බස රකින්න කැපවුණු කාරියකරවන | දිනමිණ

බස රකින්න කැපවුණු කාරියකරවන

“අද සිය 12 වැනි සංවත්සරය පවත්වන “භාෂාප්‍රේමී සන්ධානයේ’ නිර්මාතෘ දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී. එෆ්. කාරියකරවන සූරීන් ගැන මීට වසර හයකට උඩදී සන්ධානයේ නිල සඟරාව වන ‘සිංහල’ වෙනුවෙන් කෘතහස්ත මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් විසින් සපයන ලද ලිපියකි මේ.’

උගන්නැ සියබස
මත් වත්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව
කියා දෙන්නැ අනුනටත්

බසට ළැදි ඩී. එෆ්. කාරියකරවන ඇදුරුතුමන් පිය නඟන්නේ, බසිසුරු පෑ එමඟෙහි ය. කුමරතුඟුන් එදා ලක්මිණි පහනින් කළ බස් මෙහෙය කාරියකරවනයෝ මෙදා ජනතා පතින් නොමසුරුව ඉටු කළහ.

භාෂා සන්ධාන පිහිටුවා බලමුළු ගන්වා දික්සඟලා පුටුවෙහි හිඳ තරු ලකුණු බලමින් පෙර මඟ පෙන්වන සාත්තු නායකයාණෝ ද වෙතියි, මම ඩී. එෆ්. කාරියකරවන සූරීන්ගේ “අරුත් නිරුත්” පොතට පසුවදනක් ලෙස සඳහන් කළෙමි.

“සිංහලය අන්තිම ප්‍රමාණයේ ම්ලේච්ඡ භාෂාවක් බවට හැරීමේ ලකුණු දැන් දැන් උදාවෙයි. පළවන ඇතැම් පත පොතමැ ඒ බව පැහැදිලි කෙරේ. අනාගතයේදී ලංකා ඉතිහාසය ලියන්නෝ මේ කාලපරිච්ඡේදය විභාග කරන්නාහු භාෂා තත්ත්වයෙන් ජන සමාජය මනිති. ශිෂ්ට ජනතාවගේ පළමු කොටැමැ ශිෂ්ට වනුයේ භාෂාව යැ.

“ශිෂ්ට භාෂායෙහි අසහාය ලක්ෂණය නම් රීත්‍යනුකූල වීමයි. උන්මන්තකයන්ගේ විප්‍රලාපයෙහි ද අර්ථ සම්බන්ධය නැතත් බොහෝ විටැ පද සම්බන්ධය ඇත්තේ ය. මේ කාල පරිච්ඡේදයෙහි මැනැවැයි සම්මත වූ පොත්හි පද සම්බන්ධය පවා නැත්තේ යැ. එහෙයින් භාෂාව අත්‍යන්ත ප්‍රමාණයෙන් මිලේච්ඡ යැ. මිලේච්ඡ භාෂාවක් ව්‍යවහාර කළ ජනතාව මිලේච්ඡ බව කිව මනා ද? අනාගත ඉතිහාසයෙහි අපගේ කාල පරිච්ඡේදය සඳහන් වන සැටි යැ මේ. බැලුව මැනැවි ශ්‍රී ජයවර්ධනපුර සමයයෙහි ග්‍රන්ථ දෙස, අපි ඒ ග්‍රන්ථ භාෂා ව්‍යවහාරය අතින් ගුරුකමට ගනිමු ද? “අසාමය පැවැති කාලයෙහි ශාස්ත්‍රඥානය හීනවැ පවැත්තේනේ යැ. එහෙයින් එකලැ ග්‍රන්ථ එබඳු යැ”යි නොකියමු ද? ඔහු එසේ ගැලැවෙති. අපි කුමක් කියා ගැලැවෙමු ද? අපට අසාමයක් නැත්තේ යැ. රාජ්‍යය දැන් සුස්ථාවර යැ. එහෙයින් ශාස්ත්‍ර ඥානය හීන වුවහොත්, භාෂාව අශිෂ්ට වුවහොත්, ඒ අපගේ මැ මිලේච්ඡත්වය නිසා විය යුතුයි. අපට කොතරම් නින්දාවෙක් ද?”

ඒ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් කලකට ඉහත ලියූ ලිපියක උපුටනයකි.

මා මුලින් ගෙනහැර දැක්වූයේ 1936 දී බසිසුරු කුමාරතුංග මුනිදාසයන් “විද්‍යෝදය” වෙළුමේ - 1 වැනි කලබට එදා ලියූ ලිපියක උපුටනයකි. එදා වල් බිහි වූ බස නිරවුල් කිරීමට කුමරතුඟුන් ගත් මඟ අද කාරියකරවනයන් ද නියැළී සිටි බව තහවුරු කරනු පිණිස යැ ඒ.

උගන්නැ සියබස
මත්වන්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව
කියා දෙන්නැ අනුනටත්

මේ කුමරතුඟු බස කාරියකරවනයන් සිය දිවි මඟ ආප්ත පදය ලෙස ගත් බව සක්සුදක් සේ පැහැදිලි ය. කාරියකරවනයන් පිය නඟන්නේ කුමරතුඟු මඟෙහිම යැ. එබැවින් මා ඔවුන්ගේ “අරුත් නිරුත්” ග්‍රන්ථයට මුලින් දැක්වූ පසුවදන ලීවේ.

“පත්‍ර සංස්කාරකත්වය සිය දිවි පැවැත්වීමේ එකමැ මඟ කැරැ ගන්නවුන් අතින් භාෂාවට හෝ රටට හෝ සැලැකියැ යුතු සේවයක් වෙති යි සිතීම එක් අතෙකින් දුෂ්කර වුව ද, මේ අතින් පවා ඇතැම් ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකවරුන් කෙරෙහි දක්නා ලැබෙන දැඩි දීන ගති නිසා නොවේ නම්, සිය පිට කොන්ද ඍජුවැ තබා ගන්නට අල්පමාත්‍රා වූ ද ධෛර්යයක් නැති බව නිසා නොවේ නම්, පත්‍ර සංස්කාරත්වය මගින් නිරන්තරයෙන්මැ සිදුවන බව පෙනෙනුයේ රටටත්, බසටත් අවැඩෙක්මැයි.

තමන් කුලියට ඉන්නා ගෙයින් පලවා දෝ යන බියෙන් තමන් මවට ගෙහිමියා නින්දා කරනු, හිංසා කරනු බල බලා ඉවසා සිටිනා දීනයන් මෙන්, මෙරටැ ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකවරු සිය තැන ගැලැවේ දෝ බියෙන් මවු බස කැත කරන්නවුනට රුකුල්මැ දෙති. මොවුන්ගේ දීනත්වයේ තරම සාමාන්‍යයන් නොදන්නා හෙයින්, රට රවටා ගැනීමට මොවුනට ඇති වන්නා වූ නිදහස සිංහල භාෂාවට අත්‍යුග්‍ර සතුරු කමක්වැ පවතී” යැයි ජයන්ත වීරසේකරයන් කීවේ අද ඊයේ තතු දැනගෙන දැයි කුකුස් හට ගැනීම වැළකිය හැකිද? අද එය එසේ නොවේ, වීරසේකරයන් එසේ ලීවේ “සුබස” පළමු වැනි වෙළුමට ඈත දිනෙක ය.

අප ගුරු ඩී. එෆ්. කාරියකරවනයෝ ඒ ගණයට නොවැටෙති, නොගැනෙති. ටයිම්ස් මැදුරේ ලංකාදීපයේ සිටිය දී ද, ලේක්හවුසියේ ජනතාවේ, දිනමිණේ හෝ සිළුමිණේ සිටියදී ද එතුමෝ උජුපටිපන්න වූහ. ඇතැම් විට ගැටුම් හට නොගැනුණා නොවේ. එසේ ගැටුම් ඇති කරගත්තේ ද තමන් ගත් පිළිවෙත් අරබයා ය.

කාරියකරවන සූරීන් සුබැසියෙකි. ඒ කියන්නේ බසිසුරු කුමාරතුංගයන්ගේ අනුගාමිකයෙකි. දෙස - බස - රැස තෙරුවන සේ රකින්නෙකි. කුමාරතුංග පඬිවරයාගේ භාෂා ව්‍යාපාරය හුදෙක් බස වෙනුවෙන් පමණක් පෙනී සිටියේ නැත. ඒ හා බැඳුණු සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ද තිබිණ. එහෙත් පත්තරකාරයකු වූ කාරියකරවන වියත්හු කුමාරතුංගයන් “සුබස” සඟරාවෙන් ගෙන ගිය භාෂා ව්‍යාපාරය ලේක් හවුසියේ “ජනතා” පත්ත‍රයෙන් ගෙන ගියේ ය.

“ජනතා” සවස පත්තරයකි. සවස වැඩ ඇරී ගෙදර යන ගමන් කියවීම ඉලක්ක කරගත් පත්තරයකි. එහෙත් එමඟින් සිය බස පිරිපහදු කිරීමේ කාරිය කරගෙන යෑමට ඔහු දැඩි වෑයමක යෙදුණේ ය.

කුමාරතුංගයන් ශාස්ත්‍රීය පොත පත ලියන්නට භාවිත කළ හුදු හෙළ බස සාමාන්‍ය පාඨකයාට ද හුරුපුදුරු තලයකට ගෙන එන්නට කාරියකරවනයන් එක් අතකින් අත්හදාබැලීමක් කළ බව මගේ වැටහීමයි.

ඔහු පත්තරයේ ලිපි ලීවේ ද කතුවැකි ලීවේ ද අපූරු තරුණකමක් ඇති පණ ඇති බසකිනි. ඒ කියන්නේ ජීව භාෂාවකිනි. එය ගත් වහරත්, කට වහරත් මුසු කරගත් සරල සුගම අපූරු බස් වහරක් බව මගේ වැටහීමයි.

ඔහු 1945 ලියූ කෙටි කතා පොතේ නම “හොඳ සහ රස” ය. දෙවැන්න “මාළු අයින” (1952). තෙවැනි නිර්මාණය “කරට කර” ය (1953). කවි එකතුව (1946) “ශෝක ගීතය” යි. චාරිකා ග්‍රන්ථ ඇවිද්ද පය 1 – 2 හා 3යි. ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදාන නම් කරන්නේ “දසක සතක මතක” (1998) යනුවෙනි. දෙවැන්න (2000) “මතක පොතෙන් තවත් ටිකක්” ය. තෙවැන්න (2003) “මතක පොතේ ඉතිරි හරිය”යි. මේ ග්‍රන්ථ නාම මට නම් හරි අපූරු ය.

“මතක පොතේ ඉතිරි හරිය” ට ඔහු ලියන පෙර වදන බලන්න.

“මෙහි යම් යම් කොටස් අවුරුදු කීපයකට පෙර ලියන ලද ඒවා ය. තව ඇතැම් කොටස් ද දඩි බිඩි ගා මේ උණු උණුවේම ලියූ ඒවා ය.”

අලුත ලියූ ඒවා හැරෙන්නට අනෙක් කොටස් එළි දකින්නට තිබුණේ කලකට පෙර ය. පරිගණක වැඩ බාරගත් උදවියගේ ප්‍රශ්නයක් නිසා මගේ මුදලුත් කාලයත් අපතේ ගියේ ය. අත් පිටපත් ආපසු ලැබුණේ ද සෑහෙන කාලයකට පසුව ය.”

මේ බස කොතරම් සරල ද? සුගම ද? රසවත් ද? එසේම ඔහු ලියන ස්වරයෙහි කිසියම් සෝපහාසී ගතියක් ද මට දැනේ.

කුමාරතුංග අනුගාමිකයෙකැයි කී සැණෙන් බොහෝ දෙනකු හිතන්නේ ඒ ‘කට ඇද භාෂාවක්’ වහරන්නකු කියා ය. එහෙත් කාරියකරවන සූරීන් කුමරතුඟුන්ගේ නිවැරැදි බස් මඟ පත්තර භාෂාවක් බවට පත් කර ගැනීමේ දී දක්වන නිපුණතාවව ඉහළ ය.

අපේ රටේ බොහෝ ජනමාධ්‍යවේදීන් බිහි වුව ද අලුත් පරපුරකට ජනමාධ්‍යවේදය කියාදීමේ අදහස පහළ වූයේ කාරියකරවනයන්ට පමණි. ඔහු ලංකා පත්‍ර කලා සංගමය මගින් මාධ්‍යවේදීන්ට දූපතෙන් පිට ලෝකයක් ඇති බව පෙන්වා දීම පටන් ගත්තේ ය. ඉංගිරිසි පත්තරවල ඇත්තන්ට පමණක් හිමිව තිබුණු රට තොට බලාගන්නට යෑමෙ වරම සිංහල පත්තරකාරයන්ට ලබා දුන්නේ කාරියකරවනයන් බව කිව යුතු ය. එසේ ගිය ඇතැම් පත්තරකාරයෝ දක්ෂ චාරිකා සටහන් ලියන්නෝ වූහ. තවත් ඇතැමෙක් වර්ණවත් චාරිකා ලිපි ලියා සම්මාන පවා දිනා ගත්හ.

ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් කාරියකරවන සූරිහු සලකුණු කරති. කාලාන්තරයක් තිස්සේ මුද්‍රිත මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිළිබඳ සිහිනය දුටු කාරියකරවන මහතා තම පත්‍ර කලා සංගමයෙන් අවම පහසුකම් මැද පාඨමාලා සංවිධාන කළේ ය. එහෙත් ඔහුගේ ඒකායන අරමුණ වූයේ මුද්‍රිත මාධ්‍ය පාඨමාලාවක් විධිමත් ලෙස විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කිරීමයි. එම සිහිනය යථාර්ථයක් බවට පත් වූයේ කාරියකරවන මහතාගේ පුරෝගාමීත්වයෙන් මහාචාර්ය ජේ.බී.දිසානායකයන් මුල් වී කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමයි. මේ වනවිට අති සාර්ථක අන්දමින් සිංහල - ඉංගිරිසි මාධ්‍යවේදීන් සඳහා පාඨමාලා ක්‍රියාත්මකවීම කාරියකරවනයන්ගේ මහත් සතුටට හේතු වනු නොඅනුමාන ය.

ස්වකීය මාධ්‍ය ජීවිතයේ දී යොවුන් මාධ්‍යවේදීන් සිය ගණනකට පත්තර කලාවව උගැන් වූ පත්‍ර කලාගුරු ඔහු ය. රට රටවල යමින් ඒ ඒ රටවල මාධ්‍යවේදීන් හා එම ආයතනවල ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීමටත් ගොඩනඟා ගැනීමටත් - අත්දැකීම් හුවමාරු කරගැනීමටත් විටෙක එතෙර මාධ්‍ය ආයතනවල කෙටි කාලීන පුහුණුවක් ලබා ගැනීමමටත් ඔහු බොහෝ දෙනකුට අවස්ථාව සලසා දුන්නේ ය.

මේ වනවිට බෙහෙවින් පිරිහී ඇති බස යළි නඟාලීමට රෝගීව නිදි යහනේ සිටි ඔහු අනවරත මෙහෙවරක යෙදී සි‍ටියේ ය. මාධ්‍ය භාෂාවේ පිරිහීම ඉවසා දරාගත නොහී, හෙතෙම භාෂා සන්ධානයක් පිහිටුවා නිදි යහනේ සිටිමින්ම බස පිරිපහදු කිරීමේ සිය කාරිය රිසි සේ කරවීය.

ඩී.එෆ්.කාරියකරවන සූරීන්ගෙන් නූතන මාධ්‍ය‍වේදීන්ට ලබාගත හැක්කේ මාහැඟි පූර්වාදර්ශයකි. පැටි අවදියේම (1945) මිහිර සඟරාව අරඹමින් අංකුර මාධ්‍යකරුවකු වූ හෙතෙම මහා පත්‍රකලා ගුරු ඩී.බී.ධනපාල සූරීන්ගේ අවධානයට ලක්වීමෙන් “ලංකාදීප” ප්‍රථම කර්තෘ මණ්ඩලයට බැඳුණේ ය. එතැනින් ඔහු ගියේ පත්තර මහ ගෙදරට ය. ලේක්හවුසියට ය. ඔහු සිය මාධ්‍ය ජීවිතයේ දස්කමම් පාන්නේ එහිදී ය.’දිනමිණ’ උප කර්තෘ පදවියෙන් ඉහළට ගොස් ‘දිනමිණ’ ප්‍රධාන උපකර්තෘ වන හෙතෙම එහිදී වැඩ පෙන්නන්නේ ය.

ඩෙන්සිල් පීරිස්ගේ කර්තෘත්වයෙන් අරැඹුණු ‘ජනතා’ පත්තරයේ ප්‍රධාන කර්තෘ පදවිය ලබන ඔහු එතැනින් යොවුන් මාධ්‍යකරුවන් පරපුරක් බිහිකරයි. එම යොවුන් මාධ්‍යකරුවන් එතැනින් නික්ම අද පත්තරවල මහ පුටු හොබවමින් තැන තැන දස්කම් දක්වයි.

එදා අපේ ගිහි - පැවිදි පඬි පරපුර “ශත දහයේ විශ්ව විද්‍යාලය” ලෙස හැඳින්වූ ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ පදවිය දරමින් සිය අත් අකුරින්ම ප්‍රබල කර්තෘ වාක්‍ය ලියා ඔහු වාර්තාවක් පිහිටු විය.

තිලකරත්න කුරුවිට බණ්ඩාර

නව අදහස දක්වන්න