා ඇත. ශ්‍රී ලංකාවේ ජලයෙහි පිරිසුදු බව පරික්ෂා කිරීමට පරික්ෂා ක්‍රමවේදයන් ඇත. බැරලෝහ මගින් සිදුවන අපිරිසිදු වීම් වැළැක්වීමට නීති ක්‍රමවේදයන් තිබුණත්, පරික්ෂණ ක්‍රමවේදයන් අදාළ ලෙස සපයා නොමැත. උදාහරණයක් වශයෙන් අද ඉතා විශාල වශයෙන් සහ භයානක ලෙස සිදුවන ඩයොක්සීන් මගින් ආහාර අපිරිසුදු වීම පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් ලංකාවේ නැත.

රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක ආහාර සංවිධානය (FAO) මගින් ආහාර සුරක්ෂිතභාවය , සුරැකීම සහ එය දිරිමත් කිරීම සඳහා ආහාර සුරක්ෂිත සතියක් නම් කර නොයෙකුත් වැඩපිළිවෙලවල් යොදා ඇත. මෙහිදී සෑම වසරකම දෙසැම්බර් 10 සිට 16 දක්වා සතිය තුළ නොයෙකුත් දිරිමත් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේවා අතරින් ආහාර කළමනාකරණයේදි හා වෙ‍ෙළඳපොළේදී අතින් ඇල්ලීම වෙනුවට අඬුවකින් හෝ ආධාරකයකින් හෝ අත්වැස්මකින් අල්ලා පරිහරණය කරනු ලැබේ. මෙය non touch handling ලෙස නම් කර තිබේ.

වෙළෙඳසල්

වර්තමාන සමාජයේ ආහාර විෂබීජවලින් අපිරිසුදුවීම නිතර අසන්නට ලැබෙන කරුණකි. අද විෂබීජවලින් අපිරිසිදු නොවු ආහාර වෙ‍ෙළඳසැල් ඉතා අඩුය. පළමුව ආහාර නිෂ්පාදනයේදී කෘමීන්ගෙන් සහ සතුන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. දිලීර සහ අනෙකුත් විෂබීජවලින්ද ආරක්ෂා කරගත යුතුය. කෘමිනාශක, දිලීර නාශක යෙදීමෙන් ආහාර රසායනිකව අපිරිසුදු විය හැකි බැවින් හැකිතරම් දේශීය ක්‍රම භාවිතය සහ ස්වභාවික ක්‍රම භාවිතය ඉතා වැදගත්ය. උදාහරණ ලෙස තෙත් නොවී ආහාර වියළිව තැබීම, උෂ්ණත්වය අඩු ගබඩාවල ගබඩා කිරීම යනාදියයි. තවද තෙතමනය වැඩිවීමෙන් හා අපිරිසුදු ජලය සහිත ස්ථානවල ආහාර ගබඩා කිරීමෙන් සැල්මොනෙල්ලා වැනි විෂබීජ බැක්ටීරියා ආහාරවල වර්ධනය විය හැකිය.

තෙවරක් සේදීම

පිසීමට පෙර ආහාර තුන්වරක් හොඳින් සෝදා ගැනීමෙන් විෂබීජ ඉවත්වන අතර, කෘමිනාශක, පළිබෝධනාශක, වල් නාශක යනාදී රසායනික ද්‍රව්‍යද ඉවත් කරගත හැකිය. ආහාර පිසීමේදී සහ ජලය උතුරා නිවා ගැනීමේදි නිවැරදි උෂ්ණත්වයද (සෙන්ට්‍රිගේඩ් අංශක 100) පිළිපැදිය යුතුය. සලාද වැනි අමු ආහාර පිළියෙල කිරීමේදී එහි පැහැය, නැවුම් බව ආරක්ෂා වන පරිදි සලාදයට හෝ දෙහි ස්වල්පයක් එකතු කිරීමෙන් රසායනිකව සිදුවන අවපැහැය නැතිකර ගත හැකිය.

තවද එළවළු, පළා වැනි ආහාර සෙන්ට්‍රිගේඩ් අංශක 40 උණු ජලයේ විනාඩි 4 ක් බහා තැබීමෙන් නැවුම් බව ආරක්ෂා කළ හැකි වන අතර, එහිදී ආහාර නරක් කරන Peroxidase එන්සයිම විනාශ වේ. මෙමගින් ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා වේ. පිසූ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂාකර ගැනීමට වසා තැබිය යුතුය. මන්දයත් වාහකයන් මගින් ආහාර අපිරිසුදු කරන විෂබීජ පරිවහනය වන බැවිනි. ආහාර බෙදීමේදී හා ඇල්ලීමේදී අඬුවක් ,හැන්දක්, අත්වැසුම් භාවිත කිරීමෙන් ආහාර විෂබීජවලින් අපිරිසිදුවීම වළකී. තවද ආහාර අනුභවයේදී හොඳින් අත සබන් හා සෝදා ආහාර අනුභව කිරීම ද වැදගත් වේ. මෙකී සියල්ල ආහාර සුරක්ෂිතභාවයට අයත් වේ.

ජනගහන වර්ධනය, වගාබිම් සඳහා සුදුසු ඉඩම්, ජල සම්පත්, කාලගුණ වෙනස්වීම් යන සාධකයන්ට බලපෑම් කරමින් ආහාර සුරක්ෂිතතා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය හා වයස්ගත ජනගහනය පිළිබඳව අවධානය දැක්වීම, නිපුණතා සංවර්ධනය වැනි ගැටළලු රාශියක් විසඳීමට අවශ්‍ය වේ. 2030 වසර තුළ ළඟාකර ගැනීමට අපේක්ෂිත තිරසාර සංවර්ධනය පිළිබඳ (Sustainable Development Goals /SDGs) 2 වැනි සාධක ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කුසගින්න තුරන් කිරිම, ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය වැඩිදියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම දක්වා ඇත. මෙයින් ආහාර සුරක්ෂිතතාවය ඇති වැදගත්කම නිරුපණය කරයි.

යශෝදා ඉන්දීවරී

 

නව අදහස දක්වන්න