ළමා මනසට අමතන හංස විලේ යාළුවෝ | දිනමිණ

ළමා මනසට අමතන හංස විලේ යාළුවෝ

ළමා මනසට වටිනා ආදර්ශයක් ලබා දෙන “හංස විලේ යාළුවෝ” ළමා සාහිත්‍ය කෘතිය,දෙසතිය පුවත් සඟරාවේ මාධ්‍යවේදිනී මාලා මල්කාන්ති පරණගමගේ විසින් රචනා කරන ලද්දකි. ළමා සාහිත්‍ය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන ඇය, මේ කෘතිය කුඩා දරුවන්ට සමීප වන ආකාරය පිළිබඳ පැහැදිලි කළේ මෙසේ ය.

"මේ කෘතියෙන් බොහෝ දුරට කතා කරන්නෙ සමගිය ගැනයි. ඒ වගේ ම, සොබාදහම සහ ජීවිතය සම්බන්ධ කරගෙන, දරුවන්ට තේරුම් ගන්න පුළුවන් සරල භාෂාවකින් මේ කෘතිය ලියැවී තිබෙනවා. ඇතැම් අවස්ථාවල පුංචි දරුවො පවා එකිනෙකාට කේලම් කියමින් බේදභින්න ඇති කරන්න කටයුතු කරන අවස්ථා දකින්න පුළුවන්. එවැනි දේ හොඳ නෑ කියන කාරණාවත්, සමගියේ ඇති බලයත් දරුවන්ට පෙන්වා දීම, මේ කෘතියේ මූලික අරමුණක්."

මේ කතාව පුංචි දරුවන්ගේ මනසට කාවදින ආකාරයෙන්, ළමා මනසට ප්‍රිය උපදවනසුලු සිතුවම් යොදාගෙන රචනා කර ඇත. "පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වෙනුවෙන් මම මගේ ස්වාධීන නිබන්ධනය විදිහට ඉදිරිපත් කළේ ළමා කතා සංග්‍රහයක්. ඒ අතරින් එකක් තමයි “හංස විලේ යාළුවෝ”. කොළඹ ළමා පොත් සංගමයෙන් පැවැත්වුණ අත්පිටපත් තරගයකට මම මෙහි අත්පිටපත යොමු කළා. ඒ අත්පිටපතට ළමා සාහිත්‍ය සම්මානය හිමි වුණා. පසුව “හංස විලේ යාළුවෝ” ප්‍රථම වරට මුද්‍රණය වුණේ, 2011 ලෝක ළමා පොත් දිනය වෙනුවෙන්. පසු කාලෙකදි අධ්‍යාපන අමාත්‍යංශයෙන් යෝජනා කළා අධ්‍යාපන අමාත්‍යංශයේ බලපත්‍රය සහිතව මේ පොත නැවත මුද්‍රණය කිරීමට. ඒ අනුව 2018 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව, නැවත මුද්‍රණයක් විදිහට ප්‍රකාශයට පත් කළා."

6 - 10 වයස් සීමාව සැලකෙන්නේ පුද්ගල වර්ධනයේ තීරණාත්මක අවධියක් විදිහට ය. ඒ කාලයේ දී දරුවන් අතට පත්වන කෘති, ඔවුන්ගේ ජීවිතය ගොඩනැඟීමට බලපායි. ළමා සාහිත්‍ය කෘතියකින් බොහෝවිට ලබා දෙන්නේ, හරවත් උපදේශයක් වගේ ම, ජීවිතයට ආදර්ශයකි. එවැනි කෘති කියවීම මඟින්, වර්ධන අවධියේ සිටින දරුවන්ට මානව ගුණාංග, ආකල්ප සහ සිතුවිලි වර්ධනය කර ගන්න අවස්ථාව හිමි වේ. එහෙත්, වර්තමානයේ දරුවන් කියවීමට යොමු වනවා අඩු ය. කුඩා අවධියේ පටන්ම, අධ්‍යාපනයේ ඇති තරගකාරිත්වයට හසු වන ඔවුන්, විෂය බාහිර පොතපත කියවීමෙන් ඈත් වෙයි. ළමා කෘති කොතරම් ලියැවුණත්, ඒවා පරිශීලනය කිරීමේ අඩුවක් පවතින බැවින්, ළමයින්ගේ මානසික වර්ධනය අද පවතින්නේ අයහපත් මට්ටමක ය.

"වර්තමානයේ ජීවත් වන ළමයි බොහොම ආවේගකාරීයි. අකීකරුයි. ළමයින්ගේ මානසික වර්ධනය යහපත් අයුරින් වෙන්න නම්, ළමා කෘති පරිශීලනය කළ යුතුයි. අද කාලේ ඉස්සර වගේ ළමයකු ළඟට අරන් කතන්දරයක්වත් කියලා දෙන්න කෙනෙක් ගෙදරක නෑ. මවුපියන් ඉතා කාර්යබහුලයි. අද තිබෙන න්‍යෂ්ටික පවුල ඇතුළෙ, ආච්චිලා, සීයලා ළමයි ළඟ නෑ. කුඩා අවධියේදි ළමා මනසට ලැබිය යුතු හොඳ දේ නොලැබී ගියහම තමයි, වැඩිහිටි අවධියේදී දරුණු විදිහට හැසිරෙන්නෙ. ඒ නිසා ළමා සාහිත්‍ය, දරුවාට ළං කිරීම අතිශයින් වැදගත්."

ළමුන් සඳහා ග්‍රන්ථ රචනා කිරීම එක්තරා ආකාරයක අභියෝගයකි. ඇය ඒ පිළිබඳ දක්වන්නේ මෙබඳු අදහසකි.

"බොහෝ අය හිතන්නේ, නවකතාවක්, පර්යේෂණ ග්‍රන්ථයක් ලිවීම අසීරු කටයුත්තක් බව සහ ළමා පොත් ලිවීම ලෙහෙසි පහසු කටයුත්තක් බවයි. ඒත්, දරුවන්ට ලියන දේ කළ යුත්තේ, ළමා මනස තේරුම් අරගෙන, වඩාත් වගකීමෙන් සහ සැලකිල්ලෙන් බොහෝ දෙනකු ඒ කිසිවක් පිළිබඳ තැකීමක් නොකර, ව්‍යාපාරික මුහුණුවරකින් ළමා කෘති රචනා කරනවා. රැල්ලට හසුවෙලා, එක දිගට එක පෙළට පොත් ලියාගෙන යනවා. ඒත් විය යුත්තේ, ළමයාගේ මනස අධ්‍යයනය කර, ඊට ඔබින අන්දමෙන්, සිත් ඇදගන්නාසුළු ළමා පොත් ලිවීමයි.

වර්තමානය වනවිට නිරතරුවම උසස් ළමා කෘති ලියැවෙනවා. ඒත්, ළමයින් ඒවා පරිශීලනය කිරීමෙන් ඈත්වෙලා. අද පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමයත් සමඟ, මාපියන් උත්සාහ කරන්නේ පෙර පාසලේ පටන්ම දරුවා තාරගයට ඇතුළත් කිරීමටයි. දරුවන්ට ළං කරන්නේ, පෙළ පොත් විතරයි. විෂය බාහිර අධ්‍යාපන කෘතියක් හෝ කතන්දර පොතක් කියැවීම, කාලය අපතේ යැවීමක් විදිහට දකින මාපියන් පවා අපේ සමාජයේ සිටිනවා.

ඒ නිසා, දරුවන් කියවීමට යොමු වෙන්නෙ නෑ. මාපියන් යොමු කරන්නෙත් නෑ. හොඳ ළමා කෘති බිහිවුණත්, ඒවා ළමයින් අතරට නොයෑම ගැටලුවක්. මාපියන් දරුවන්ට ගැලපෙන පොත් තෝරා දී, කියවීමට හුරු කළ යුතුයි. අතීතයේදී අපට වැඩිහිටියන් නිරතුරුවම ගෙනත් දුන්නේ පොත්. ඒත්, අද කාලේ අම්මලා, තාත්තලාට වැදගත් වෙලා තියෙන්නේ තරගය විතරයි. ඒ මඟින්, දක්ෂ දරුවෙක් බිහි වෙන්න පුළුවන් වුණත්, ගුණධර්මවලින් පිරිපුන්, යහපත් පුරවැසියෙක් බිහි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

ඉදිරියට මගේ වැඩි කැමැත්තක් තිබෙන්නේ, ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කෘති රචනා කිරීමටයි.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න