මව හා ළදරුවා! | දිනමිණ

මව හා ළදරුවා!

අම්මලා දැඩි ලෙස විවේචනයට ලක්වන සිද්ධි ගණනාවක් වාර්තා වී ඇත. එයින් සිද්ධි දෙකක් සිහිපත් කරන්නට කැමැත්තෙමු. එක සිද්ධියකින් කියැවෙන්නේ අවුරුදු හතරක් වයසැති දැරියක් මරා ඔයකට වීසිකළ අම්මා කෙනකු ගැන ය. තව සිද්ධියකින් කියැවෙන්නේ උපන් හැටියේ නිවුන් දරුවන් දෙදෙනකු ගෝනියක බහා මැරෙන්නට ඉඩ සැලැසූ අම්මා කෙනකු ගැන ය. සිද්ධි දෙකම දරුවන්ට සම්බන්ධය. මව හා දරුවා අතර පැවැතිය යුතු අසීමිත මානව සබඳතාව මේ අනුව අභියෝගයට ලක්වී ඇත. බැලූ බැල්මට ම‍ පෙනීයන්නේ මවු පාර්ශ්වය මෙහි විත්තිකරුවා, වරදකරුවා හා අපරාධකාරිය බවට පත්වී ඇති බවය.

දරුවකු බිහි කරන්නට මවක දරන පරිශ්‍රමය හා වේදනාව විස්තර කළ නොහැකි බව කියැවේ. එලෙස ම දරුවකු පිළිසිඳ ගත්දා සිට ගැබ දරා සිටින්නට හා ආරක්ෂා කරන්නට දරන වෙහෙස මෙපමණ යැයි කිව නොහැකි ය. පුරුෂයකුට නම්; එය කිසිදා වටහාගත නොහැකි බව ද කියනු ලැබේ. ප්‍රශ්නය මේ වේදනාව හෝ පරිශ්‍රමය හෝ නොවේ. මෙතරම් පරිශ්‍රමයක් හා වේදනාවක් දරමින් මෙලොවට බිහිකළ වස්තුව මරාදමන්නට අම්මා කෙනකු පෙලඹෙන්නේ කෙසේ ද යන්න මෙහි ඇති මූලික ගැටලුවයි. එහෙත් ඒ ගැන සොයන කෙනකු දකින්නට නැත. මෙබඳු සිද්ධියකදී සියල්ලන්ගේම කාර්යය වන්නේ අදාළ අම්මා වෙත කෝපය හා අවඥාව මුදාහැරීම ය.

මීට සති එකහමාරකට පමණ පෙර මෙබඳුම වූ තවත් සිද්ධියක් ඈත පළාතකින් වාර්තා විය. එහිදී ද අදාළ මව සිය දරුවා මරා දමා තිබිණි. පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ අයථා ලිංගික සම්බන්ධයක් නිසා දරුවා පිළිසිඳගෙන ඇති බව ය. පුදුමයකට මෙන් ලිංගික සම්බන්ධය පවත්වා ඇත්තේ සහෝදරයකු සමඟ ය. අයියා හා නංගී අතර ලිංගික සම්බන්ධයක් තිබීම සමාජය අනුමත කරන්නේ නැත. මේ නිසා මවට හා දරුවාට සමාජයෙන් ගැරහුම් ලැබෙනු ඇත. දරුවා මරා දමන්නට මව පෙලඹෙන්නේ දරාගත නොහැකි අවමානය නිසා ය. මෙබඳු සිද්ධීන් ඇතිවීමට බලපාන සමාජ සාධක හා පාරිසරික සාධක කෙරෙහි කිසිවකු අවධානය යොමු කරන්නේ නැත.

එක අතෙකින් බලන විට ශ්‍රී ලංකාවේ සමාජ පරිසරය තුළ පවුල් අවුල්වීම ශීඝ්‍ර වී ඇත. වැන්දඹුවන්ගේ ප්‍රමාණය වේගයෙන් වර්ධනය වනු දැකිය හැකි ය. තව අතෙකින් බලනවිට අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදු වූ කල එය ගබ්සා කරගත හැකි නිත්‍යානුකූල ක්‍රමවේදයක් රටේ නැත. ලෝකයේ බොහෝ රටවල් ගබ්සාව නීතිගත කර තිබේ. එහෙත් අපේ රටේ නීතියෙන් ගබ්සාවට ඉඩක් නැත. මේ නිසා හොර වෙදුන් ලවා ගබ්සා කරගත් බොහෝ අම්මලා මියගොස් ය. ගබ්සාව නීතිගත කර තිබුණේ නම්; ඉහත සඳහන් අපරාධ එකක්වත් සිදු නොවන්නට ඉඩ තිබිණි. ගබ්සාව නීතිගත කළ යුතු යැයි යෝජනා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් වූයේ වුව; එය සම්මත වූයේ නැත.

ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය මෙතෙකැයි කිසිවකුට නිශ්චිතව දැක්විය නොහැකි ය. බොහෝවිට ඒවා සඟවා තබන බැවිනි. ස්ත්‍රී - දූෂණ ළමා අපචාර ආදිය සම්බන්ධයෙන් සොයා බලනවිට පෙනීයන්නේ ළඟම ඥාතියකු අතින් හෝ සමීපතමයකු අතින් අපරාධය සිදුවන බව ය. නිවෙසේ දී පියා, සුළුපියා, මාමා, සහෝදරයා අතින් දූෂ්‍ය වන දියණියෝ සිටිති. පාසලේදී ගුරුවරයා අතින් අපහරණයට ලක්වන ශිෂ්‍යයාවෝ සිටිති. කාර්යාලයේදී ප්‍රධානියාගේ අතින් අතවරයට ලක්වන සේවිකාවෝ සිටිති. මේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ බලහත්කාරය යැයි කිව හැකි ය. සමාජය කෙතරම් දියුණු වුව ස්ත්‍රිය යනු තවදුරටත් පුරුෂයාගේ ගොදුරක්ම වන්නේ ය. අවසන් ලෙස නීතිය පවා ඇයට අවාසි සහගත ලෙස ක්‍රියාත්මක වනු දැකිය හැකි ය.

ඉහත සඳහන් ආකාර‍යේ අකරතැබ්බවලට මුහුණ දෙන ඇතැම් තරුණියෝ දිවි නසා ගනිති. දුම්රියට පැනීම, වස පානය කිරීම, ගඟට පැනීම මේ අය දිවි නසාගැනීම සඳහා භාවිත කරන ප්‍රකට උපායමාර්ගවේ. මෙබඳු උවදුරකට ලක්වූ කෙනකුට තම ගැටලුව ඉදිරිපත් කළ හැකි ස්ථානයක් හා අවස්ථාවක් තිබිය යුතුය. දියුණු රටවල ඒ සඳහා උපකාර කරන හා පහසුකම් සපයන ආයතන තිබේ. ශ්‍රී ලංකාවේ එබඳු දේවල් නැත. මෙවැන්නක් හෙළිදරව් කරන කෙනකුට ඉතිරි වන්නේ සමාජ අවමානය පමණි. වැඩිහිටියකුට මේ පිළිබඳ හෙළිදරව් කළහොත් තරුණිය හෝ කාන්තාව හෝ නිවෙසින් දොට්ට දමන්නට ද පුළුවන. සමාජය මේ සම්බන්ධයෙන් සංවේදී නැත. එලෙස ම දැනුම්වත් ද නැත.

අප මුලින් සඳහන් කළ සිද්ධි දෙක පසුපස අයථා ලිංගික සබඳතා පවතින බව හෙළිදරව් වී ඇත. අයථා ලිංගික සබඳතා කියූ සැණෙන් එහි වරදකාරිය බවට පත්වන්නේ ගැහැනිය බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඇත්ත තත්ත්වය ගතහොත් ස්ත්‍රියකට පොදු වාහනයක ගමන් කරද්දී පවා ලිංගික බලපෑම් එල්ල වෙයි. තරුණ වැන්දඹුවකට දරුවන් කැටුව නිදහසේ ජීවත්වීමට හැකි තත්ත්වයක් ද රට තුළ නැති බව කනගාටුවෙන් වුව කිව යුතු ය. මීට හේතුව සමාජය සදාචාරාත්මක අතින් දියුණු නොවීම යැයි කියන්නට පුළුවන. ලිංගික අපරාධ සම්බන්ධයෙන් සමාජයේ ඇති අවබෝධය ද ඉතා අල්ප ය. අවම ලෙස නීතියෙන් ඊට ඇති දඬුවම හෝ බොහෝ දෙනකු දන්නේ නැත.

අප සඳහන් කළ පළමු සිද්ධියේදී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ දැරියගේ මෘත ශරීරය මේ වනතුරු ද සොයාගෙන නැත. පොලිසිය ඒ සම්බන්ධයෙන් මහත් පරිශ්‍රමයක් දරයි. දෙවන සිද්ධියේ මව අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේදී ය. ඇය රුධිර වහනය නිසා රෝහල්ගතවී ඇති බව කියති. දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ අවදානම් සහගත තත්ත්වයක් යටතේ බව එයින් පැහැදිලි වෙයි. මව දරු ප්‍රසූතියට පෙර රෝහල් ගතවූයේ නම්; දරුවන් දෙදෙනා බේරාගත හැකිව තිබිණි. එහෙත් මේවා ගැන සොයා බලන්නට කෙනකු නැත. පිහිටක් ලබාදෙන කෙනකු ද නැත. බොහෝ තැන්වලදී අපට වැරැදී ඇති බව පැහැදිලිය. මවට පමණක් දොස් පැවරීමෙන් මෙබඳු අපරාධ වළක්වා ගත නොහැකි ය.

කුමන තත්ත්වයක් යටතේ වුව දරුවන් ජීවත් කරවන අම්මලා සිටිති. ඒ අම්මලා ගැන අප ආඩම්බර විය යුතුය. එහෙත් සෑම අම්මා කෙනකුටම එබඳු හැකියාවක් නැත. සමාජය ඔවුන්ගේ පිහිටට පැමිණිය යුතු ය. ලෝකය සුන්දර තැනක් වන්නේ එවිට ය.

 


අදහස් 1ක් ඇත

ubathokotika prasnayak meka, mekata hethu soyanna puluwanda, nammuth daruwan marana mawuwarun mawuwarunma noweya ! ubathokotikayayai !papa kariyayi! daduwam diya yuthuya!

නව අදහස දක්වන්න