අම්බලන්ගොඩ විවෘත පිහිනුම් ශූරයා නුවිනු: ශූරිය සෙනෙෂි | දිනමිණ

අම්බලන්ගොඩ විවෘත පිහිනුම් ශූරයා නුවිනු: ශූරිය සෙනෙෂි

පිරිමි තරගය ජයගත් නුවිනු පෙරේරා (මැද), දෙවැනියාවූ ඩිෂේනි රණවීර (දකුණේ) සහ රෂේන් දිල්ෂාන් (තෙවැනියා)*කාන්තා තරගයේ ප්‍රථමයාවූ සෙනේෂි හේරත් (මැද), දෙවැනියාවු ෂසිනි නවෝධ්‍යා (වමේ) සහ මිනාගි රූපසිංහ (තෙවැනියා)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණඩලයේ මෙහෙයවීමෙන් අම්බලන්ගොඩ තානායම අසළ මුහුදු තීරයේදී ඊයේ (10) පැවැති සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගයේ පිරිමි අංශයේ තරගයට ඉදිරිපත්ව සිටි තරගකරුවන් හාරසිය හතලිස් දෙනෙකු පරාජයට පත් කළ කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ නුවිනු පෙරේරා ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. ඔහුට තරගය නිම කිරීම සඳහා විනාඩි 40 තත්පර 03ක කාලයක් ගතවී තිබුණි. විනාඩි 43.48ක කාලයකින් තරගය නිමකළ කොළඹ විශාකා විද්‍යාලයේ සෙනෙෂි හේරත් කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය.

පිරිමි තරගය විනාඩි 40.09කදී තරගය නිමකළ ඩිෂේන් රණවීර දෙවැනි ස්ථානය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේම රෂේන් දිල්ෂාන් (40.12) විසින් ද හිමිකර ගනු ලැබීය. කාන්තා තරගයේ දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ජී.සෂිනි නවෝද්‍යා විසිනි. ඇය විනාඩි 44.16කින් තරගය නිමකළ අතර කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ මිනාගි රූපසිංහ (44.58) තෙවැනි තැන අත්කර ගත්තාය.

මේ තරගයේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ෂෙවිනි රණවීර ද ලාබාලතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විද්‍යාලයේ කෙවිනි මුදලිගේ ද තේරී පත්වුහ.

49 වැනි වරට පැවැති මේ මුහුදු පිහිනුම් තරගයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවන් හාරසිය හතලිස් දෙනෙකුද තරගකාරියන් හැට පස් දෙනෙකුද ඉදිරිපත්වී සිටියහ. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් තරගකරුවන් රැසක්ද ඊට ඇතුළත්වුහ.

මේ මුහුදු පිහිනුම් තරගයේ සමස්ත පිරිමි ශූරතාව ලකුණු 101 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාට හිමිවූ අතර ලකුණු 66ක් ලබාගත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල‍ට අනු ශූරතාව හිමි විය. ලකුණු 59ක් ලබාගත් කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය කාන්තා සමස්ත ශූරතාවට හිමිකම් කියද්දී අනු ශූරතාව කොළඹ විශාකා විද්‍යාලයට (51) හිමි විය.

ජය සංකෙත් ප්‍රදානය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් භානුක අබේගුණවර්ධන සහ විද්‍යාලයේ හිටපු පිහිනුම් නායක බිද්ධික සම්පත් කුලතිලක යන මහත්වරු අතින් සිදු කෙරුණි. මේ අවස්ථාවට ධර්මාශෝක විදුහල්පති හසිත කේසර වෙත්තමුනි මහතාද එක්ව සිටියහ.

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස
ඡායාරූප - අම්බලන්ගොඩ සමූහ

නව අදහස දක්වන්න