අංගොඩ ලොක්කාත් ඩුබායි අත්අඩංගුවේ | දිනමිණ

අංගොඩ ලොක්කාත් ඩුබායි අත්අඩංගුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි සිට මහා පරිමාණයෙන් කරගෙන ගිය මදූෂ්ගේ සමීපතම ජාවාරම්කරුවා වූ අංගොඩ ලොක්කා ඊයේ (10) පෙරවරුවේ එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර පොලිසිය මඟින් මෙරට සිදුකරගෙන යනු ලබන මෙහෙයුම්වලින් මධුෂ්ගේ සමීපතම ජාවාරම්කරුවන් ගෝලබාලයන් ඇතුළු විසිපස් දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වී තිබේ.

ඒ අතර ප්‍රධානම ජාවාරම්කරුවන් වන අන්දරවත්තේ චාමර, චාමුක මදුෂාන් නොහොත් ඕලුමරා, තවත් සමීපතමයකු වන ජංගාගේ ඥාති හමුදා නිලධාරියකු, ෂන්ෂයින් සුඅඩාගේ වෑන් රථයක්, මධූෂ්ගේ අනියම් බිරිය පාවිච්චි කළ මෝටර් රථයක් මධුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවය මහත් ඉහළින් සූදානම් කළ සමීපතම ගෝලයන් තිදෙනකු සූරියවැවදී ටී-56 ගිනි අවි සමඟ උණ්ඩ දොළහක්, හමුදා නිල ඇඳුම් කට්ටල අටක්, වෙන්නප්පුවේදී තවත් ගෝල බාලයින් දොළහක් ඇතුළු විසිපස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මධුෂ්ගේ, අංගොඩ ලොක්කාගේ, ජංගාගේ, ඕලුමරාගේ සහ ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් සිව්දෙනෙකුගේ සමීපතමයන් සහ ගෝලබාලයන් සොයා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය මඟින් රටපුරා මෙහෙයුම් සිදුකරගෙන යයි.

මේ අතර මධුෂ් ඇතුළු කණ්ඩායම ඊයේ (10) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර තවදුරටත් මොවුන්ගෙන් ප්‍රශ්න කරගෙනයාම සඳහා ඩුබායි අධිකරණය මඟින් ඩුබායි පොලිසියට තවදුරටත් අවසර ලබාදී තිබේ.

අංගොඩ ලොක්කා ඩුබායි හි වෙනත් හෝටලයක සැඟවී සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. ඔහු හෂීෂ් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මේ අතර ඩුබායි ‍ෙපාලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධූෂ් ඇතුලු සැකකරුවන් 16 දෙනා ඩුබායි වේලාවෙන් ඊයේ (10) පෙරවරුවේ ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ සැකකරුවන් 16 දෙනාට අදාළව එරට පොලිසිය මඟින් වෙන වෙනම සිදු කරන ලද පරීක්ෂණ වාර්තා වෙන වෙනම අධිකරණයට ඉදිරිපත් කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අදාළ විනිසුරුවරුන්ට සැලකිය යුතු වේලාවක් ගතවනු ඇතැයි විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.

මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණය අත්අඩංගුවට ගැනීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග, නිකුත් කර ඇති රතු නිවේදන ඇතුලු විවිධ කරුණු ඇතුළත් වාර්තාවක් මේ වන විට ඩුබායි පොලිසිය වෙත මෙරටින් යවා තිබේ. එම වාර්තාවද එරට පොලිසිය මඟින් එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන බවද වාර්තාවේ. එම වාර්තාව හරහා එම ජාවාරම්කරුවන් පිරිස මෙරටට ලබාදෙන ලෙසටද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

විජයානි එදිරිසිංහ, උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රියන්ත සහ මත්තල ඩී. එන්. ජයසේකර

 

නව අදහස දක්වන්න