සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල පෙබරවාරි 13 වැනිදා | දිනමිණ

සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල පෙබරවාරි 13 වැනිදා

ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලාදායිතා සම්මාන උළෙල 2019 පෙබරවාරි මස 13 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී එදින ප.ව. 4.30 ඇරඹේ.

2018 වසරේ අගෝස්තු මසදී මේ සඳහා අයදුම්පත් කැඳවුණු අතර ඒ සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන රැසක අවධානය යොමුවිය. එලෙස යොමුවූ අයදුම්පත් සමීක්ෂණ සහ වැඩමුළුවලින් සමන්විත වූ දැඩි තේරීම් ක්‍රියාවලියකට ලක් කර එමගින් විශිෂ්ට සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණ වැඩසටහන් දියත් කරන ආයතන තෝරාගනු ලැබිණි.

තව ද ISO සහ PAS ආදී ජාත්‍යන්තර ප්‍රමිති සහතික මගින් පිරිනමනු ලබන ප්‍රධාන ක්‍රමවේද පහක් යටතේ මෙම තෝරාගැනීම් සිදු කෙරිණි. කළමනාකරණ දර්ශනය සහ ප්‍රතිපත්ති සඳහා සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණය ඇතුළත් කිරීම, සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණ ගැටළු විසඳීම සඳහා ස්ථාපනය කර ඇති විධිමත් ක්‍රමවේද, එම විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා හඳුන්වා ඇති පියවර සහ සෞඛ්‍යයට හිතකර කළමනාකරණ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා ස්ථාපනය කර ඇති නිශ්චිත පද්ධති, සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණ වැඩිදියුණු කිරීම හා තක්සේරු කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නීති හා රෙගුලාසි සහ ආපදා කළමනාකරණයට අනුගත වීම ආදී නිර්ණායක රැසක් මෙහිදී සලකා බැලේ.

සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා ඉහත ප්‍රතිපත්ති කළමනාකරණ මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කරන ආයතන වෙත මෙහිදී සම්මාන හිමිවනු ඇත. කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රමාණය මත අති මහා පරිමාණ, මහා පරිමාණ, මධ්‍යම සහ කුඩා පරිමාණ යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ.

මෙහි ජයග්‍රහණය කරන ආයතන සඳහා අවශ්‍ය පිළිගැනීමට අමතරව තෝරාගත් ආයතන දිගුකාලීන වශයෙන් ආයතනික හර පද්ධති සඳහා ආයෝජනය කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන ආයෝජකයන් වෙත හඳුන්වා දීමටත් මෙහිදී කටයුතු කෙරේ.

Òකාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුබසිද්ධිය පිණිස කරන ආයෝජනය අනාගත ලාභ වැඩිදියුණු කිරීම සඳහා හේතු වනවා. කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම, ඔවුන් රඳවා තබා ගැනීම, ඵලදායිතාව සහ කාර්යසාධනය යන අංශ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල අප ආරම්භ කළා. මෙම කරුණු සියල්ල සෞඛ්‍යසම්පන්න සහ ධනාත්මක චින්තනයෙන් යුතු ශ්‍රම බලකායක් හරහා නිෂ්පාදන ප්‍රමිතිය සහ පාරිභෝගික සේවාව උසස් මට්ටමකට ගෙන ඒම සඳහා හේතු වනවාÓ යනුවෙන් ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කාර්මික අමාත්‍යංශය (METI) සහ ටෝකියෝ කොටස් වෙළෙඳ පොළ (TSE) එක්ව සංවිධානය කරන ලද සෞඛ්‍ය හා ඵලදායිතා ව්‍යාපාර වස්තු වරණය නමැති වැඩසටහනේ තේමාවට අනුව මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණු බවය.

1999දී ස්ථාපනය කරන ලද ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) පුළුල් ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයකට හිමිකම් කියන මෙරට ඉහළ ම තරුණ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික මණ්ඩලයකි. 'විශිෂ්ටත්වය තුළින් ඇගයීම' යන ආදර්ශ පාඨය පෙරදැරිව ප්‍රජාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එම මණ්ඩලය රජයේ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා සංවිධාන සමග සමීපව කටයුතු කරයි.

JETRO යනු ජපානය සහ ලොව අනෙකුත් රාජ්‍යයන් අතර අන්‍යොන්‍ය වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන රජයට සම්බන්ධ ආයතනයකි. ජපාන අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා 1958 දී ස්ථාපනය කෙරුණු එම සංවිධානය 21 වන සියවසයේ පටන්, ජපානය සඳහා සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහ ජපානයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා උපරිම ගෝලීය අපනයන පරිසරයක් උදාකිරීමේ අරමුණින් කටයුතු කරයි.

නව අදහස දක්වන්න