මධූෂ් ! | දිනමිණ

මධූෂ් !

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කළ හැකි බවට සාධක මේ වන විටත් දැකගන්නට ලැබේ. අද පවතින තත්ත්වයට අනුව පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම යනු දෙකක් නොව; එකක් බවට කරුණු හෙළිදරව් වී තිබේ. හොඳම උදාහරණය මාකඳුරේ මධූෂ් නමැති අපරාධකාරයා ය. ශ්‍රී ලංකාවේ බලවත් ම පාතාලය සමඟ බලවත් ම කුඩු ජාවාරමද ඔහුගේ නායකත්වය යටතේ වසර ගණනාවක් තිස්සේ සිදු වී ඇති බව හෙළිදරව් වී තිබේ. මධූෂ් නම් අපරාධකාරයා කිසිවිටෙක අත්අඩංගුවට ගත නොහැකි යැයි මතයක් සමාජය තුළ තිබිණි. ඒ සියල්ල අනාථ කරමින් ඩුබායිහි දී මේ අපරාධකාරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් පිරිසක් සිටිති. ඒ අය අතර ශ්‍රී ලංකාවේ කලාකරුවෝ කිහිප දෙනෙක්ද සිටිති. අපේ රටේ පාතාලයට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටද ඇතැම් දේශපාලකයන් සමඟ සබඳතා තිබේ. ඇතැම් කලාකරුවන් සමඟ සබඳතා තිබේ. ඉන් නොනැවතී ඇතැම් පොලිස් නිලධාරීන් සමඟ ද මොවුනට සම්බන්ධතා තිබේ. සිදු කරන ලද වැටලීම්වලදී ද, සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම්වලදී ද ඒ බව පැහැදිලි වී ඇත. කුඩු මුදලාලිලා අත්අඩංගුවට පත්වූ විට ඔවුන් නිදහස් කරගෙන රට පනින්නට ආධාර කළ දේශපාලකයන්ගැන කතා ද ඕනෑතරම් තිබේ. කෙසේ වුව මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම හිටිහැටියේ ම බලවත් අර්බුදයකට ලක් වී ඇති බව පෙනෙයි.

අපේ රටේ පාතාලයට ඉතිහාසයක් තිබේ. එම ඉතිහාසය විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ පාතාලයේ වර්ධනයට දේශපාලකයාගේ බලපෑම අනිවාර්ය ලෙස තිබිය යුතු බවය. මධූෂ් නැඟී සිටියේ ද දේශපාලන හයිය ඇතිව බව පැහැදිලිය. මීට අදාළ සාක්ෂි හා තොරතුරු විමර්ශනයකදී හෙළිදරව් වනු ඇත. ඔහු සිදුකර ඇති අපරාධ වැල සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට ගියහොත් තවත් වසර ගණනාවක් යනතුරු ඒවා පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගත නොහැකි වනු ඇත .

මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය සමඟය. මේ අත්අඩංගුවට ගැනීම ඩුබායිවල නීතියට අනුව ඉදිරියට ගෙන යා යුතුව තිබේ. මැද පෙරදිග කොයි රටේත් මත්ද්‍රව්‍ය භාවිතයට හා අලෙවියට බුරුලක් නැත. ඒ අනුව මධූෂ් හා ඔහුගේ ගෝලයන් නීතිය හමුවට කැඳවනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය වෙනත් එකකි. දේශීය අපරාධ සමූහයක් සම්බන්ධයෙන් මධූෂ්ට එරෙහිව නඩු පැවරිය යුතුව තිබේ. එලෙසම යුක්තිය උ‍දෙසා ඔහුට දඬුවම් කළ යුතුව තිබේ. එහෙත් මේවා කළ හැකිද යනු ගැටලුවකි. හේතුව අපරාධකාරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැටලුවක් නිසාය. මීට අදාළ නීතිය උදර්පණ නීතිය ලෙස හැඳින්වේ. එබඳු නීතියකට අදාළ සම්මුතියක් ඩුබායි හා ශ්‍රී ලංකාව අතර නැත.

රජය මැදිහත් වී ඉල්ලීමක් කළහොත් අපරාධකාරයා හා ඔහුගේ සහචරයන් ඩුබායි පාලකයන් මෙරටට එවන්නට පුළුවන. ඒ පිළිබඳ සම්පූර්ණ අයිතිය හා නිදහස ඇත්තේ ඩුබායි බලධරයන් අත යැයි කියන්නට පුළුවන. කෙනකුගේ මතය වන්නේ මධූෂ්ට හා සමීප සහචරයන්ට ඩුබායිහිදී ලැබෙන දඬුවම වැදගත් බව ය. අපරාධකාරයා ශ්‍රී ලංකාවට ගෙන්වීම පවා ප්‍රතික්ෂේප කරන අය සිටිති. ඔවුන්ගේ අදහස වන්නේ මධූෂ්ට ඩුබායිහි දී මරණ දඬුවම ලබා දෙන්නේ නම්; එයට ඉඩදිය යුතු බවය. ශ්‍රී ලංකාවට මධූෂ් ගෙන්වා ගතහොත් ඔහු හා ඔහුගේ සහචරයන් නිදහස් වන්නට පුළුවන් බව කියන පිරිසක් ද සිටිති. රටේ නීතියේ ස්වභාවය එයින් පැහැදිලි වෙයි.

පාතාලය මර්දනය කළ යුතුය යන්න හැම පැත්තෙන්ම නැ‍ඟෙන යෝජනාවක් වන්මුත් පාතාල මර්දනයට ඉදිරිපත් වන පිරිස අඩු ය. දේශපාලකයෝ ඒ සම්බන්ධයෙන් පස්ස ගසති. රාජ්‍ය නිලධාරීන් හා ඇතැම් පොලිස් නිලධාරීන් පවා පාතාලයෙන් යැපෙමින් ඔවුනට සහයෝගය දක්වන තත්ත්වයක් දැකගන්නට ලැබිණි. උසස් ම පොලිස් නිලධාරීන් කුඩු මුදලාලිලාගේ මංගල උත්සවවල ප්‍රධාන ආරාධිතයා වූ අවස්ථා ද දැකගන්නට ලැබිණි. මේ තත්ත්වය ටිකෙන් ටික වෙනස් වන්නට වූයේ ජනාධිපතිවරයා කුඩු ජාවාරම මර්දනය සියතට ගැනීමත් සමඟය. අද දූෂිත නිලධාරියාට පවා මේ මෙහෙයුමෙන් පැනයා නොහැකිය. ජනාධිපතිවරයා ආරම්භ කර ඇත්තේ ඉතා වැදගත් ව්‍යාපෘතියකි. සිංගප්පූරුව හා පිලිපීනය සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි.

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කොතරම් තදින් ක්‍රියාත්මක වන්නේ ද යත්; නරක ම කුඩු මුදලාලිලාට මරණ දඬුවම ලබාදීමට තමන් එකඟ බව ඒ මහතා කියා තිබේ. මත්කුඩු වෙළෙඳාමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් ගණනාවක් තිබේ. අපද එම රටවල් ගොන්න අතරට යෑම ඉතා වැදගත්ය. පාතාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමද මර්දනයට පුළුල් හා ශක්තිමත් වැඩසටහනක් තිබිය යුතුය. ඒ පමණක් නොව; ඊට ජනතාවගේ සහයෝගය ද ලබා ගත යුතුය. ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව මෙබඳු ව්‍යාපෘති එකක්වත් සාර්ථක කර ගත නො හැකිය.

මධූෂ්ගේ දඬුවමගැන හෝ ඔහුට අත්වන ඉරණමගැන හෝ රටේ කිසිවකු කම්පාවන්නේ නැත. එහෙත් ඔහු සමඟ අත්අඩංගුවට පත්වූ ගායකයන්ට සිදුවන්නේ කුමක්ද? එක්කෝ ඒ අය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කොට ඔවුන් නිදොස් නම් මුදා හළ යුතුය. එසේ නොවී ඔවුන් කුඩු වෙළෙඳාමට හා පාතාල ක්‍රියාවලට සම්බන්ධ නම්; මධූෂ් සමඟ ඔවුන්ද දැඩි දඬුවම් විඳිය යුතුය. අනාගතයේ දී අප කල්පනා කළ යුත්තේ මධූෂ් වැනි අපරාධකාරයන් බිහිවන සමාජ පසුබිම වෙනස් කිරීමට ය.

 

නව අදහස දක්වන්න