රේගු දූෂණ විමර්ශන වගකීම අධ්‍යක්ෂ ජනරාල්වරියට පැවරුවා | දිනමිණ

රේගු දූෂණ විමර්ශන වගකීම අධ්‍යක්ෂ ජනරාල්වරියට පැවරුවා

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකා රේගුවේ සිදුවන වංචා හා දූෂණවලට සම්බන්ධ කිසිවකු රැකීමට තමාට කිසිම අවශ්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව රේගුවේ සියලු ආකාරයෙන් සිදුවන දූෂණයන්, වංචාවන් පිළිබඳ මුළු රටටම තොරතුරු අනාවරණය කිරීමේ වගකීම එහි ප්‍රධානීන්ට හා වෘත්තීය සමිති නායකයින්ට පැවරෙන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

අතීතයේ සිදුවුණා යැයි කියන බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී වාහන රේගුවෙන් නිදහස් කිරීමේ වංචා වේවා කරුංකා, ගම්මිරිස් ප්‍රතිඅපනයන වංචා වේවා, සියල්ල පිළිබඳව විමර්ශන සිදුකොට මාසයක් දෙකක් ඇතුළත සවිස්තර වාර්තාවක් රජයට ලබාදීමේ වගකීම රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම්. චාර්ල්ස් මහත්මියට පැවරූ බවද ඇමැතිවරයා කීය.

රේගු වංචා අවම කිරීමට කැපවනවා යැයි කියන වෘත්තීය සමිති හා අනෙකුත් පාර්ශ්වයන් මේ මොහොතේ ඊට තම උපරිම දායකත්වය ලබාදිය යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය.

රේගුවෙන් රටට උපයා දෙන ආදායම වැඩිකර ගැනීම අපේ අරමුණයි. එය සිදුකරන්න නම් රේගු පනතේ සංශෝධනය කිරීම්, නව ලොවට ගැළපෙන ගළපා ගැනීම් සිදුකළ යුතුයි. ඒ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබාදීමට අපි තීරණය කර තිබෙනවා යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න