ගල්කිරියාගම වනජීවියෙන් කුඹුක් පැළ 500ක් සිටුවයි | දිනමිණ

ගල්කිරියාගම වනජීවියෙන් කුඹුක් පැළ 500ක් සිටුවයි

පසුගිය 02 දාට යෙදුණු අන්තර්ජාතික තෙත්බිම් දිනය නිමිතිකරගෙන ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කුඹුක් පැළ පන්සියයක් සිටුවීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ලෝකයේ පිහිටා ඇති තෙත් බිම් සම්බන්ධයෙන් 1971 වසරේ ඉරානයේ සැම්සා නගරයේ පැවැති සමුළුවකින් අනතුරුව ‘තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සම්මුතිය’ හෙවත් ‘රැම්සා සම්මුතිය’ ලෙස නම් කර තිබේ. එය 1971 වර්ෂයේ පෙබරවාරි 2වැනි දා නම් කෙරුණු නිසා සෑම වසරකම පෙබරවාරි 2වැනි දා අන්තර්ජාතික තෙත්බිම් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය නම් කර තිබේ.

රැම්සා සම්මුතියට එළැඹීමෙන් පසුව ලොව වටා ඇති තෙත්බිම් රැම්සා කලාප ලෙස වෙන් කර තිබේ. එසේම මේ රැම්සා තෙත්බිම් ලෝකයේ ප්‍රධාන කලාප 6ක් යටතේ පිහිටුවා ඇති අතර, ඒවා ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය, යුරෝපා කලාපය, උතුරු අමෙරිකානු කලාපය, කැරිබියානු හා ලතින් අමෙරිකානු කලාපය හා ඔසිනියානු (කුඩා දූපත් සහිත) කලාපය වශයෙන් නම් කර තිබේ.

එම කලාප අතරින් උතුරු අමෙරිකානු කලාපය තුළ දැකිය හැකි වැදගත් තෙත්බිමක් ලෙස ධ්‍රැව වලස් උද්‍යානය නම් කර තිබේ. කැනඩාවේ පිහිටි හංසයන්, තාරාවන්, පාත්තයන් සඳහා ඉතා ප්‍රසිද්ධ තෙත්බිමක් ලෙස මේ තෙත්බිම හැඳින්විය හැකියි. එසේම හිම වලසුන් වැනි විශාල ක්ෂීරපායි සතුන් ද මෙහි ඇතැම් තෙත්බිම්වල වාසය කරන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ තෙත් බිම් දිනය නිමිත්තෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාලය මගින් සංවිධාන කර තිබූ මේ වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සහභාගී වූ අතර, ප්‍රවීණ ධර්ම දේශකයානන් වහන්සේ නමක් වන කාගම සිරිනන්ද හිමියන් ද මේ වැඩසටහන සඳහා සහභාගී වූහ. එසේම ගල්කිරියාගම වනජීවී කලාපයට අයත් ප්‍රදේශවල ජනතාව ද යුද හමුදා සෙබළුන් ඇතුළු බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගී වී සිටියහ.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන අඩවි නිලධාරී රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් මේ වැඩසටහන සංවිධාන කර තිබුණි.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න