පළාත් අායතන 93කට රථ ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන් අද | දිනමිණ

පළාත් අායතන 93කට රථ ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන් අද

උදුලා පීරිස්

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි තුනක් ජනතා අයිතියට පත්කිරීම හා පළාත් පාලන ආයතන 93කට අවශ්‍ය රථවාහන ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) සහ හෙට (10) දිනයන්හි සිදුකෙරේ.

මෙරට ජනතාව ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ජාතික ආපදා කළමනාකරණ සහායක මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක පිරිසුදු නගරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් පළාත් පාලන ආයතන වෙත ලබාදීමේ වැඩසටහන යටතේ එම රථ වාහන ප්‍රදානය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

මේ අනුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානය, නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ගොඩනැගිලි තුනක් ඉදිකර ඇත.

අද (09) ප.ව. 02.30 ට ජනතා අයිතියට පත්කරන නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 620ක වියදමින් ඉදිකර ඇති අතර, 2017 පෙබරවාරි මස 06 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

ප.ව. 02.00 ට ජනතා අයිතියට පත් කරන ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයේ සුරක්ෂිත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 60කි.

හෙට (10 ) පෙ.ව. 10.00 ට ජනතා අයිතියට පත්කිරීමට නියමිත රුපියල් ලක්ෂ 780ක වියදමින් ඉදි කළ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිවුමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා ඉදි කිරීම් කටයුතු ආරම්භ කළේ 2017 ජනවාරි 09 වැනි දිනය.

මේ ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකි වූ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවන් සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු ඇතුළු නගරාධිපතිවරු, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගිවීමට නියමිතය.

නව අදහස දක්වන්න