ක්‍රිකට් නිලවරණය යළිත් උණුසුම් මොහාන්-රවීන් කැපේ | දිනමිණ

ක්‍රිකට් නිලවරණය යළිත් උණුසුම් මොහාන්-රවීන් කැපේ

ප්‍රින්ස් ගුණසේකර

නඩු මඟට යන්න සූදානමක්

ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුව ක්‍රීඩා ඇමැතිවරයා වෙත ලබා දී ඇති නිර්දේශ අනුව සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත්කර තිබූ මොහාන් ද සිල්වා මහතාට හා උප සභාපති තනතුරට නාම යෝජනා භාරදී ඇති රවීන් වික්‍රමරත්න මහතාට නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමි වෙයි. මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් මේ දෙදෙනා ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව ප්‍රකාශවී ඇත.

මේ පිළිබඳව මොහාන් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ මේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට එළැඹෙන බවය. “මේ තීන්දුව අපට සිතා ගන්නවත් බැරි එකක්. මේ පසුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. අපේ නීතිඥ මහත්වරු සමග සාකච්ඡා කොට නිසි ක්‍රියා මාර්ගවලට මේ සතියේ එළඹෙනවා. ක්‍රිකට් නිලවරණය කල් දැමීමට එක්තරා පිරිසකට අවශ්‍යයි. මේ සියල්ල ගැන සලකා අප සුදුසු ක්‍රියා මාර්ගයකට පැමිණෙනවා” මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති තනතුරට නාම යෝජනා දී ඇති ජයන්ත ධර්මදාස හා ෂම්මි සිල්වා යන මහත්වරුන්ට එරෙහිව ගොණුවූ විරෝධතා ප්‍රතික්ෂේප කොට එම අය නිලවරණය සඳහා සුදුසු බවට අභියාචනා කමිටුව නිර්දේශ කර ඇත. ලේකම් තනතුරට ඉදිරිපත්ව සිටින බන්දුල දිසානායක හා උප භාණ්ඩාගාරික තනතුරට තරග කරන ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ට එරෙහිව ගොණු කළ විරෝධතා ප්‍රතික්ෂේපවී ඇති හෙයින් ඔවුන් දෙනොට තරග වැදීමේ අවස්ථා උදාවී ඇත.

ඒ අනුව ක්‍රිකට් සභාපති තනතුරට ෂම්මි සිල්වා, කේ. මතිවානන් හා ජයන්ත ධර්මදාස යන මහත්වරු අතර තුන්කොන් සටනක් නිර්මාණයවී ඇති අතර ලේකම් තනතුරට නිශාන්ත රණතුංග, බන්ධුල දිසානායක හා ෂම්මි සිල්වා යන මහත්වරු අතර එවැනිම සටනක් ඇතිව තිබේ. මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු උප සභාපති තනතුරු දෙකක් සදහා අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ෂම්මි සිල්වා හා කේ මතිවානන් යන මහත්වරු සමග නාම යෝජනා දී තිබූ හෙයින් එයින්ද ඉවතට යනු ඇත. මොහාන් ද සිල්වා පාර්ශ්වය නියෝජනය කරන ෂම්මි සිල්වා මහතා සභාපති තනතුරට තරග කළහොත් උප සභාපති නාම යෝජනාව ඉවත්වී යන අතර එම පාර්ශ්වයේ කිසිවෙකුත් උප සභාපති තනතුරු දෙකට තේරී පත් නොවන තත්ත්වයක් නිර්මාණයවී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2019-21 දක්වා පරිපාලනය උදෙසා සභාපති, උප සභාපතිවරු දෙදෙනකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් පත්කර ගැනීමට නියමිත අතර නිලවරණය මේ මස 21වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

නාම යෝජනා ලබාදුන් පුද්ගලයන් 6කට විරෝධතා ඉදිරිපත්ව තිබූ අතර එම විරෝධතා සියල්ල විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගින් අධ්‍යනය කළේය. එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හා ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව යන මහතා කටයුතු කළහ.

ක්‍රිකට් නිලවරණයේ සාමාජික ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් ඉදිරිපත්වී තිබූ අතර නිලවරණ කමිටුවට ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් එක් විරෝධතාවක් පිළිගෙන අනෙක් විරෝධතා 15ක්ම ප්‍රතික්ෂේප විය. උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාරදුන් ගිහාන් වීරසිංහ මහතා එම තනතුරට සුදුසුකම් සපුරා නොමැති බවට ඉදිරිපත්ව තිබූ යෝජනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගත් හෙයින් ඒ මහතාගේ නාම යෝජනාව පමණක් ප්‍රතික්ෂේප විය. අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුව වෙතටද විරෝධතා භාරදීමේ අවස්ථා ක්‍රීඩා රෙගුලාසි අනුව උදාවී තිබිණි.

නව අදහස දක්වන්න