අත්අඩංගුවේ සිටින්නන්ගේ තොරතුරු ඔස්සේ මෙහෙයුම් | දිනමිණ

අත්අඩංගුවේ සිටින්නන්ගේ තොරතුරු ඔස්සේ මෙහෙයුම්

සැක අටක් සමඟ පතරොම්-ගිනි අවි කොටස්-හමුදා නිල ඇඳුම් දැලේ

පසුගිය දින ඩුබායිහිදී අත් අඩංගුවට ගත් පාතාල සාමාජිකයන්ගේ වග තුග සහ ඡායාරූප ඔස්සේ මාතර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් 08 වැනි දින ස්ථාන කිහිපයකදී සිදු  කළ හදිසි මෙහෙයුමකදී අවි ආයුධ පතරොම් විශාල ප්‍රමාණයක් සහ හමුදා නිල ඇඳුම් තොගයක්ද සොයා ගැණුනු අතර, ආයුධ නිෂ්පාදන කම්හලක් වටකර ගිනි අවි කොටස් සහ ගිනි අවි නිෂ්පාදන කරන යන්ත්‍ර කිහිපයක්ද අත් අඩංගුවට ගෙන ඇත. ගන්දර මාතර, මොරවක, දෙනියාය යන පොලිස් ස්ථානවලින් සිදු කළ මේ මෙහෙයුමේදී සැකකරුවන් 8 දෙනෙකු සමඟ යතුරුපැදි 3ක් සහ මෝටර් රථයක්ද අත් අඩංගුවට ගෙන ඇත.

ප්‍රසිද්ධ පාතාලා නායකයෙක් සමඟ ඩුබායි රටේදී අත් අඩංගුවට පත් වූ ගන්දර, තලල්ල දකුණ ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුගේ නිවස වැටලූ ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් විසින් එම පාතාල සාමාජිකයාගේ අල්මාරියේ සඟවා තිබූ යුද හමුදා ඇඳුම් කට්ටල් 9ක්, කැමා ඇඳුම් කට්ටල් 9ක්, හමුදා කැප් 3ක්, හමුදා බෙල්ට් දෙකක් ටී.56 ජීව උණ්ඩ 32 ක්‍, හඩ නිකුත් නොවන පතුරම් 11ක්, හිස් පතුරම් 37 ක්, අඟල් පහ මාරක් දිග කිනිස්සක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම නීති විරෝධී ගිනි අවි භාරව සිටි සැකකරුගේ බාප්පා වන 65 හැවිරිදි පුද්ගලයෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉහත කී පාතාල සාමාජිකයා මනුෂ්‍යය ඝාතනයකට සම්බන්ධ බවත්, ඔහුට විරුද්ධව මත්කුඩු චෝදනා ඇති බවත් ගන්දර පොලිසිය පවසයි. මේ සැකකරුට බහුදින ධිවර යාත්‍රා කිහිපයක් සහ තලල්ල ප්‍රදේහයේ සංචාරක හෝටලයක් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මාතර විශේෂ යතුරු පැදි ඒකකය සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර මාලිම්බඩ ප්‍රෙද්ශයේ සිදු කල හදිසි රථ වාහන මෙහෙයුමකදී සැක සහිත අන්දමින් පැමිණි යතුරු පැදිකරුවෙක් නවත්වා පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය අසුන යට තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය සොයාගෙන ඇති අතර, බෙලිඅත්ත බෙලිගල්ල පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මාලිම්බඩ ප්‍රෙද්ශයේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් පිළිබඳව තොරතුරු හෙලිවීමෙන් පසුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්, උප පොලිස් පරීක්ෂක පතිරත්න යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් එම ස්ථානය වටලා ගිනි අවි නිෂ්පාදනය කරමින් සිටි මාලිම්බඩ පදිංචි 82 හැවිරිදි අයෙක් සහ හම්බන්තොට බූන්දල පදිංචි 30 හැවිරිදී අයෙකු ගිනි අවි නිෂ්පාදනය කරන උපකරණ සහ ගිනි අවි කොටස් සමඟ අත් අඩංගුවට ගෙන ඇත.

මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින් විසින් අලපලාදෙනිය හන්දියේදි මෝටර් රථයක් නතරකර පරීක්ෂා කිරිමේදි රක්ෂිතයෙන් මරනලද කිලෝ 85ක් බර ඌරන් තිදෙනෙකු සහ පතරොම් තුවක්කුවක්, පතරොම් 2ක්, හිස් පතරොමක් සමග දාංගල ලේල්වල පදිංචි 64, 53, 31 යන වයස්වල පසුවෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආරියපාල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් විසින් කිරිවැල්දොල සිංහරාජ ප්‍රෙද්හයේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදි ටී 56 උණ්ඩ දමන ගල්කටස් ගිනි අවියක්, නො 12 පතරොම් දමන තුවක්කු 2ක් සමග එම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඉඩම් හිමි වැවිලිකරුවකු දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රටේදි අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයන්ගේ තොරතුරු සහ ඡායාරුප මගින් තොරතුරු හෙළිවිමත් සමග මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජි.එච්. මාරපන මහතාගේ උපදෙස් පරිදි මේ මෙහෙයුම දියත් කර ඇති අතර කඹුරුපිටිය මාකඳුරේ පදිංචි ප්‍රසිද්ධ පාතාල නායකයා ඇතළු පාතාල සාමාජිකයන්ගේ නිවාස 6ක් පොලිසිය විසින් පරික්ෂා කර ඇත. පොලිස් නිල සුනඛයන් යොදවා මොවුන් සඟවා ඇති අවි ආයුධ සොයා ගැනීමට පොලිසිය පියවරගෙන ඇත. මිරිස්ස හෝටලයක නතරකර තිබු හිමිකාරිත්වයක් හෙළි නොවුන මෝටර් රියක් පිළිබඳව පොලිසිය සොයා බැලිමේදි එය දැනට ඩුබායි රටේ අත්අඩංගුවට ගෙන ඇති ටෙලි නාට්‍ය නළුවකුගේ බව පොලිසිය සොයාගෙන තිබේ. මේ මෝටර් රථය දැඩි පරීක්ෂාවට ලක්කිරිමට පොලිසිය පියවරගෙන තිබුණි.

මේ සැකකරුවන් මාතර මොරවක මහෙස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. දකුණ සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, තංගල්ල මාතර කොට්ඨාශභාර නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.යු. විජිත ගුණරත්න, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන, මාතර පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි රොහාන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල බණ්ඩාර, මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු, කොට්ඨාස අපරාධ විමර්හන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන්, උප පොලිස් පරික්ෂක පතිරත්න, දෙනියාය වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආරියපාල යන මහත්වරුන් ප්‍රමුඛ පොලිස් නිලධාරින් මේ වැටලිම සිදුකර ඇත.

මාතර සමූහ ඩබ්ලිව්.පී.ධර්මසේන

නව අදහස දක්වන්න