මධුෂ් ඇතුළු 24ක් ගේන්න රාජ්‍යතාන්ත්‍රික පියවර | දිනමිණ

මධුෂ් ඇතුළු 24ක් ගේන්න රාජ්‍යතාන්ත්‍රික පියවර

පරීක්ෂණ අවසන් කරන්න දින 14ක්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මදූෂ් සහ අනෙකුත් 24 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගනිමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කිරීම සඳහා දින 14 ක් ගන්නා අතර දැනට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටී.

මේ සම්බන්ධව ඩුබායි බලධාරීනට කරුණු ඉදිරිපත් කිරීමට ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටි.

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 16‍ දෙනකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ද වාර්තාවේ.

මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තව කිහිප දිනක් ගතවන බව ඩුබායි හි බලධාරීන් මෙරට බලධාරීන්ට දන්වා ඇති බවත් ලංකාවේ බලධාරීන්ට මේ සම්බන්ධව කටයුතු කිරීමට කිසිම නීතිමය බලයක් නොමැති බවත් පැවසේ.

තහනම් කළ මත්ද්‍රව්‍ය ඩුබායිහිදී පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් තහනම් අතර එවැනි වරදකට කිසිම නිදහසක් නොදෙන බව ද ඒ සම්බන්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරංචි මාර්ග කියයි.

තහනම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකට අභියාචනයකට හෝ ඉල්ලීමකට එරට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අවධානය යොමු නොකරන බවත් ඔවුන් මේ වන විට සැකකරු‍වන්ගේ රුධිර සාම්පල් රැගෙන තිබෙන බවත්, ඒ අනුව සැකකරුවන් කොතරම් ප්‍රමාණවලින් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙනවාද යන්න තීරණය වන බවත් වාර්තාවේ.

සැකකරුවන් සම්බන්ධව නීතිමය කටයුතු ක්‍රියාත්මක කළ පසු මෙරටට ඒ පිළිබඳව දැනුම් දෙන බවත් මධූෂ් පිළිබඳ වැඩිදුර තොරතුරු ඉල්ලා කළ ඉල්ලීම් පිළිබඳව ඩුබායි බලධාරින් අවධානය යොමු කර නොමැති බවත් පැවසේ.

මූලික පරීක්ෂණ අවසන් වනතුරු අදාළ සිද්ධිය පිළිබඳව තොරතුරු ලබානොදෙන බවද ප්‍රකාශ වන අතර රටවල් අතර පවතින නීති රාමුව තුළ කටයුතු කළ යුතු බවත් සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අවම වශයෙන් දින 14 ක් ගත විය හැකි බවත් එතෙක් මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි යයිද අදාළ ආරංචි මාර්ගවලින් පැවසේ. ඩුබායි හි පරීක්ෂණයක් පවත්වන අතරවාරයේ කිසිම තොරතුරක් වාර්තා නොවන අතර තොරතුරු ලබා දෙනවාද නැද්ද යන්න පරීක්ෂකයින්ට අයිති දෙයක් බවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් තිබෙන බව කියවෙන අතර, ගායකයින්, පොලිස් නිලධාරීන් සිටින බවට වාර්තා පළ වුවත් ඔවුන්ගේ අනන්‍යතාවය තවම තහවුරු කරගෙන නොමැති බවත් පැවසේ.

අංගොඩ ලොක්කාද ඩුබායිහි සැකකරුවන් පිරිස සිටි හෝටලය වටලන අවස්ථාවේ අසල සිට ඇති බවත් ඔහු පැන ගොස් ඇති බවත් එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රුක්ෂානා රිස්වි

නව අදහස දක්වන්න