චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම්කරණය ඇරැඹේ | දිනමිණ

චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම්කරණය ඇරැඹේ

බුද්ධිකා ඉඹුලාන

ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරැදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බව එහි නිරීක්ෂණයට ගිය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතාට දෙපාර්තමේන්තු නිලධාරීන් පැවැසීය.

මේ හේතුව නිසා ඇතැම් ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරුලාභීන්ගේ භූමි ප්‍රමාණය නිර්ණයේ දී නිවැරැදි භූමි ප්‍රමාණය සටහන් නොවීම නිසා පොහොර සහනාධාරය ලබා දීම, කුඹුරු ඉඩම් සඳහා වගා හානි ලබා දීම මෙන්ම වාර්ෂික අපේක්ෂිත අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද මින් බාධාවක් වී ඇති බව නිලධාරීන් ඇමැතිවරයාට කීය.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02ක (මහවැලි ඉඩම් හැර) ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදාගෙන කුඹුරු නාම ලේඛනය පරිගණකගතකරණය හා සිතියම්කරණයෙහි අවශ්‍යතාව ඇමැතිවරයාට පෙන්වා දුන්නේය.

වර්ල්ඩ් වීව් ටූ අමෙරිකානු චන්ද්‍රිකාව උපයෝගී කරගෙන ඒ අනුව ගම්පහ, යාපනය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි මේ වන විට කුඹුරු ඉඩම් සිතියම් ගත කොට පරිගණක දත්තවලට ඇතුළත් කර ඇති බව එහි දී ප්‍රධාන ඉංජිනේරු ප්‍රභාත් විතාරණ මහතා ඇමැතිවරයාට දැන්වීය.

මෙතෙක් සිතියම් ගත නොවූ කුඩා ඇළ මාර්ග, පොදු කමත්, දිය උල්පත්, කෘෂි මාර්ග ද මෙමඟින් සිතියම් ගත කළ හැකි බවත්, මිනිස් ශ්‍රමය අල්ප වශයෙන් යොදා ගැනීම හා සිතියම්ගත කිරීමට වැය වන මුදල අවමවීම විශේෂත්වයක් බව ඉංජිනේරුවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

ගම්පහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිතියම්කරණය සඳහා රුපියල් මිලියන 05ක් වැය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කුඹුරු ඉඩම් හැකි ඉක්මනින් පරිගණක සිතියම්ගත කරන ලෙස ඇමැතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. බී. වීරසේකර ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න