මට වුවමනා වුණේ ආගමික භාවිත ප්‍රශ්න කරන්න | දිනමිණ

මට වුවමනා වුණේ ආගමික භාවිත ප්‍රශ්න කරන්න

කාංචනා අමිලානි
තරංගනී රෙසිකා ප්‍රනාන්දු

තරංගනී රෙසිකා ප්‍රනාන්දු (තරුරසී) කිවිඳියකි. කෙටිකතා රචිකාවියකි. ඇගේ පළමු නවකතාව 'දේශද්‍රෝහියාගේ හෘදය' නමින් පසුගිය වසරේ නිකුත් විය. ඇගේ පළමු නවකතාව, සාහිත්‍යයේ නව ප්‍රවණතා සහ ලිවීමේ ආවේශය පිළිබඳ, ඈ සමඟ කළ කෙටි සංවාදයකි මේ.

ලේඛකයකුට ලිවීමේ ආභාසය එන්නෙ කොහෙන්ද?

මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම්, මූලිකවම කියැවීමෙන්. පොත පත ඇසුරෙන්. පොත් කියවන්න තිබුණු ඕනෑකම ම තමයි, පසුකාලෙක ලිවීම සම්බන්ධයෙනුත් වැඩි දියුණු වුණේ. මමත් කවද හරි පොතක් ලියන්න ඕන කියලා, පුංචි ම කාලෙ පොත් කියවද්දි හිතුණා. ලිවීමේ කැමැත්ත ඇති වුණේ එහෙමයි. ඉන් පස්සෙ ලියන, ලියැවෙන දේවලට ගුරුවරුන්ගෙන්, යාළුවන්ගෙන් ඇගැයීම් ලැබෙද්දි, ඒක ලොකු හයියක් වුණා. ජීවිතය ඉදිරියට ගලාගෙන යද්දි ලැබෙන අත්දැකීම් එක්ක, දිගින් දිගටම ලියද්දි තියෙන කැමැත්තයි, උනන්දුවයි තවත් වැඩි දියුණු වුණා.

ඔබේ පළමු නවකතාව ආගමික පසුබිමක ගොඩනැගුණු ප්‍රේම කතාවක්. මෙහෙම කතාවක් ලියන්න පසුබිම හැදුණේ කොහොමද?

මම ඉපැදුණේ ආගම දහමට බොහොම ලැදි, පල්ලියත් එක්ක සමීපව කටයුතු කරන, සාම්ප්‍රදායික කතෝලික පවුලක. ඒ නිසා ම, පුංචි කාලෙ ඉඳලම ආගමික පසුබිම මා බොහොම තදින් අල්ලගෙන හිටියා. අදටත් මං එතැනින් මුළුමනින්ම බැහැර වෙලා නැහැ. අනෙක් පැත්තෙන් මම ජීවත් වුණේ, බෞද්ධ වටපිටාවක. ඒ නිසා, බෞද්ධ ආගම, බෞද්ධ සංස්කෘතිය සම්බන්ධවත් අත්දැකීම් තියෙනවා. ළමා වයසෙදිත්, තරුණ වයසෙදිත් ගමේ පල්ලියට සම්බන්ධ දහම් පාසල, තරුණ සමිති, ළමා සමිති, කිතුනු ඒකක වගේ වැඩ ගොඩකට මං සම්බන්ධ වෙලා හිටියා. මේවා එක අතකින් ආගමික වැඩ වගේ ම, සමාජයත් එක්ක ගනුදෙනු කරන්න, අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්න උදවුවක් වුණා.

සරසවි ජීවිතය ආරම්භ වෙලා කොළඹට ආවහම මම, ළමා ක්‍රියාකාරී වීරයෝ (ළ.ක්‍රි.වී) කියන ළමා සංවිධානයේ ජාතික මට්ටමේ ක්‍රියාකාරිනියක් වුණා. මේ ළමා සංවිධානයත් එක්ක මට රට පුරා ළමයි, තරුණ තරුණියන්, මවුපියන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතැන ආගම්, ජාති බේදයක් නොතිබුණු නිසා, හැම ආගමකම, ජාතියකම දරුවන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ අතර ක්‍රිස්තියානියෙ විමුක්ති දැක්ම පදනම් කර ගත්ත, විකල්ප ධාරාවෙ කිතුනු ක්‍රියාකාරී කණ්ඩායමක් වෙච්ච ‘කිතුසර‘කණ්ඩායමේ වැඩවලටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. වසර ගණනාවක් මේ වැඩ කළ සහ ජීවත් වුණු පසුබිම තමයි, මගේ නවකතාවට පදනම වුණේ. මේ නවකතාව තුළ එන හැම චරිතයක්ම වගේ ගොඩනැගෙන්නෙ, ඒ වැඩ ඇතුළෙ මට හමු වුණ ඇත්ත චරිත සහ අත්දැකීම් එක්කයි.

‘‘චණ්ඩි ජීසස්‘‘ වැනි යෙදුම් එක්ක වගේ ම, නවකතාවේ තවත් බොහෝ තැන්වලදී ඔබ, එක්තරා විදියකින් ආගමික සංකල්ප ප්‍රශ්න කරනවද?

ආගමික සංකල්පවලට වඩා ආගමික භාවිතාවන් ප්‍රශ්න කරන්න තමයි මට වුවමනා වුණේ. ආගමික ශාස්තෘවරුන් පෙන්වලා දුන්නෙ, යම් ජීවිත දැක්මක්, විමුක්ති මාර්ගයක්, අධ්‍යාත්මික වටිනාකමක්. ඒත්, පසුකාලීනව ඒ ආගමික දර්ශන වටා ගොඩනැගෙන පුද්ගල, ආයතනික බලාධිකාර නිසා, ඒ මූලික හරයන් යටපත් වෙලා, ධනයට, බලයට වන්දනාමාන කරන, මනුෂ්‍යත්වය නොසලකා හරින, ආගම් කේන්ද්‍ර කර ගත්ත බල ව්‍යුහයක් ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය යම් තරමකින් හරි කතිකාවට ගන්න, මම මගේ නවකතාව තුළ උත්සාහයක් දැරුවා.

ආගමික සංකල්ප ප්‍රශ්න කරන අතරතුරම, යම් ප්‍රචාරකවාදී හැඩයකුත් ඔබේ නවකතාවෙන් මතුවෙනවා කියලා මම චෝදනා කළොත්, ඔබේ පිළිතුර කුමක්ද?

යම් පාඨකයෙක් එවැනි චෝදනාවක් නඟනවා නම්, එයට සාධාරණ හේතු තියෙන බව මම පිළිගන්නවා. නවකතාව ඇතුළෙ, විමුක්ති දේව ධර්ම පාඨමාලාවට සම්බන්ධ දින හතරක නේවාසික වැඩමුළුවක් ගැන විස්තරයක් එනවා. මෙතැනදි ඇති වෙන කතාබහ, දේශන ඉදිරිපත් වෙන විදිහ ඇතුළෙ, ප්‍රචාරක හැඩයක් තියෙනවා. මේ චෝදනාව එන්න පුළුවන් බව දැන දැනම මම ඒ ටික ඒ විදිහටම තිබ්බා. නවකතාකාරියක් විදියට නම්, ඒක තරමක හිතුවක්කාර තීරණයක්. ඒත්, මේ කතාව සාහිත්‍ය කටයුත්තකට එහා ගිය සමාජ වැඩක් විදිහට මට ඒ තීන්දුව ගන්න සිද්ධ වුණා.

නූතන සාහිත්‍යයේ හැසිරීම, විශේෂයෙන්ම ප්‍රබන්ධ කලාව ගැන ඔබ හිතන්නෙ කොහොමද?

අපේ සාහිත්‍ය ඉතිහාසය ගත්තහම, විශේෂයෙන් ජාතක පොත, සද්ධර්මරත්නාවලිය, අමාවතුර, බුත්සරණ වගේ ආගමික සාහිත්‍ය වගේ ම, ඉන් පස්සෙ බිහි වුණ ප්‍රබන්ධ සාහිත්‍යයත් විවිධ ජීවන අත්දැකීම්, භාෂා රටා, ආකෘතික හැඩ එක්ක පුළුල් වපසරියක විහිදිලා තියෙනවා. හරි නම්, නූතනම ප්‍රබන්ධ සාහිත්‍ය, ඒ පුළුල් බව වැඩි දියුණු වෙලා, අලුත් අලුත් අත්හදාබැලීම්වලට යන්න ඕනනෙ. ඒත්, අපි ආයෙමත් ඉතිහාස කතාවලටයි, කතන්දර ශෛලියටයි කොටු වෙමින් ඉන්නවද කියලත් මට දැනෙනවා.

කිවිඳියක්, කෙටිකතාකාරියක් සහ නවකතාකාරියක් යන තුන් වැදෑරුම් භුමිකා ඇතුළේ, ඔබ වඩාත් පහසුවෙන් සැරිසරන්නේ කුමන භූමිකාවේද? ඒකට හේතු මොනවාද?

මම මුලින් ම ලිව්වෙ කවි. පුංචි කාලෙ ඉඳලම වැඩියෙන් ම සමීප කවියට. අදත් ඒක එහෙමම තමයි. ජීවිතේ හැම අත්දැකීමකදීම, විශේෂයෙන් දුකකදි, සතුටකදි, කම්පිත අවස්ථාවකදි මට මාවම නිදහස් කරගන්න වුවමනා වුණාම, එහෙම නැත්නම් සමාජයත් එක්ක බෙදාගන්න දෙයක් තියෙනවා කියලා හිතෙන අවස්ථාවල, මුලින්ම හිතට එන්නෙ කවියක්. ලියැවෙන්නෙත් කවියක්.

පාසල් අවදියෙ අභ්‍යාස පොත්වල නවකතා කිහිපයක් ලියලා තියෙනවා. කෙටි කතා ලියලා ජයග්‍රහණත් ලබලා තියෙනවා. ඒත්, කෙටිකතාව කියන්නෙ මං නිර්භයව අත තියන සාහිත්‍ය කටයුත්තක් නෙමෙයි. කෙටි කතාව එක්ක ගනුදෙනු කරන්න සියුම් අධ්‍යාත්මිකත්වයක්, ඉවසීමක්, කැපවීමක් අවශ්‍යයි කියලා හිතෙනවා. කවියට, නවකතාවට එහෙම අවශ්‍ය නෑ කියනවා නෙමෙයි. කෙටි කතාව එක්ක ගනුදෙනු කරන්න, බොහොම සියුම් ශිල්පීය ඥානයකුත් තියෙන්න ඕනැ. මම තාම එතැන නැහැ කියලා හිතෙනවා. මගේ තරුරසී බ්ලොග් අඩවියෙ කෙටි කතා වගේ ලියැවුණු කතා ටිකක් තියෙනවා. ඒවා කෙටි කතා විදියට හඳුන්වන්න පුළුවන්ද කියන සැකය මට තියෙනවා.

‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘‘ මගේ මුද්‍රණය වුණ පළමු වැනි නවකතාව. තවත් නවකතා කිහිපයක් කඩින් කඩ ලියමින් තිබෙනවා. හිත නිදහසේ වාඩිවෙලා, දිගට නවකතාවක ගිලිලා ඉන්න ලැබෙන කාලයත් අඩුයි. මේ හැම දෙයක් ගැනම කල්පනා කරද්දි, මම වඩාත් පහසුවෙන් ගනුදෙනු කරන්නෙ කවිය එක්ක කියලා මට දැනෙනවා.

නව අදහස දක්වන්න