පාපන්දු තරග බිමේ පෙරමුණේ සිටින නාවික-යුද සෝන්ඩර්ස්-අප් කන්ට්‍රි කණ්ඩායම්වලට පරදී | දිනමිණ

පාපන්දු තරග බිමේ පෙරමුණේ සිටින නාවික-යුද සෝන්ඩර්ස්-අප් කන්ට්‍රි කණ්ඩායම්වලට පරදී

ප්‍රින්ස් ගුණසේකර

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ලකුණු සටහනේ මුලින්ම සිටින නාවික හමුදාව ගෝල් 2-0කින් පරාජය කළ සෝන්ඩර්ස් මෙවර තරගාවලියේ පෙරැළිකාර ජයක් වාර්තා කරයි. මේ හේතුවෙන් සෝන්ඩර්ස් පිල තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවධානයෙන් මිදී පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මේ අතර ලකුණු සටහනේ තෙවැනි තැන සිටි යුද හමුදාව ද අප් කන්ට්‍රි ලයන්ස් පිල හමුවේ පරාජයට පත්වීම සති අන්තයේ තරග අතර කැපී පෙණුනි.

කොළඹ සුගතදාස පිටියේ පැවැති සෝන්ඩර්ස් - නාවික තරගයේ පළමු භාගයේදී ගෝල් 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයක සිටි අතර 93වැනි මිනිත්තුවේදී කසුන් ජයසූරිය වාර්තා කළ ගෝලයෙන් සෝන්ඩර්ස් ජය තහවුරු විය.

නාවික හමුදා ගෝල් කීපර් ඉදිරියට පැමිණෙද්දී ඔහුගේ හිසට උඩින් පහරක් එල්ල කොට පන්දුව ගෝල් කණුව තුළට යොමුවී කිරීමට කසුන් සමත්වී සෝන්ඩර්ස් පිලට මේ අනගි ජයග්‍රහණය හිමි වූවේය. පළමු භාගයේදී නාවික හමුදාවට මොහොමඩ් අස්මීර් හා සෝන්ඩර්ස් පිලට සන්තුරාජ් නිරේෂ් ගෝල් වාර්තා කළහ.

තරගයේ 84වැනි මිනිත්තුවේදී දඬුවම් පහර කළාපය ආසන්නයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් නීති විරෝධී ලෙස වළක්වාලීමට උත්සහා කළේ යැයි සන්තුරාජ් නිරේෂ්ට රතු කාඩ්පතක් ලැබුණු අතර අනතුරුව නාවික හමුදාවට නිදහස් පහරක් පිරිනැමුණ ද එයින් ප්‍රතිඵලයක් නොවුණි.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැති යුද - අප්කන්ට්‍රි ලයන්ස් අතර තරගය මුල සිටම වැඩි වාසි සහිතව සිටිමින් ජය ගැනීමට අප්කන්ට්‍රි ලයන්ස් පිල සමත් විය. මොහොමඩ් ෆාහීම් හා මොහොමඩ් ෆයිසාල් පළමු භාගයේදී අප්කන්ට්‍රි ලයන්ස් පිලට ගෝල් අත්කර දුන් අතර ඒ. කවුමී අතින් ඕන් ගෝලයක් යුද හමුදාවට පිරිනැමුණි. අප්කන්ට්‍රි ලයන්ස් වෙනුවෙන් චන්දිමාල් වික්‍රමසිංහ ගෝල් 2ක් හා ඒ. කවුමී ගෝලයක් වාර්තා කරද්දී වයි. එල්. ජයතුංග යුද හමුදාවට දෙවැනි ගෝලය එක් කළේය.

දිගන ක්‍රීඩා පිටියේ පැවැති ක්‍රිස්ටල් පැලස් හා පෙළිකන්ස් ක්‍රීඩා සමාජ අතර තරගයේදී පෙළිකන්ස්ට ගෝල් 3-0ක ජයක් හිමි වෙයි. පෙළිකන්ස් පිලේ නයිජීරියානු ක්‍රීඩකයන්වන එච්. ඒ. ඩාර්කෝ, සී. ගොඩිෆෙරඩ් හා ඊ. ලාටෙට් ගෝල් වාර්තා කිරීමට සමත් වූහ.

තරගයේ 39 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටල් පැලස් පිලේ මොහොමඩ් ෂාමීල් නීති විරෝධී ක්‍රීඩා විලාශයක නිරතවූ හෙයින් රතුකාඩ් පත් පෙන්වා පිටියෙන් නෙරපීමට විනිසුරු තීරණය කළ අතර එතැන් සිට ක්‍රීඩකයින් 10කට සීමාවී අවාසිදායක පසුබිමක් යටතේ ක්‍රීඩා කිරීමට ක්‍රිස්ටල් පැලස් පිලට සිදුවුණි.

මේ තරගාවලියේ තවමත් පළමු ස්ථාන හතරේ රැදී සිටින කළුතර බ්ලූස්ටාර් පිල අනුරාධපුර සොලිඩ් ගෝල් 2-1කින් පැරදවිමට සමත් විය. විදෙස් ක්‍රීඩකයෙක්වන එන්. යූ. සන්ඩේ බ්ලූස්ටාර් පිලට ගෝල් දෙක රැස්කර දුන් අතර සොලිඩ් පිලේ නයිජීරියානු ක්‍රීඩක ඊ. ඉල්ලාම් සොලිඩ් පිලේ එකම ගෝලය වාර්තා කළේය. මේ තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

නව අදහස දක්වන්න