කලාව කරලා ජීවත් වෙනවා කියන්නේ අවුලක් | දිනමිණ

කලාව කරලා ජීවත් වෙනවා කියන්නේ අවුලක්

අරුණ ජයවර්ධන

සුබේ සහ රතීගේ සොඳුරු ආදර අන්දරය රැගත් “සක්කාරං” ටෙලි සිත්තම සතියේ දින පහේ ම රාත්‍රී 8.30ට සිරස නාලිකාව ඔස්සේ විකාශය වේ. අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලා යන මේ නිර්මාණය පිළිබඳ අද මේ කතාබහ එහි අධ්‍යක්ෂකවරයා වූ අරුණ ජයවර්ධනයන් සමඟිනි. නිකිණි වැස්සට පසුව අරුණ නවතම චිත්‍රපටයෙහි වැඩ කටයුතුද මේ වන විට නිමකොට තිබේ.

* “සක්කාරං” නවකතාව ඇසුරෙන් චිත්‍රපටියකුත් බිහි වුණා. ඇයි ඒ නවකතාව ඇසුරු කරගෙන ටෙලි නාට්‍යයකුත් නිර්මාණය කරන්න හිතුවෙ?

“සක්කාරං” නවකතාව චිත්‍රපටියට යොදාගත්ත විදිහට වඩා අපි ටෙලිනාට්‍යයට යොදා ගන්නකොට කාලය තියෙනවා බොහෝ දේ ගැන කතා කරන්න. මෙතනදී පොතේ තිබුණු සුබේ සහ රතීගේ ආදර කතාව චිත්‍රපටියට යොදාගත්තටත් වඩා හොඳට විහිදුවන්න පුළුවන්. බොහෝ ඉතිහාස කතන්දරවලදි අපේ පරණ මිනිස්සු ඒ අයගේ ජීවන රිද්මය හදාගෙන තිබ්බ විදිහ දකින්නෙ ඒකාකාරී විදිහට. මොන නාට්‍යයේ බැලුවත් එකම විදිහටයි ඒ දේවල් නිර්මාණය කරලා තිබුණෙ. නමුත් සක්කාරං පොතේ එන සුබේ සහ රතීගේ කතන්දරේ ඇතුළෙ දැන් වුණත් අපිට විඳින්න පුළුවන් විදිහේ තරුණ යුවළකගේ ආදර කතාවක් තියෙනවා. ධර්මසේන පතිරාජ මහත්මයාගේ චිත්‍රපටියට යොදාගෙන තිබුණට වඩා ඒ පොතේ ටෙලිනාට්‍යයකට ගන්න පුළුවන් කොටස් තිබුණා. සුන්දර ආදර කතාවක් තිබුණා. ඉතිං මං පොතෙන් වැඩිපුර නාට්‍යයට යොදාගත්තෙ ඒ ආදර සම්බන්ධය සහ ඔවුන් ජීවිතේ ඉදිරියට ගෙනියන විදිහ. මං හිතුවා ඒ කතාව ඇතුළෙ ලොකු දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඒ නිසයි මම ඒ කතාව ටෙලිනාට්‍යක් සඳහා තෝරගත්තෙ.

* සක්කාරං චිත්‍රපටිය සහ සක්කාරං ටෙලිනාට්‍ය අතර ඔබ දකින වෙනස කුමක්ද?

චිත්‍රපටියක් පැය දෙකක් දෙකහමාරක් ඇතුළත ගලාගෙන යන විදිහයි ටෙලිනාට්‍යක් ගලාගෙන යන විදිහයි වෙනස්. ටෙලිනාට්‍යයක් කොටස් සීයක් විකාශනය වුණොත් එතන දර්ශන දාහක් විතර තියෙනවා. චිත්‍රපටියක තියෙන්නෙ උපරිම දර්ශන සීයක් විතර. සක්කාරං නවකතාව ඇසුරෙන් විවිධ චරිත එකතු කරලා සහ ඇතැම් චරිත විහිදවලා තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ. පොතේ තියෙන කරුණු ටික ම අරගෙන අපිට මේ තරම් දුර යන්න බෑ. චිත්‍රපටියට වඩා හාත්පසින් ම මේ ටෙලිනාට්‍ය වෙනස්. සක්කාරං චිත්‍රපටියයි ටෙලිනාට්‍යයි සංසන්දනය කරන්න අපහසුයි. ඒ චිත්‍රපටිය කළේ අපේ ගුරුවරයෙක් වගේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. ඒ කරපු දේට අපිට සමාන වෙන්න බෑ. ඒ නිසා ඒ චිත්‍රපටිය තියෙන්නෙ වෙනම තැනක. මේ ටෙලි නාට්‍ය තියෙන්නේ තවත් තැනක.

* මේ නිර්මාණ කාර්යයට දායක වුණු පිරිස ගැන කතා කළොත්?

මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අකිල ධනුද්ධර සහ කවින්ද්‍යා අධිකාරි. සරත් කොතලාවල, ගයාන් වික්‍රමතිලක, චමිලා පීරිස්,නදීෂානි පේලිආරච්චි, අජන්ත මහන්තආරච්චි ඇතුළු තවත් දක්ෂ නළුනිළි පිරිසක් මේ සඳහා චරිත නිරූපණයෙන් දායක වෙනවා. චමින්ද වෙලගෙදරගේ සම්මානනීය නවකතාව “සක්කාරං” ඇසුරෙන් ගොඩනැඟෙන මේ ටෙලි නාට්‍යය කපිල කාලිංග ගේ තිර රචනයක්. මැජික් ප්ලැන්ටන් ආයතනයේ නිෂ්පාදනයක්. කැමරා අධ්‍යක්ෂණයෙන් සජිත වීරප්පෙරුමත් සංස්කරණයෙන් අසංක වික්‍රමසිරිත් දායකත්වය ලබාදුන්නා. සංගීතය පබළු විජේගුණවර්ධනගෙන්.

* මෙගා නාට්‍ය රැල්ලත් එක්ක ප්‍රේක්ෂකයාව එතැනින් ගලවා ගත නොහැකි තත්ත්වයක් තියෙන්නේ. මේ වැනි වෙනස් කතාවක් ප්‍රේක්ෂකයාට තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඔවුන් මේ නිර්මාණය කොයි විදිහට ග්‍රහණය කරගනියිද?

අපි තමයි මේ වර්ගීකරණයන් හදාගෙන ඉන්නෙ. අපි සිනමාවේ හදාගත්තා සම්භාව්‍ය සිනමාව, වාණිජ සිනමාව සහ මැද මාවතේ සිනමාව කියලා කාණ්ඩ තුනක්. නමුත් ලෝකෙ තියෙන්නේ හොඳ චිත්‍රපට සහ නරක චිත්‍රපට විතරයි. ටෙලිනාට්‍යවලත් අපි ඒ විදිහට එක එක බෙදීම් හදාගෙන තියෙනවා. කොටස් සීයට එහා යනවා නම් ඒවා මෙගා නාට්‍ය, මෙගා නාට්‍ය හොඳ නෑ කියන්නෙ අපි හදාගත්ත දේවල්. කොටස් සීයට එහා විකාශය වුණු හොඳ ටෙලිනාට්‍ය ලංකාවේ ඕන තරම් තිබුණා. අපි කරන නිර්මාණය මෙගාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නෙ, මොකද්ද කරන්නෙ කොයි විදිහටද කරන්නෙ කියන එකයි. මෙගා සහ මෙගා නොවන කියලා ගොඩවල් දෙකකට දාගෙන, නිර්මාණවල ගුණාත්මක බව මනින්න බෑ. තියෙන්න පුළුවන් හොඳ ටෙලිනාට්‍ය සහ නරක ටෙලිනාට්‍ය විතරයි.

* ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ රේටින්ස් එක්ක තමයි බොහෝ දේ තීරණය වෙන්නෙ. මේ ටෙලිනාට්‍ය රේටින්ස්වලට කොහොම බලපායිද?

මේ වෙද්දි ලංකාවේ රූපවාහිනියෙන් ටෙලිනාට්‍ය බලනවට වැඩිය යූ ටියුබ් එකෙන් තමයි මිනිස්සු ටෙලිනාට්‍ය බලන්නෙ. බොහෝ වෙලාවට දැන් ටෙලිනාට්‍ය බලන ප්‍රමාණය මනින්නෙ යූ ටියුබ් එකේ තියෙන වීව්ස් අනුව. ඒක වෙනම ටෙලිනාට්‍ය සංස්කෘතියක් විදිහට ලෝකෙට ගිහින් ඉවරයි. අද රෑ විකාශය වන ටෙලිනාට්‍ය හෙට උදේ වෙනකොට යූ ටියුබ් හරහා සමහර විට ලක්ෂයක් විතර නරඹලා. රූපවාහිනියේ තියෙන රේටින් මොනතරම් දුරට සත්‍යද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ රේටින් එන විදිහ,රේටින් බලන විදිහ සාධාරණද කියලා අපි දන්නෙ නෑ. අපිට කියනවා මේ මේ නාට්‍යට මේ මේ විදිහට රේටින්ස් තියෙනවා කියලා. එහෙම කියන එක කොයිතරම් දුරට සාධාරණද කියන එක ගැටලුවක්. ඒ නිසා රේටින් ගැන හිතලා නාට්‍ය කරනවාද? මහන්සිවෙලා හොඳ නිර්මාණයක් මිනිස්සුන්ට දෙනවාද? කියන එක අපි හිතන්න ඕනෙ. රේටින් ගැන හිතන්න ගියොත් අපිට බොහෝ දේවල් අත්හරින්න වෙනවා. ප්‍රේක්ෂකයා ඉල්ලන දේ ම දීලා, රේටින් ගැන හිතනවාද? ප්‍රේක්ෂකයාට ආපහු කතා කරන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරලා සන්තෝස වෙනවාද කියන එක අපි තීරණය කරන්න ඕනෙ.

* අලුත් චිත්‍රපටියේ වැඩ කටයුතු ගැනත් යමක් කිව්වොත්?

මගේ අලුත් චිත්‍රපටිය “1970 ලව් ස්ටෝරි” මේ වෙද්දි පසු නිෂ්පාදන අවධියෙයි තියෙන්නෙ. කතා තේමාව ගැන කියනවා නම් 1970 දි තේ වත්තක වුණ සිදුවීමක් තමයි මේ නිර්මාණයෙන් දිගහැරෙන්නෙ. ආදරෙන් ජීවත් වුණු තරුණ යුවළක බිරිඳ හදිසියේ ම නාඳුනන තුවක්කුකරුවකුගෙන් වෙඩි වැදිලා මිය යනවා. මේ සිද්ධිය ඊට අවුරුදු 30කට විතර පස්සෙ අහන්න ලැබෙනවා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ට. ඒ චරිතය නිරූපණය කරන්නේ මහේන්ද්‍ර පෙරේරා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයා මේ සිද්ධියෙන් චිත්‍රපට පිටපතක් හදනවා. තමන්ගෙ කණ්ඩායමත් එක්ක සිද්ධිය වෙච්ච බංගලාවට යනවා, චිත්‍රපටිය රූගත කරන්න. රූගත කිරීම් අතරතුර ඔවුන් මුහුණ පාන සිදුවීම් තමයි චිත්‍රපටිය පුරාවට දිවෙන්නෙ. මේක තරමක් දුරට හොල්මන් චිත්‍රපටියක් කියලා කියන්නත් පුළුවන්.

* ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානම තනතුරක් දරලා, එතනින් ඉවත්වෙලයි දැන් ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙලා ඉන්නෙ. ඒ අත්හැරීම සහ අල්ලාගැනීම ඔබට දැනෙන්නෙ කොහොමද?

මම අවුරුදු 20ක් විතර ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙකක ම තනතුරු දැරුවා. ඒ කාලෙ ඇතුළතදීත් චිත්‍රපටි දෙකක් අධ්‍යක්ෂණය කළා. ටෙලිනාට්‍ය සෑහෙන ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළා. නාලිකාවල කටයුතු කරන ගමන් පවා මම වැඩිපුර යොමු වුණේ නිර්මාණකරණයට. නමුත් ආයතනගත රාමුව තුළ නිර්මාණවලට යොමුවෙන්න තියෙන නිදහස සහ ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසා මං තීරණය කළා රැකියාවෙන් ඉවත් වෙලා මං කැමති ගමන යන්න. ඒ අනුව මම භාරගන්නෙ විශාල අභියෝගයක්. ලංකාව වගේ රටක චිත්‍රපට, ටෙලිනාට්‍ය කරලා ජීවත් වෙනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. නමුත් මගේ හිතේ තිබුණ ඉලක්කය සහ ක්ෂේත්‍රයට ඇති කැමැත්ත නිසා මම ඒ තීරණය ගත්තා.කොච්චර අභියෝගයක් වුණත් ඒ ගමන යා යුතුයි කියලා හිතලයි මගේ අලුත් චිත්‍රපටිය “1970 ලව් ස්ටෝරි” එක්කම මම රැකියාවෙන් ඉවත් වුණේ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න