ප්‍රිමීයර් ලීග් පාපන්දු තරග රටාව වෙනස් කිරීමට එරෙහිව විරෝධයක් | දිනමිණ

ප්‍රිමීයර් ලීග් පාපන්දු තරග රටාව වෙනස් කිරීමට එරෙහිව විරෝධයක්

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමීයර් ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේ තරග රටාව හදිසියේ වෙනස් කිරීමට එරෙහිව පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් විරෝධය පළ කරයි. කණ්ඩායම් 16ක් ‘ඒ’ හා ‘බී’ ලෙස කණ්ඩ දෙකක් යටතේ මෙතෙක් ලීග් ක්‍රමයට තරග වැදුණද, තරගාවලිය අවසන්වීමට ආසන්නව තිබියදී පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට හදිසියේම තරග රටාව මාරු කිරීම මෙලෙස විරෝධතා එල්ලවීමට හේතුවී තිබේ.

පාපන්දු සම්මේලනයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිප දෙනකුද මේ සම්බන්ධව විරෝධය එල්ල කොට ඇති අතර ඔවුන්ගේ අදහස්වලට ද එරෙහිව යමින් මේ අවාසිදායක තත්ත්වය ඇති කළ බවට ක්‍රීඩා සමාජ ප්‍රධානීහු පවසති. තරග කමිටුවේ ප්‍රධානියෙකුට අයත් ක්‍රීඩා සමාජයක් ඉදිරියට ගැනීමේ අරමුණින් මෙලෙස තරග රටාව වෙනස් කළ බවට ද චෝදනාවක් පවතී. තරගාවලියකට එක්ව සිටින ක්‍රීඩා සමාජයක සභාපතිවරයෙකු තරග කමිටුවේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව දැනුම් දෙමින් පාපන්දු සම්මේලන සභාපතිවරයාට ලිඛිතව කරුණු දක්වන බව කොළඹ ආසන්න පාපන්දු ලීගයක සභාපතිවරයෙකු ‘දිනමිණ’ ට පැවැසීය.

මේ වන විට කාණ්ඩ දෙකේ ඉහළින්ම සිටින කණ්ඩායම් තුන බැගින් තෝරා සෑම කණ්ඩායමකටම තරග 3 බැගින් ලැබෙන පරිදි සුපර් සික්ස් වටයක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එයට නිව් ස්ටාර්, ගමනා ගමන මණ්ඩලය, යාපනය සාන්ත මේරී, මොරගස්මුල්ල, සෙරන්ඩිබ් හා ශ්‍රී ලංකා පොලිසිය යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. මේ තරග 9න් පසුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයකට සහභාගී කරවා අවසන් තරගයට කණ්ඩායම් දෙකක් තෝරා ගැනීම නව සැලසුමවී තිබේ.

එහෙත් මේ දක්වා තරගාවලිය පවත්වා ඇති පරිදි ලීග් ක්‍රමයට තරගාවලිය නිමා කොට ඉහළම ලකුණු ලැබූ කණ්ඩායම් දෙක චැම්පියන් ලීග් තරගාවලියට උසස් කිරීම සාධාරණ බව බහුතර කණ්ඩායම්වල මතයවී තිබේ.

මේ අතර චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පෙරේදා මාතර උයන්වත්ත ක්‍රීඩා සංකීර්ණ පිටියේ නාවික හමුදාව හා මාතර සිටි අතර තරගයේ ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පාපන්දු සම්මේලනය තීරණය කොට ඇතැයි වාර්තා වේ. නරඹන්නන් විසින් විනිසුරුට හා ක්‍රීඩකයන්ට පහරදීමට උත්සහා කිරීම් පිළිබඳ වාර්තාවී ඇති හෙයින් මේ පරීක්ෂණය පැවැත්වීමට පාපන්දු සම්මේලනයට තීරණය කොට ඇත. මේ තරගය නතරකරද්දී මාතර සිටි පිල ගෝල් 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

නව අදහස දක්වන්න