F2 - ෆන් ඇන්ඩ් ෆ්‍රස්ට්‍රේෂන් | දිනමිණ

F2 - ෆන් ඇන්ඩ් ෆ්‍රස්ට්‍රේෂන්

ප්‍රහසනාත්මක තෙළිඟු සිනමා පටයක් වන ‍F2 - ෆන් ඇන්ඩ් ෆ්‍රස්ට්‍රේෂන් පවුලේ සැමටම උපරිම වින්දනයක් ලබා දෙන්නකි. වෙන්කි (වෙන්කතේෂ්), වරූන් (වරූන් තේජ්), හාරිකා (තමන්නා භාතියා), සහ හනී (මේරීන් පිර්සාඩා) යන චරිත හතර වටා කතාව ගෙතී තිබේ. වෙන්කි මනාලියක සොයන අනාථ තරුණයෙකි. ඔහු හාරිකාට කැමැති වන්නේ ඇය පවුලකට සම්බන්ධ වීමට අකැමැති නිසයි. හාරිකා සමඟ විවාහ වූ පසු හාරිකා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් නිසා හෙතෙම කලකිරීමට පත්වෙයි. වරූන් නිදහසේ සිවි ගෙවන තෙළිඟු තරුණයකි.

ඔහු හාරිකාගේ නැගණිය හනීට පෙම් බැඳ විවාහ ගිවිස ගනී. වෙන්කි, වරූන් බිරියගේ නැගණියගේ සැමියා වීමට යන බව දැන ගනී. ඔහු වරූන්ට බිරියගේ පවුල ඇසුරු නොකරන ලෙස දන්වා සිටියද ඔහු එය ගණනකට නොගනී.

අමිහිරි අත්දැකීම් ගණනාවකට පසු වරූන් වෙන්කි පැවසූ දේ සත්‍ය බව තේරුම් ගනී. බිරියගේ පවුලත් සිය පවුලත් නිසා බැට කන අසල් වැසියකු (රාජේන්ද්‍ර ප්‍රසාද්) ඔවුනට වෙනත් රටකට යන ලෙස උපදෙස් දෙයි. අසල් වැසියාත් වරූන් සහ වෙන්කිත් දෙදෙනාත් යුරෝපයට ගොස් විනෝදකාමී දිවියක් ගත කරද්දී හාරිකා සහ හනී ද එහි පැමිණ සිටින බව දැන ගනී.

මේ සියලු දෙනාම මිලියනපතියකුවූ ස්වාමි නායිදුගේ (ප්‍රකාශ් රාජ්) නිවෙසේදී හමුවන අතර එහිදී හාරිකාත් හනීත් නායිදුගේ පුතුන් දෙදෙනා හා විවාහ ගිවිස ගැනීමට යන බව දැනගෙන කම්පාවට පත්වෙයි. වෙන්කිට හා වරූන්ට යළි හාරිකා සහ හනී හිමිකර ගැනීමට හැකිවේවිද? ජනවාරි 12 වැනිදා සිට තිරගත වන මේ සිනමා පටය මෑත කාලයේ විශ්වාස කළ නොහැකි තරමේ ඉහළ ආදායමක් ලද සහ ලබමින් පවතින දකුණු ඉන්දීය සිනමා පටය බවට පත්වී ඇත. ජනවාරි 21 වන විට සිනමා පටයට අමෙරිකානු රසිකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 1.753 කි. අනිල් රවිපුඩි අධ්‍යක්ෂණය කළ ‍F2 - ෆන් ඇන්ඩ් ෆ්‍රස්ට්‍රේෂන් රසිකයන් සිනා සයුරක ගිල්වන පවුලේ රස උල්පතක් වී අවසන්ය.

සිනමා පටය මේ වන වි‍ට ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායමක් ලබා ඇති අතර නිෂ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 30ක් පමණි.

චම්පිකා දීපානි රණ­සිංහ

නව අදහස දක්වන්න