තිරසාර ආර්ථිකයක් ගොඩ නැඟීම වැදගත් | දිනමිණ

තිරසාර ආර්ථිකයක් ගොඩ නැඟීම වැදගත්

ධම්මික පෙරේරා

ශ්‍රී ලංකාවට ස්ථිරසාර ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අවධාරණය කළේය.

ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කළ “ස්ථිරසාර ආර්ථිකයක් උදෙසා” මැයෙන් වූ විශේෂ ව්‍යාපාරික හමුවට විශේෂ ආරාධිත දේශකයකු ලෙස සහභාගි වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් 07 වැනිදා සවස 3.30 ට පැවැති මේ විශේෂ හමුවේදී අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකාවට දියුණු හා තිරසාර ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමට මනා වූ භෞතික හා මානව සම්පත් ඇතැයි ද කීය.

මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට සමත් ප්‍රතිපත්ති, මාර්ගෝපදේශන හා ක්‍රියාකාරී දායකත්වය ලබාදීමට තමා සූදානම් බවද ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, සංස්කෘතික හා විවිධ වූ ක්ෂේත්‍ර 10 ක දියුණුවටත්, ඒ ඔස්සේ මුළු රටේම දියුණුවටත් මඟපාදන ජාතික ප්‍රතිපත්ති මාලාව ලබන 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී එළිදැක්වීමට ජාතික විද්වත් සංවිධානය පියවර ගන්නා බවද මෙහිදී අනාවරණය කළේය.

පෞද්ගලික අංශයේ දායකත්වය රටේ දියුණුවට නිසි ලෙස ලබාගැනීම කෙසේ සිදුකළ යුතු යැයි දැන ගැනීමට මේ විශේෂ හමුව සංවිධානය කර තිබූ අතර ඊට එක්ව අදහස් දැක්වූ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කාලීන යෝජනා ගණනාවක් ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේ හිරාන් කුරේ, එන්. රාජපක්ෂ, ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු හා මහේන්ද්‍ර ජයසේකර යන මහත්වරුද දැක්වූ අදහස් ජාතික ආර්ථික ප්‍රතිපත්ති වාර්තාවට ඇතුළත් වනු ඇත.

මේ වාර්තාව ජනගත කිරීමේ අවස්ථාවට රාජ්‍ය සේවයේ නිරතව සිටි ඉහළ පෙළේ නිලධාරිහු පෞද්ගලික අංශ ප්‍රධානීහු ඇතුළු පන්දහසකට අධික පිරිසක් සහභාගිවීමටද නියමිතය.

ජයසිරි මුණසිංහ
ඡායා - සුදත් මලවීර

නව අදහස දක්වන්න