රේගුව!! | දිනමිණ

රේගුව!!

ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුව තුළ පැවැති අර්බුදය විසැඳුමකින් කෙළවර වීම ඉතා වැදගත් ය. එලෙස ම රේගුව ආශ්‍රිත ව පවතින ඇතැම් අක්‍රමිකතා ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කිරීම ද ඒ තරම් ම වැදගත් ය. රේගුව අකර්මණ්‍ය වුවහොත් ආර්ථිකය හා සම්බන්ධ විදේශීය ගනුදෙනු එහෙම පිටින් ම අසාර්ථක වනු ඇත. ඒ හැරෙන්නට රාජ්‍ය ආදායමට නිතිපතා රේගුවෙන් ලැබෙන ආදායම නවතිනු ඇත. ඊටත් වඩා භයානක කාර්යය වන්නේ පිටරටින් ගෙන්වන හොර බඩු විවිධ මාර්ග ඔස්සේ රට තුළට කඩාවැදීමට ඉඩ තිබීම ය. රේගුව යනු අත්‍යවශ්‍ය සේවාවකි. එය දවසේ පැය විසිහතර පුරා වරාය තුළ ද ගුවන් තොටුපොළවල් තුළ ද ක්‍රියාත්මක විය යුතුය.

රේගු දෙපාර්තමේන්තුව දින ගණනාවක වර්ජනයක නිරත වූයේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය එම තනතුරෙන් ඉවත් කිරීම නිසා ය. අමාත්‍යාංශයේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උසස්වීමක් ලබා දෙන්නට ගිය බවය. ඒ සමඟම කියැවෙන අනෙක් වැදගත් කාරණය වන්නේ රේගුවෙන් අපේක්ෂිත ආදායම නිසි අයුරින් නොලැබෙන බව හා රේගුවේ වැඩකටයුතුවලට මාෆියා සංවිධාන කිහිපයක බලපෑම් එල්ල වී ඇති බව ය. මෙය අතිශය භයානක තත්ත්වයකි. රේගුව මාෆියා සංවිධාන ඔස්සේ පාලනය වන්නේ නම්; රටේ ආර්ථිකයට අතිශය භයානක බලපෑම් ඒ මගින් එල්ල විය හැකි ය. කුමන තත්ත්වයක් යටතේ වුව මාෆියා සංවිධානවල බලපෑම නැවැත්විය යුතුය.

ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුව හා එහි නිලධාරීන් මෙබඳු බලපෑම්වලට යටත් විය යුතු ද? රේගුවේ ඉතිහාසය ගතහොත් ඊට දීර්ඝකාලීන ඓතිහාසික වටිනාකමක් තිබේ. ක්‍රි.ව. 114 දී රාජ්‍ය පාලනය හෙබ වූ පළමුවන ගජබා රජුගේ සමයට අයත් සෙල්ලිපි ගණනාවක ජාත්‍යන්තර වෙළෙඳාම නිරීක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳ උපදේශන සඳහන් වී ඇත. එයින් පැහැදිලි වන්නේ අපට රේගුව ආගන්තුක නොවන බව ය. ඉතා ඈත අතීතයේ පටන් විධිමත් ආකාරයකින් පවත්වාගෙන ආ රේගු කාර්යාවලියක් අපට තිබේ. එය නූතන තාක්ෂණයේ ද ආධාරය ලබාගෙන ඉදිරියට ගෙනයෑම අද සිදුවිය යුතුය. රේගුවට අනිසි බලපෑම් කරන යම් ආයතනයක් හෝ යම් සමාජ කණ්ඩායමක් හෝ සිටිත් නම්; ඒ අයට හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

රේගුවේ කාර්යභාරය කෙතරම් වැදගත් ද යනු නිරීක්ෂණය කිරීමට අදාළ සාධක කිහිපයක් දැක්විය හැකි ය. සාමාන්‍ය ලෙස රේගුව රජයට දිනක දී ලබාදෙන ආදායම රුපියල් ලක්ෂ සියය ඉක්මවයි. එහි අදහස වන්නේ දිනකට රුපියල් කෝටියක් හෝ ඊට වැඩි මුදලක් රේගුව ලබා දෙන බව ය. වාර්ෂිකව ගතහොත් රුපියල් බිලියන ගණනක ආදායමක් රේගුව විසින් රජයට ලබා දෙනු ලැබේ. මේ හැරෙන්නට දේශීය ආර්ථිකය විකෘති කරනු ලබන හා දේශීය ආර්ථිකය පසුගාමී තත්ත්වයට පත් කරනු ලබන බලවේග හා ක්‍රියාකාරකම් රේගුව විසින් පාලනය කරනු ලැබේ. කොටින් ම රේගු දෙපාර්තමේන්තුවේ නිසි ක්‍රියාකාරිත්වයකින් තොරව රටේ ආර්ථිකය පවත්වාගැනීම අසීරු වෙයි.

දින හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රේගුව අකර්මණ්‍ය වී තිබිණි. අකුරට වැඩ කිරීම්, අත්‍යවශ්‍යම සේවා පමණක් ඉටුකිරීම් හා මුළුමනින් ම වැඩ වර්ජනය කිරීම් ද මීට ඇතුළත් විය. මේ තත්ත්වය නිසා පිටරටින් මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ වරායේ හා ගුවන් තොටුපොළේ ගොඩගැසී තිබිණි. පිටකොටුවේ තොග කඩ වසා දැමුණු අතර එම තොග කඩ ඇති වීදිවල නාට්ටාමිලා ක්‍රිකට් ගැසූහ. මේ තත්ත්වය නිසා සුළු සේවකයෝ ද බලවත් දුෂ්කරතාවකට පත් වූහ. තවත් සතියක් මේ වර්ජනය පැවැතියේ නම්; ආර්ථිකය මුළුමනින්ම විකෘති වී අනපේක්ෂිත තත්ත්වයක් උදාවීමට ඉඩ තිබිණි. මේ අනුව රජය ගත් තීරණය ඉතා නිවැරැදි බව පෙනී යයි.

රේගුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීම වූයේ තනතුරෙන් ඉවත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය නැවත සේවයේ පිහිටවනු යන්න ය. එහෙත් රේගුව තුළ දූෂණයට, වංචාවට හා තවත් අක්‍රමිකතාවලට ඉඩක් තිබේ නම්; එම ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් වන්නේ නැත. රජය ඒ සම්බන්ධයෙන් සැලැකිල්ල යොමුකොට රේගුව ආශ්‍රිතව සිදුවන දූෂණ හා වංචා සෙවීමට කමිටුවක් පත් කිරීමට තීන්දු කිරීම ඉතා වැදගත්ය. එම තීන්දුවට අනුව විශ්‍රාමික විනිසුරුවරයකුගේ නායකත්වය යටතේ එම කමිටුව ක්‍රියාත්මක වනු ඇත. 2012 දී ගම්මිරිස් හා පුවක් අපනයනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වංචාවක් ගැන සංවාදයක් තිබිණි. ඊට පැවැති ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනකු සම්බන්ධ බව ද වාර්තා වී තිබිණි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙන ලෙස රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට කිසිදු පෞද්ගලික හේතුවක් හෝ දේශපාලනික හේතුවක් හෝ බලපා නැත. අමාත්‍යාංශය සිදුකර ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලික ලෙස එම තනතුරෙන් බැහැරකොට රේගුව හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් යම් ආකාරයක විමර්ශනයක් සිදුකිරීම ය. එම විමර්ශනයේ අරමුණ වූයේ ද රේගුවේ අක්‍රමිකතා ඉවත්කොට ආදායම් මාර්ග වැඩිකර ගැනීම ය. රේගුවට චෝදනා එල්ලවන්නේ දීර්ඝ කාලයක සිට ය. ඒවාට නිශ්චිත විසැඳුම් මෑත කාලයේ කිසිදු ආණ්ඩුවක් ගෙන නැති බවද පැහැදිලි ය. ඒ අතින් බලනවිට රේගුවේ කටයුතු නිරීක්ෂණය කිරීමට කමිටුවක් පත්කිරීම වැදගත් තීරණයකි.

ලෝක රේගු දිනය පසුගිය ජනවාරියේ දී පැවැත්විණි. ලෝකයේ ප්‍රකට වරායවල්වල ද ගුවන් තොටුපොළවල්වලද රේගු නිලධාරීහු එය මහ ඉහළින් සැමරූහ. ශ්‍රී ලංකාවේ ද එය යම් පමණකින් සිහිපත් කළ බව අපට මතක ය. රේගුව අවංක සේවයක නිරත වන්නේ නම්; එය රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් වනු ඇත.

 

නව අදහස දක්වන්න