බුත්තල රජ ඇළෙන් මොනරාගල කුඹුරු අක්කර 650කට දියවර | දිනමිණ

බුත්තල රජ ඇළෙන් මොනරාගල කුඹුරු අක්කර 650කට දියවර

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර හයසියපනහකට යල මහ දෙකන්නයේ දියවර සපයන බුත්තල රජ ඇළ වාරි යෝජනා ක්‍රමය ඉකුත් (31)දා විවෘත කෙරිණි.

2003 වර්ෂයේ ඔක්තෝබර් මස 14වෙනි දින එවකට වෙළෙඳ හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ජයසුන්දර විජයකෝන් මහතා මුල්ගල් තැබූද මෙම වාරි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා ඉදිකිරීම් ප්‍රමාද විය.

යහපාලන රජයේ වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය ධුරයට පත් ගාමිණි විජිත් විජයමුණි සොයිසා අවශ්‍ය මුදල් ලබා දීමත් සමඟ ඉදිකිරීම් කටයුතු කඩිනම් කැරිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් සෘජු ශ්‍රම දායකත්වය මත කිලෝමීටර් දාහතරක් දිග රජඇළ කපා නිම කළ අතර ඒ සඳහා වැයකැර ඇති මුදල රුපියල් දාහත් කෝටි පනස්ලක්ෂයකි.

මැණික් ගඟේ සිට කටුගහකොළනිය වැවට ගලා එන ජලය එම වැවේ සිට කිලෝමීටර් දාහතරක් දිගැති රජ ඇළ ඔස්සේ කෝන්ගහ, නාගස්ආර, පේරගස්ආර, කරවිලකනත්ත, හිඟුරුආර, නිකමඩ, තම්මැන්නආර යන වැව් පුරයි.

එම වැව් යටතේ කුඹුරු අක්කර හයසියපනහක් යල මහ දෙකන්නයේ වගාකිරීමට නියමිතය.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටුගහ ගල්ගේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්යාය, උඩගම, පෙට්ටගම්වල, වගුරුවෙල, ඇඳගම, කෝන්කැටිය යන ග්‍රාමසේවා වසම්වල ජීවත්වෙන ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලසේ.

රජ ඇළ විවෘත කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන,රෝයි කාවින්ද, මොනරාගල වැඩබලන වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක පියතිස්ස බණ්ඩාර හිටපු වාණිජ හා වෙළඳ නියෝජ්‍ය ඇමැති ජයසුන්දර විජේකෝන් යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

නව අදහස දක්වන්න