තවමත් නොවියැළුණු තේ දල්ලේ කඳුළු | දිනමිණ

තවමත් නොවියැළුණු තේ දල්ලේ කඳුළු

අසේල කුරුළුවංශ

ඒකාබද්ධ වතු වෘත්තිය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුමට පසුගිය සතියේ අත්සන් තැබීමත් සමඟ සැවොම සිතුවේ මාස තුනකට වැඩි කාලයක් තිස්සේ වැඩි වැටුප් ඉල්ලා වතු කම්කරු ජනතාව කළ වර්ජන හා උද්ඝෝෂණ නතර වනු ඇති බවය. එසේ වුවත් සිදුවූයේ ප්‍රශ්නය විසඳෙනු වෙනුවට එය තව තවත් උග්‍ර වීමය. මෙයට හේතු කිහිපයක් බලපා තිබේ. වතු කම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන් වැඩිවූ වැටුප සම්බන්ධයෙන් කිසිසේත් සෑහිමකට පත්ව නොමැත.

අනෙක් පසින් වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් සාමුහික ගිවිසුමට අත්සන් කරනු ලබන වෘත්තිය සමිති හා ඊට සම්බන්ධ වීමට නොහැකිව සිටින වෘත්තිය සමිති අතර තිබෙන බල අරගලයයි. වතු පාඩු ලබන තත්ත්වයක තිබියදී මේ ආකාර වැටුප් වැඩිවීමක් හෝ ලබා ගැනීමට හැකි වීම ජයග්‍රහණයක් ලෙස පෙන්වා දීම සඳහා අදාළ ගිවිසුමට අත්සන් කළ වෘත්තිය සමිති උත්සහ කරද්දී මෙම වැටුප් වැඩි කිරීම තුළින් සිදුව තිබෙන්නේ වතු කම්කරු ජනතාව මුළා කිරීම පමණක් බව ගිවිසුම අත්සන් කිරීමට සම්බන්ධ නොවූ වෘත්තිය සමිති පවසයි.

සාමුහික ගිවිසුම

දේශපාලනික වශයෙන් එදිරිවාදීව නිතර කටයුතු කරන වතු වෘත්තිය සමිති සියල්ලම පාහේ වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා වන සටනේදී පොදු එකඟතාවකින් කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබිණි. එසේ වුවත් දැන් යළිත් පෙර පැවැති එදිරිවාදිකම් කරළියට පැමිණෙමින් වතු වෘත්තිය සමිති අතර සටන් ආරම්භවී තිබේ. ඉහළ දැමූ වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පවසා රුපියල් දහසේ මුලික වැටුප ලබාදෙන ලෙස ඉල්ලා හැටන් මල්ලි අප්පුව මංසන්ධියේ ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කඳුරට හින්දු පුජක සංවිධානයේ ලේකම් ශ්‍රි වේලු ශර්මා පුජකවරයාගේ මෝටර් රථයට පසුගිය ජාතික දිනයදා කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරනු ලබන්නේ මෙම පසුබිම තුළය. වතුකරයේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිය සමිති මගින් මෙම ප්‍රශ්නය දැන් දේශපාලනීකරණය කරනු ලැබ ඇත.

මේ තුළ ඉදිරියේදී තව තවත් ගැටුම් ඇති වීමේ අවදානමක් පිළිබඳ සේයාවන්ද මතු වෙමින් පවතී. වතුකරයේ දේශපාලනඥයින් කරනු ලබන ප්‍රකාශවලින් මේ බව තේරුම් ගැනීමට පුළුවන.

සාමුහික ගිවිසුම වසර තුනකට වරක් අත්සන් කෙරෙන අතර එමඟින් වතුකම්කරු වැටුප් වැඩිවීම මෙන්ම අනිකුත් සුබ සාධන කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරෙයි. වතු පාලනය කරනු ලබන වැවිලි සමාගම් විසි දෙකක් වෙනුවෙන් වතු හාම්පුතුන්ගේ සංගමය මෙම ගිවිසුමේ එක් පාර්ශ්වයක් ලෙස කටයුතු කරද්දී අනෙක් පාර්ශ්වය ලෙස වැඩිම වතු කම්කරු ජන ප්‍රතිශතයක හිමිකාරත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය හා ලංකා ජාතික වතු කම්කරු සංගමය කටයුතු කරයි. මෙම වෘත්තිය සමිති නියෝජනය කරමින් අදාළ ගිවිසුමට වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් අත්සන් කරනු ලබන්නේ ආරුමුගන් තොණ්ඩමන් හා වඩිවේල් සුරේෂ් යන මහත්වරුය. ඒ අදාළ වෘත්තිය සමිති දෙකේ නියෝජිතයින් වශයෙනි.

වතුකරය තුළ වෘත්තිය සමිති 71 ක් පමණ තිබියදී සමස්ත වතු ජනතාව නියෝජනය කරමින් මෙම වෘත්තිය සමිති දෙක පමණක් තීණ්දු තීරණවලට එළඹීම අසාධාරණ බවත් එය වෙනස් විය යුතුව තිබෙන බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා පවසයි. කම්කරුවකුගේ මුලික වැටුප රුපියල් 200.00කින්ද පැමිණීමේ දීමනාව රුපියල් 50.00කින්ද අමතරව නෙළන තේ දලු කිලෝවක් සඳහා රුපියල් 15.00 ගෙවීමක්ද ලෙසින් නව වැටුප් වැඩි කිරීම සිදුව තිබෙන බව පවසන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමාන් මහතා මේ අනුව වතු කම්කරුවකුගේ මූලික වැටුප රුපියල් 700.00 දක්වා ඉහළ ගොස් තිබෙන බවද ප්‍රකාශ කරයි.මෙම වැටුප් වැඩි කිරීමේදී මෙතෙක් වතු කම්කරුවන්ට හිමිව තිබූ 140.00 දිරි ගැන්වීමේ දිමනාව ඉවත් කර තිබෙන බව පවසන දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ නියෝජිතයින් වන මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන ඇමැතිවරුන් මෙය නිවැරදි නොවුණහොත් ඉදිරියේදි දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවට අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

බල අරගලය

වසර දෙකකට වරක් අත්සන් තැබෙන සාමූහික ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම වතු කම්කරුවන්ට ඇති ප්‍රධාන ගැටලුවකි.වතු ජනතාවගේ ශක්තියෙන් නැගී සිටින වතුකරයේ දේශපාලන පක්ෂ අතර පවතින බල අරගලය මෙම ගිවිසුම නිසියාකාරව ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. ආණ්ඩු සමඟ එක්ව ඇමැති ධූර ලබා ගන්නා වතුකරයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සාමාන්‍යයෙන් උනන්දු වන්නේ වතු ජනතාව රැකීමට වඩා ආණ්ඩුව රැකීමට බවද කියති. විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම සෑම විටම උත්සාහ කරන්නේ වතු ප්‍රජව පාරට බස්සමින් අවුල් ඇතිකර දේශපාලන වාසි ගැනීමටය. එහෙත් මෙවර සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්තය.

ආණ්ඩුවේ ඇමැතිකම් දරන වතුකරයේ දෙමළ නායකයින් ගිවිසුමට එරෙහි වෙත්දී විපක්ෂයේ නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය එයට පක්ෂව කරුණු දක්වමින් සිටියි.වතු කම්කරු වැටුප වසර දෙකින් දෙකට ඉහළ දැමීම සඳහා වන ගිවිසුමට වතු වෘත්තිය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අත්සන් තැබුවේ වසර 1999 දීය.එම ගිවිසුම ප්‍රකාරව වතු කම්කරු වැටුප 2015 අප්‍රේල් මස ඉහළ දැමිය යුතුව තිබුණත්, වතු පාඩු ලබන බව කියමින් වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බව හාම්පුතුන්ගේ සංගමය පැවසුවේය.අවසානයේ එම වැටුප් වැඩිවීම සිදුවූයේ 2016 ඔක්තෝම්බර් මස 15 දිනය.ඒ අනුව වතුකම්කරු ජනතාවගේ ඊළඟ වැටුප් වැඩිවීම සිදු කළ යුතව තිබුණේ 2018 ඔක්තෝම්බර් මස 15 දිනය.එහෙත් එම වැටුප් වැඩිවීම සිදුවූයේ ඊට මාස තුනකට පසුවය.

අවසන් වරට වැටුප් වැඩිවීමට පෙර වතු කම්කරුවකුගේ දෛනික මූලික වැටුප වූයේ රුපියල් 500.00කි. අර්ථ සාධකයට,සේවා භාරකාර අරමුදලට, ප්‍රසූත හා පාරිතෝෂික දීමනා ආදි සියල්ලට අදාළ මුදල් ගෙවීම් කරන්නේ මෙම මුදල පාදක කර ගනිමිනි. මාසයක වැඩ දින ගණනින් 75 % ක් ආවරණය කළ පසු පැමිණීමේ දීමනාව වශයෙන් දෛනික වැටුපට රුපියල් 60.00 ක් එකතු වෙයි.

මිල මත රඳන දීමනාව ලෙස රුපියල් 30.00 ක් හා වැඩ ඉලක්ක සපුරාලූ විට තවත් රුපියල් 140.00 ක මුදලක්ද එකතු වන අතර මේ සියල්ල ගත්විට දෛනික කම්කරු වැටුප රුපියල් 730.00 කි. අදාළ ඉලක්ක පහසුවෙන් ළඟා විය හැකි ඒවා නොවේ.

එම ඉලක්ක පසුකර අමතරව කඩන තේ කිලෝවක් වෙනුවෙන් රුපියල් 25.00 බැගින් ලබා දීමට වතු පාලනාධිකාරිය කටයුතු කරන බව පැවසුවත් අදාළ ඉලක්ක සපුරා ගනු ලබන්නේ සමස්ථ වතු කම්කරුවන් ගෙන් 35 % ටත් අඩු පිරිසකි. තේ දලු නෙළීමේදී ඒවා එකතු කරන පොහොර උරයේ බරට කිලෝ දෙකක් අඩු කෙරේ. ක්ෂේත්‍රයේදී හා කර්මාන්ත ශාලාවේදී තේ දලු කිරන අතර අවසන් ගණන් ගැනීම වන්නේ කර්මාන්ත ශාලාවේ කිරන විට ඇති බරයි. පාලකයින් සෑම විටම උත්සාහ කරන්නේ නොයෙක් හේතු දක්වමින් මෙම බර අඩු කරන්නටය.

අපනයන ආදායම

මෙවර අත්සන් තැබුණු ගිවිසුමට අනුව වතු කම්කරු මූලික වැටුප රුපියල් 500.00 සිට 700.00 දක්වා ඉහළ ගොස් තිබේ. මිල මත රඳන දීමනාව ලෙස ගෙවන ලද රුපියල් 30.00 ක මුදල රුපියල් 50.00 දක්වා ඉහළ දැමීමටද ගිවිසුම මගින් එකඟතාව පළකර තිබේ. ඉලක්ක සපුරාලීම වෙනුවෙන් ගෙවූ රුපියල් 140.00 ක මුදල හා පැමිණීමේ දීමනාව ලෙස ගෙවූ රුපියල් 60.00 ක මුදල ඉවත් කර තිබෙන බැවින් අදාළ ගිවිසුම මගින් සැබෑ ලෙසම වතු කම්කරු වැටුප වැඩිවී ඇත්තේ රුපියල් 20.00 කින් බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි. මූලික වැටුපට ගණන් බැලෙන සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා භාර අරමුදල් වෙනුවෙන් බැර කෙරෙන මුදලද ගණන් බලා වතු කම්කරුවකුට නව ගිවිසුම ප්‍රකාරව රුපියල් 855.00 ක් ලැබෙන බවට ජනතාව මුළා කරන ප්‍රකාශ වතු හාම්පුතුන්ගේ සංගමය මගින් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ද සිදු කරනු ලබන බව ඒ මහතා පවසයි.

අපනයනය කෙරෙන තත්ත්වයේ තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම පිණිස අමු තේ දලු කි.4 ග්‍රෑම්250 ක් අවශ්‍යයය.සාමාන්‍යයෙන් වතු කම්කරුවෙක් දෛනිකව අමු තේ දලු කිලෝ 18 ක් නෙළනු ලැබේ.ඒ අනුව දෛනිකව වතු කම්කරුවකු නෙළන තේ දලු ප්‍රමාණයෙන් හොඳ තත්ත්වයේ තේ කිලෝ හතරක් නිෂ්පාදනය කළ හැකිය.කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝවක් අලෙවි වන මිල රපියල් 620.00 කි. ඒ අනුව එම තේ වෙන්දේසියෙන් අවම වශයෙන් රුපියල් 2480.00 ක මුදලක් වතු කම්කරුවකු දෛනික නෙළනු ලබන තේ වලින් වතු හාම්පුතුන්ට හිමිවෙයි.

වතු කම්කරු වැටුප් ඇතුළු සියලු වියදම් ඇතුළත් කිරීමෙන් පසු තේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 580.00-600.00 අතර පවතී. වැඩිම මිල වන රුපියල් 600.00 ට අනුව ගණන් බැලුවත් තේ කිලෝ හතර වෙන්දේසියේ අලෙවි කිරීම මගින් හාම්පුතුන්ට හිමිවන ශුද්ධ ලාභය රුපියල් 80.00 ක් බවද ප්‍රේමරත්න මහතා පවසයි.වැවිලි සමාගම් නිතර පවසන්නේ වතු පාඩු ලබන බවයි. ලෝක වෙළෙඳ පොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉල්ලුම අඩුවීම කෙරෙහි කරුණු ගණනාවක් බලපා තිබේ. හොඳ තේ යැයි කියා කසළ තේ අපනයනය කිරීම එක් ජාවාරමකි. තේ වතු පාලනය කරන නිලධාරීන් විසින් සිදු කරන සොරකම්ද වතුවල ආදායම් අඩු වීමට බලපා ඇත. මේ කිසිදු ප්‍රශ්නයකට වතු කම්කරුවන් සම්බන්ධ නොවූවත් ඒ සියලු ප්‍රශ්න අද යමින් තිබෙන්නේ වතු කම්කරුවන්ගේ කර මතිනි.

දලු නෙළීම සඳහා කම්කරුවන්ට පාලනාධිකාරිය මගින් ඉලක්ක ලබා දුන්නත් ඔවුන් වතු නඩත්තු කටයුතු පැහැර හැරීම නිසා අද බොහෝ වතු තිබෙන්නේ වල් වදින තත්ත්වයේ බවත් මේ නිසා වතු කම්කරුවකුට දෛනික ඉලක්ක සපුරා ගැනීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්ව තිබෙන බවත් එක්සත් ජනතා සේවක සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නීති උපදේශක එස්.එම්.ආර් බණ්ඩාර මහතා පවසයි. වතු අධිකාරිවරයකුගේ නිවෙසක සාමාන්‍යයෙන් රාජකාරී සඳහා කම්කරුවන් පස් දෙනකු පමණ යෙදවේ. ඊට අමතරව තවත් බොහෝ පහසුකම් ඔවුන්ට ලබා දෙයි. මේ ආකාර අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට වතු පාලකයින් අවස්ථාව ලබා ගනිද්දී වතු කම්කරුවන්ට ගෙවන්නට සිදුව තිබෙන්නේ අන්ත දුක්ඛිත ජීවිත බවද හෙතෙම පවසයි.

රැකියා එපාවීම

වතු කම්කරු රැකියා ක්ෂේත්‍රය තුළ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් වර්තමානයේ සේවය කරති. මෙයට දශක දෙකකට පමණ පෙර ලක්ෂ පහක පමණ වූ මෙම සංඛ්‍යාව මෙලෙස අඩු වීමට ප්‍රධාන හේතුව වතු සේවකයින්ට ලැබෙන අඩු වැටුපය. තරුණ පරපුර සීග්‍රයෙන් වතු රැකියාවන්ගෙන් දුරස් වෙමින් සිටිති. දෛනික වැටුප් ලබන වතු ප්‍රජාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව මිලට ගන්නේ ඉතා සුළු ප්‍රමාණවලිනි. මේ නිසා ඔවුන්ට සාමන්‍ය මිලට වඩා වැඩි මිලක් එම භාණ්ඩ සඳහා ගෙවීමට සිදුවේ. මත්පැන් සඳහාද මොවුන් සැලකිය යුතු මුදලක් වැය කරන බව රටම දන්නා කරුණකි.

අද වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්වැඩ ලබාදෙන කම්කරුවකු පවා දෛනිකව රුපියල් 1500.00 ක වඩා වැඩි මුදලක් උපයයි. එසේ නම් වතු කම්කරුවකුට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දිය නොහැකි වන්නේ මන්ද යනු ප්‍රශ්නයකි. ප්‍රධාන වෘත්තිය සමිතිවලට නායකත්වය දෙන පක්ෂවල අර්ධ වහලුන්ගේ තත්ත්වයට වතු කම්කරුවන් පත්ව සිටිති. වතුකරයේ දේශපාලන පක්ෂ අනුව වතු කම්කරුවන්ද බෙදී සිටිති. මේ නිසාම තමන්ගේ ප්‍රශ්නවලින් ගොඩඒමට ඔවුන්ට නොහැකිවී තිබේ. වැටී සිටින වළෙන් ගොඩඒමට එකකු උත්සහ කරන විට ඔහුගේ කකුලෙන් අදින්නේ එම වළෙහිම සිටින අයෙකි. මේ තුළ ඇත්තේ සම්පූර්ණයෙන්ම දේශපාලනය මිස වෙනකක් නොවේ. මෙම යථාර්ථය තේරුම් ගන්නා තෙක් වතු කම්කරුවන්ට සැමදා ඉන්නට සිදුවන්නේ වළෙහිමය.

 


නව අදහස දක්වන්න