මධූෂ් අපේ රටට භීතිකාවක්: අත්අඩංගුවට ගත් රටේ නීතියට අනුව දඩුවම් ලැබෙයි | දිනමිණ

මධූෂ් අපේ රටට භීතිකාවක්: අත්අඩංගුවට ගත් රටේ නීතියට අනුව දඩුවම් ලැබෙයි

කමනි අල්විස්

මිනීමැරුම් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදූණු අප රටට භීතිකාවක් වුණ අපරාධකරු මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ස්තුතිය පිරිනමන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

මධූෂ් අත්අඩංගුවට පත්වුණ රටේ නීතියට අනුව ඔහු එම රටේදීම මරණීය දණ්ඩනයට ලක්වීමට ඉඩ ප්‍රස්ථාව ඇතැම්විට හැකි බවත් පැවසූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මධූෂ් සමඟ අත්අඩංගුවට පත්වුන සියලුම සැකකරුවන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔවුන් අත්අඩංගුවට පත්වුණ රට විසින් බවත් ප්‍රකාශ කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින මධූෂ් පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රී රාජකරුණා මහතා මෙසේද පැවසීය.

මාකඳුරේ මධූෂ් ප්‍රබල ඝනයේ අපරාධකරුවෙක්. වසර දහයක් ‍ඔහු පිටරට සිටියා. ඔහු ඩුබායි සිටින බව අපේ ආරක්ෂක අංශ දැනුවත්ව සිටියා. ශ්‍රී ලංකා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අවධානයෙන් ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයක සිටියා. කිසිම දේශපාලන මැදිහත්වීමකින් තොරව පොලිසියට කටයුතු ඉටුකිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. වසර 2015 සිටම මත්ද්‍රව්‍ය පිටුදැකීමේ විශාල මෙහෙවරක පොලිසිය නිරත වෙනවා. ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බළකායත් ඊට උර දෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකායත් මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීමට විශාල සහයක් දක්වනවා. ඒකයි නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාට සේවා දිගුවක් ලබාදීමට ඇමැති මණ්ඩලය පියවර ගත්තේ.

ව්‍යවස්ථාවක් ගැන සමහරු කතා කරන්නේ ඊට අදාළ කෙටුම්පතක්වත් නැතිවයි. පාර්ලිමේන්තුව හමුවේ පවතින්නේ විශේෂඥ කමිටුවල වාර්තා පමණයි. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් තිබේදැයි දැනගැනීමට ක්‍රියා කරන ලෙස අගමැතිතුමාට අපි යෝජනා කරනවා. දේශපාලන කෝණයන්ගෙන් නොබලා රටට හිතකර ව්‍යවස්ථා කෙටුම්පතක් සැමගේ සහාය ඇතිව සකස් කර ගැනීම අවශ්‍යයි. එසේ නැතිව පන්සල් ගානේ ගොස් ‘වොයිස් කට්’ දීමෙන් එය කළ නොහැකියි.

රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය චාල්ස් මහත්මිය නැවත පත් කළා. එතුමිය ඉවත් කළේ කන්ටේනර් ඉවත් කිරීමක් නොකළ නිසා බවට පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි. ඒවා අමූලික බොරු. මංගල සමරවීර ඇමැතිතුමා දෙකයි පනහේ වැඩ කරන ඇමැතිවරයෙක් නොවෙයි. රේගුව රටට විශාල ආදායම් මාර්ගයක්. ආදායම් තව තවත් වැඩි කරගැනීම හමුදා අත්දැකීම්ලාභියකු පත් කර ගතහොත් හැකිවේවි යැයි බොහෝදෙනෙකුගේ අදහසයි. ඇමැති මණ්ඩලය ගත් තීන්දුවක් මතයි එම පත්වීම සිදුවුණේ. කාන්තාවක් ලෙස චාල්ස් මහත්මිය තම කර්තව්‍යයන් මැනවින් ඉටු කළා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ මන්ත්‍රී රාජකරුණා මහතා මෙසේ පිළිතුරු දුන්නා.

ප්‍රශ්නය - ජාතික ආණ්ඩුවක ඇමැතිවරු සංඛ්‍යාව කොපමණද?

පිළිතුර - එම සංඛ්‍යාව 45 ද 48 ද යන්න අද තීරණය වෙයි. ස්ථාවර ආණ්ඩුවක් සෑදීමේදී සෙසු කණ්ඩායම් එක්වෙනවා. විවිධ සමහර ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිකම් දිය යුතුයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා ඇමැතිකම් ලබාදුන්නේ නෑ. ජාතික ආණ්ඩුවකට එතුමා විරුද්ධ බව පවසනවා.

පිළිතුර - අගමැතිතුමා ජනාධිපතිගෙන් ඇමැතිධුර පිළිබඳව ඉල්ලීමක් කළහොත් ජනාධිපතිට යහපත් ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්.

‍ප්‍රශ්නය - ජාතික ආණ්ඩු ගිවිසුමට කුමන පක්ෂ ඇතුළත් වෙනවාද?

පිළිතුර - එක්සත් ජාතික පෙරමුණේ දැනටමත් හ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් ඇතුළු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය වෙනවා.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න