තිසරලාගේ වික්ටෝරියන්ස් බී.පී.එල්. ශූරතාව දිනයි | දිනමිණ

තිසරලාගේ වික්ටෝරියන්ස් බී.පී.එල්. ශූරතාව දිනයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරා ක්‍රීඩා කළ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අවසන් තරගයේදී කොමිලා පිල හමුවේ උපුල් තරංග ක්‍රීඩා කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොමිලා පිල කඩුලු 3ක් දැවී ලකුණු 199ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඩකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 182ක් පමණි.

රොනී ටලුක්දාර් පන්දු 38කින් ලකුණු 66ක් රැස්කරමින් ඩකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු උපුල් තරංග හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 48ක් ඉනිමට එක්කළේ පන්දු 27කට පමණක් මුහුණ දෙමිනි.

පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 3ක් දවාගත් අතර තිසර පෙරේරා සහ මොහොමඩ් ශයිෆුඩීන් කඩුලු 2 බැගින් බිඳ දැමුහ.

පළමුව පන්දුවට පහරදුන් කොමිලා පිල වෙනුවෙන් අනගි ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ඉනිම නිමවනතෙක් කඩුල්ලේ රැදෙමින් නොදැවී ලකුණු 141ක් රැස් කළේය. හතරේ පහර 10කින් සහ හයේ පහර 11කින් ඉනිම සරසාගත් ඔහුට වැය වූයේ පන්දු 61ක් පමණි. එය මෙවර තරගාවලියේ වාර්තාවු 6 වැනි ශතකය මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

එනමුල් හක් (24) සමග දෙවැනි කඩුල්ලට පන්දු 61කින් ලකුණු 89ක් එක්කළ ඉක්බාල්, සිවුවැනි කඩුල්ලට ඉම්රුල් කේයස් සමගින් වේගවත් ලකුණු 100ක් එක්කළේ පන්දු 46කිනි.

අවසන් තරගයේ වීරයා ලෙස ඉක්බාල් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා සම්මාන ඩකා ඩයිනමයිට්ස් නායක ශකීබ් අල් හසන්ට හිමිවිය.

නව අදහස දක්වන්න