විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට | දිනමිණ

විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට

මිලියන 130ක දඩ ආදායමක්

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකර ගනිමින් රුපියල් මිලියන 130ක දඩ ආදායමක් ලබාගැනීමට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සමත්ව තිබේ.

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේ දී දීපව්‍යාප්තව සිදුකළ වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත. ඉන් ලත් මුළු ආදායම රු.130,285,824.83ක් වෙතැයි විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ඉන් රු.120,134,324.83ක් ලංවිම අලාභය වශයෙනුත්, රු.10,151,500.00ක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබේ.

2018 වසරේ දී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 253 ක්ද අනාවරණයවී තිබේ.

අද වනවිට සමස්තයක් වශයෙන් 100% කට විදුලියේ හිමිකම ලබාදීමට රජයට හැකිවී තිබේ. එය නීත්‍යානුකූල අයිතියක් සේ සලකා රටේ සෑම පුරවැසියකුටම ලබාදීම විෂයභාර අමත්‍යවරයාගේ සහ අමාත්‍යාංශයේ අරමුණයි. අධික නියඟය සහ අධික තෙල් මිල හමුවේද අඛණ්ඩ විදුලිබලයක් සැපයීමට වත්මන් රජයට හැකිවිය. එවන් තත්ත්වයක් හමුවේ නීත්‍යනුකූල නොවන ක්‍රමවේද ආශ්‍රයෙන් වංචා සහගත ලෙස විදුලිබලය ලබාගැනීම නිසා ආර්ථික වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි. මේ හේතුවෙන් ජාතික ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙම තත්ත්වය මත මේ වනවිට ලංවිම විමර්ශන අංශයේ ක්‍රියාකාරීත්වය සවිමත් කරමින් අවශ්‍ය සියලු නීතිමය කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නිරන්තරයෙන්ම තමා කැපවන බව අමාත්‍යවරයා පවසයි.

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112422259 ට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කරන අමාත්‍ය කරුණානායක මහතා, අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවා ද ඒ සඳහා විවෘත බව පවසන අතර මෙම කර්තව්‍ය ජාතික සද්කාරයක් ලෙස සලකන ලෙස ද ඉල්ලා සිටියි.

 චමීර ඇල්ලදෙණිය


නව අදහස දක්වන්න